“සියල්ලන් හඬවා අඳුරු ළිඳක් තුල ජීවිතයට සමුදුන් සුජිත් විල්සන් ” අපිට කියන පණිවිඩය

2019 වසරේ සිදුවූ මේ ඛේදවාචකය ඔබට මතක ඇති.2019 ඔක්තෝබර් 25 වැනි සිකුරාදා පස්වරුවේ තමන්ගේ නිවස අවට සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි වියේ පසුවූ සුජිත් විල්සන් නම් දරුවා, තමිල්නාඩුවෙහි තිරුචිරපිල්ලෙයි දිස්ත‍්‍රික්කයේ පිහිටි, අත්හරින ලද වගා ළිඳකට වැටී සිරවී සිටියා. මව්පියන්ගේ අවධානය මොහොතකට ඔහු වෙතින් ගිලිහුන වෙලාවක ඔහු මේ අවසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනා.හයක් හතරක් නොතේරෙන සුජිත් දින හතරක් පුරා ජිවිතය අයදිමින් අඳුරු කුහරයක් තුල ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියා .දින ගණනක් පුරා පැවති ඔහුව මුදාගැනීමේ මෙහෙයුම්ද අසාර්ථක කරමින් ඔක්තෝබර් 29 වන අඟහරුවාදා ඔහු මෙලොවින් සමුගත්තේ ඉන්දියානු වැසියන් පමණක් නෙමෙයි ,මුලු මහත් ලෝකයම හඬවමින්.

වගාජලය ලබාගැනීම සඳහා කණින ලද මෙවැනි ළිඳක් සිඳී ගිය පසු ගොවීන් එම ළිඳ අත්හැර දමනවා මිස වසා දැමීමට උත්සාහ නොකිරීම මෙම අනතුරට මූලික හේතුව වී තිබුනා.නමුත්
මෙවැනි වලවල් වසා දැමීමේ උපදෙස් මාලාවක් මෙතෙක් නිකුත් කර නෑ. සුජිත් විල්සන් වැනි දරුවන් ගණනාවක් වාර්ෂිකව ඉන්දියාවේ වගාළිං වලට වැටී මියයාමේ සිද්ධි වාර්තාවී තිබෙනවා. එම සිද්ධීන් ඇසුරින් නිර්මාණය කරන ලද ” අරම් ” නමින් චිත්‍රපටයක්ද 2017 වසරේ නිකුත් කෙරුනා.

ශ්‍රී ලංකාවේ ළමා අනතුරු වල තත්වය කෙසේද?

අසල්වැසි රටේ තත්වය එසේ වෙද්දි ශ්‍රී ලංකාවේ වාර්ශිකව වයස අවුරුදු 18 ට ළමුන් දෙලක්ශ හැත්තෑදහසක් පමණ අනතුරු වලට ලක්ව රෝහල් ගත කෙරෙන බවත් , ළමුන් දෙදහස් හයසීයක් පමණ අනතුරු හේතුවෙන් මියයන බවත් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා 2016 වසරේදි අනාවරණය කර තිබුනා.

ළමා අනතුරු වලින් සිදුවූ ළමා මරණ වල පසුබිම කෙසේද?

වර්තමානය වනවිට ලොව වෙසෙන අවුරුදු 15ට අඩු ළමයින්ගෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරු නිසා වාර්ෂිකව මිය යනවා.. මේ අය අතරින් 95%කට වැඩි පිරිසක් මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලින් බවත් වාර්තා වෙනවා..බොහෝවිට දරුවන් අනතුරුවලට ලක් වන්නේ මාර්ග අනතුරු,දියේ ගිලීම්,පිළිස්සුම්,වැටීම් සහ විෂවීම් ආදිය හේතුවෙන්.ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ද මෙසේ ම ය.ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු ළමා මරණ අතුරින් අනතුරු නිසා සිදු වන මරණ සිව්වැනි ස්ථානය ගන්නවා.

ගෘහස්ථව සිදුවිය හැකි ළමා අනතුරු මොනවද?

නිවසේදි වැටීම , කාසී වැනි දෑ ගිලීම , විදුලි ස්විචයන් තුලට ඇගිලි දැමීම, ආයුධ වලට කැපීම් සිදුවීම ,පිලිස්සීම් , සතුන් සපා කෑම් මෙන්ම අනාරක්ෂිත ළිං වලට වැටීම වැනි අනතුරු දරුවන්ට සිදුවෙන්නට පුලුවන්.
නිවස තුලදී මෙන්ම,නිවසින් පිටදීත් දරුවන්ට ඕනෑම වෙලාවක අනතුරු වීමේ අවධානම තිබෙනවා.විශේශයෙන්ම කුඩා දරුවන් වෙත තිබෙන මව්පිය අවධානය ගිලිහෙන ඕනෑම මොහොතක දරුවන් මෙවැනි අනතුරු වලට මුහුණ පාන්නට පුලුවන්.නැත්නම් මව්පියන්ගෙ නොසැලකිල්ල නිසාත් දරුවන් මෙවැනි අවාසනාවන්ත තත්වයන් වලට ලක්වෙන්නට පුලුවන්.

නිවසින් පිටදී ,මහ මගදි සිදුවිය හැකි ළමා අනතුරු මොනවද?

මහ මගදී යතුරු පැදිවල දරුවන් සමඟ ගමන් කරන මව්පියන් අපි ඕනෑ තරම් දකිනවා.එයින් දරුවන්ට ආරක්ෂිත හිස් ආවරණ පළඳවන්නේ කීයෙන් කී දෙනාද ? ඒ විතරක් නෙමෙයි මහ මග ගමන් කරනවිට දරුවාව පාර පැත්තෙන් තබාගෙන නොසැලකිලිමත් ලෙස ගමන් කරන මව්පියන් පවා ඉන්නවා. මේ ඕනෑම අවස්ථාවක දරුවන් අනතුරු වලට ලක්වෙන්නට පුලුවන් .

ළමා අනතුරු වළක්වා ගැනීමට වැඩිහිටියන් දායක වියයුතු වන්නේ කෙසේද?

උපතේ සිට මාස හය දක්වා දරුවන් කෙරෙහි මව්පිය අවධානය විශේශයෙන්ම යොමු විය යුතුයි.මෙවන් දරුවන් බොහෝවිට කිරි හිරවීම ,හුස්ම හිරවීම වැනි තත්වයන් වලට ලක්වෙන්නට පුලුවන් .ඒ නිසා ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරිම වැදගත්.දරුවාට කිරි දීමෙන් පසු අනිවාර්යයෙන්ම ගුඩුස් යැවීම ,අවුරුදු දෙකට අඩු දරුවන් යතුරු පැදි වල ගෙනයාමෙන් වැළකීම, ඇඳන් වැනි උස් ස්ථාන වල දරුවා තනියෙන් නොතැබීම , දරුවා නෑවීමේදි දරුවාව වතුර බේසමේ තබා නොයෑම වැනි පියවර දෙමව්පියන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතුයි.
ලෝකයේ බොහො රටවල් වල දරුවන්ව මෝටර් රථයක ගෙනයන විට දරුවන් වෙනුවෙන් නිපදවා ඇති ආරක්ෂිත අසුනක් භාවිතා කරනවා.අපේ රටේත් මෙම ක්‍රමය දෙමව්පියන් විසින් අනුගමනය කරනවා නම් රිය අනතුරු වලදි දරුවන්ට වන හානි අවම කරගන්න පුලුවන්
එමෙන්ම නිවසේදි දරුවන්ට හසු නොවන තැන්වල ආයුධ ගබඩා කර තැබීම , අනාරක්ෂිත ළිං වසා දැමීම , උණු වතුර වැනි දේ දරුවාගෙන් ඈත් කර තැබිම වැනි පියවර දෙමව්පියන්ට අනුගමනය කරන්නට පුලුවන්. දරුවන් සෙල්ලම් කිරීමේදි පවා ඔවුන් වෙත විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.මොහොතකට වත් දෙමව්පිය අවධානය දරුවෙන් වෙතින් ඈත් නොකල යුතුය.ඒ විතරක් නෙමෙයි ,පෙර පාසල් සහ පාසල් වල ගුරුවරුන් පවා දරුවන් කෙරෙහි විශේෂ අවධානයකින් පසුවිය යුතුයි

දෙමව්පියන් අතින් වන සුලු අතපසුවීමක් මගින් දරුවාගේ ජීවිතයට අති විශාල හානියක් සිදුවෙන්නට පුලුවන්.එම නිසා
දරුවන්ගේ ආරාක්ශාව කෙරෙහි දෙමව්පියන් සෑම මොහොතකම, සෑම තප්පරයකම අවධානය යොමු කල යුතු බව අපි ඔබට සිහිපත් කරනවා

Related Articles

Don't Miss


Latest Articles