විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය අනුකම්පාව නොවේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්  අපේ සමාජයේ  කොටසක්.ඔවුන්ගේ  දියුණුවට සමාජයේ ඔවුන් පිළිබඳ ඇති පසුගාමී අදහස් බෙහෙවින් ම  බලපානවා.
අනවශ්‍ය අනුකම්පාවකින් තොර  ඔවුන්ගේ තත්වය පිළිබඳ මනා වැටහීමකින් යුතු  සමාජ සගයන්   විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට අවශ්‍යවනවා. ඒ නිසාවෙන් ආදරයෙන් යුතුව ඔවුනට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම කිරීම අප ගේ  යුතුකමක් .

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කියන්නේ කාටද?

කායිකව ,මානසිකව සහ චර්යාත්මක  යන අංශ තුන යටතේ ම විවිධ සංකූලතා පෙන්වන දරුවන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙසට හඳුන්වන්නට පුළුවන්.බොහෝ විට මෙවැනි දරුවන්ගෙන් ඩවුන් සින්ඩ්‍රෝම්,ඔටිසම්,මානසික ආබාධිත බව පිටතට දර්ශනය වනවා.
එලෙසම මස්තිෂ්ක ආඝාතය ,කොඳු ඇට පෙළෙහි දුබලතා ,ස්නායු පද්ධතියේ ආබාධ සහිත දරුවන් ද සිටිනවා.

ආබාධ සහිත දරුවකු ඇතිවීමට බලපෑ හැකි විවිධ හේතු  මොනවාද ?

මේ සදහා හේතු රාශියක් තිබෙනවා.ඒ නිසා පින් පව් හා කර්මය පිළිබඳ ව සිහි තබාගෙන අනුකම්පාවෙන් ඒ දෙස බැලිය යුතු නැහැ.
කළල අවධියේ දී ඇතිවිය හැකි විවිධ විකෘතිතා,මව වැටීම් හෝ තැලීම් වලට ලක්වීම ,විවිධ රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම ,මානසික අසමබරතාවය ,අධික දුම්පානය හා මත්පැන් පානය කිරීම මේ සඳහා බලපාන්නට පුළුවන්.
ඒ වගේම දරුවාගේ උපතේදී ඇතිවෙන විවිධ සංකූලතා ද විශේෂ අවශ්‍යතාවන්ගෙන් යුතු දරුවකු බිහි කිරීමට හේතු වෙනවා.
මොළයට ඔක්සිජන් නිසියාකාර ලෙස නොලැබීම,පෙකෙනි වැල සිරවීම,විෂබීජ ඇතුළු වීම වැනි හේතු මේ සඳහා බලපාන්නට පුළුවන් .
නිරෝගිව උපත ලබන දරුවෙකු පවා මුල් අවුරුදු කිහිපය තුල සිදුවන වැටීම්,තැලීම් සහ විවිධ රෝගී තත්ත්වයන් නිසා විශේෂ අවශ්‍යතාවයන් සහිත දරුවකු බවට පෙරලීමේ ඉඩකඩ තිබෙනවා.

අධ්‍යාපනය සහ සංවර්ධනය

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පුහුණු පිරිසකගේ දායකත්වයෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ අධ්‍යාපනය ලබා දෙන්නට පුළුවන්.ඒ වගේම දරුවන්ගේ දෙමාපියන් තුළද දරුවාගේ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් තිබීමෙන් දරුවාගේ සංවර්ධනය ක් අත්පත් කරගන්නට හැකියි.

සෑම නිරෝගී දරුවකු  සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ද අපගේ සමාජයේ පැවැත්ම පිළිබඳ තීරණය කරනවා.ඔවුන් දෙමාපියන්ගේ පුද්ගලික දේපළක් නොවේ .ඔවුන් අපේ රටේ අනාගතය නියෝජනය කරනවා.ඉතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු අපගේ පවුලේ නැති වෙන්නට පුළුවන්.නමුත් අපගේ සමාජයේ  සිටින එවැනි දරුවන් පිළිබඳව ව වගකීමක් අපට තිබෙනවා.

අධ්‍යාපනය සෑම දරුවකුම හිමිකම් ලබන දෙයක්.නමුත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය තවමත්  අප වැනි රටවල් තුල  අතිශයින් දියුණු මට්ටමකට පත් වී නැහැ.නමුත් දැනටමත් ඒ සඳහා පුහුණු පිරිසක් ක්‍රම ක්‍රමයෙන් ක්ෂේත්‍රයට එකතුවෙමින්  සිටිනවා.ඒ නිසා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ඔබට සිටිනවා සිටිනවානම් හෝ සමාජයේ සිටිනවා නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම පිළිබඳව දැනුවත් වීම ඉතාමත් වැදගත්.
දෙමාපියන් ඒ පිළිබඳ දැනුවත් භාවයකින් නැතිනම් ඔවුන්ව ඒ පිළිබඳව දැනුවත් කිරීම ද පුරවැසියෙක් ලෙස අපගේ යුතුකම වෙනවා.

සුරක්ෂිත අනාගතයක්

දෙමාපියන්ගේ රැකවරණයෙන් මිදුණු පසු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමාජය තුළ තවමත් සුරක්ෂිත නැහැ.ඔවුන් සඳහා විශේෂ පුහුණු මධ්‍යස්ථාන සහ වෘත්තීයමය රැකබලා ගන්නන්ගේ සේවය බොහෝවිට ජීවිත කාලය පුරාම අවශ්‍ය වෙනවා.ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යය වන අතර එය මූලික සමාජ අවශ්‍යතාවක් ලෙසද සලකන්නට පුළුවන් .

විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සමඟ කටයුතු කිරීමේදී හෝ සමාජය තුළ හමුවීමේදී මේ පිළිබඳව විශේෂයෙන්  සැලකිලිමත් වන්න.

1.ඔවුන් ප්‍රදර්ශන භාණ්ඩ නොවේ.
2.කර්මය පිළිබඳ බණ දේශනා වලට ආදේශක නොවේ.
3.ආදරය මිස අනේ අපොයි අනුකම්පාව ප්‍රදර්ශනය නොකරන්න.
4.ඔවුන් සමග සහායට ගමන් කරන අයට ඉඩදෙන්න.උදව් කරන්න.යුතුකමක් ලෙස පමණක් සිදුකරන්න.
5.කායික හෝ වාචික හිංසනයන් සිදු  කිරීමෙන් වළකින්න.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය  උපකාර ලබා දිය හැකි පිරිස් සමාජ සංස්ථාව තුළ සිටිනවා.

1.රෝහල් සහ වෛද්‍ය විශේෂඥයන්
භෞත චිකිත්සක
2.කථන හා භාෂා චිකිත්සක
පෝෂණවේදීන්
3.ප්‍රදේශීය සමාජ සේවා නිලධාරීන්
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
4.අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනුම් සම්බන්ධ නිලධාරින්

ඉතින් මේ සියලුම දැනුවත් වීම් ඔස්සේ සමාජයේ විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන් ගේ සංවර්ධනය වෙනුවෙන් ඔබේ කාර්‍යභාරය සනිටුහන් කිරීමට ඔබට  ප්‍රයෝජනවත්  වෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

Related Articles

Don't Miss


Latest Articles