දරු සෙනෙහසට වඩා වටිනා දෙයක් තාත්තෙකුට තියෙනවාද?

මහේල ජයවර්ධන ලංකාවේ වගේම ලෝකය පුරා ජීවත් වෙන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අතිශය ආදරයට පත් තාරකාවක්.ක්‍රිකට් පිටියෙන් සමු අරගෙන වසර කීපයක් ගෙවී ගියත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේ නෑ.වරින්වර ක්‍රිකට් සම්බන්ධ කාර්යයන් සඳහා ඔහුගේ සක්‍රීය දායකත්වය ලැබුණා.

ලංකාවේ ක්‍රිකට් අපේ රටේ මිනිසුන්ටම විහිළුවක් ව පැවති කාලයක් තමයි මෑතකදී පැවතුණේ.ඒ තත්ත්වයෙන් යම්තාක් හිස ඔසවමින් හිඳින ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ICC T20 ලෝක කුසලාන තරඟාවලියට සහබාගී වෙමින් හිඳිනවා.මහේල ජයවර්ධන නම් විශිෂ්ට ක්‍රීඩකයා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මුදල් අය කිරීමකින්ද තොරව එක් වූයේ ලංකා කණ්ඩායමේ තත්ත්වය වඩා ඉහළ නංවන්නට විශිෂ්ට කැප කිරීමක් කරමින්.මහේල පැමිණ සිදු කළ යම් යම් වෙනස්කම් නිසා ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණ ලබා ගන්නට හැකි වූ බව ක්‍රිකට් විචාරකයන් පවසනවා.

නමුත් T20 තරගාවලිය වෙනුවෙන් තවත් කාලයක් රැඳී නොසිට නැවත ලංකාවට එන්නට මහේල තීරණය කර අවසන්.ඒ ක්‍රිකට් සම්බන්ධ හේතුවකට නම් නෙවේ.ඔහුගේ පෞද්ගලික හේතුවකට.ක්‍රිකට් රසිකයන් අමනාප විය හැකි වුවත් එය ඉතා සුන්දර සහ ආදරණීය හේතුවක් බව නොලියාම බැහැ.

මහේල ලෝක කුසලාන තරග සඳහා ලංකා කණ්ඩායමට සහය පළ කරන්නට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියට එක්ව සිටියා.ජූනි මාසයේ සිට දවස් එකසිය තිහකට අධික කාලයක් නිරෝධායනයට ලක් වෙමින් ජෛව ආරක්ෂණ බුබුළු (bio bubbles) වල හිඳිමින් කටයුතු කළා

“මම පසුගිය ජූනි මාසයේ සිට මගේ දියණිය දැක නැහැ.තව දුරටත් රැඳී සිටීම අපහසුයි.”

Mahela Jayawardene and Sansa Jayawardene

මහේල පවසා තිබෙනවා.ඔහු Online ක්‍රමවේදය හරහා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට උපදේශනය සපයන්නට පොරොන්දු වෙමින් සංචාරය අහවර කරන්නටයි දැනට සැලසුම් කර තිබෙන්නේ.

ඉතින්,මෙය මහේල සහ ක්‍රිකට් ගැන කතාවක් පමණක්ම නොවේ.ලෝකය වසංගතයක ගිලී පැවතෙමින් තිබෙන කාලයක තමන්ගේ දරුවන් බොහෝ කාලයකින් නුදුටු පියවරු හිඳිනවා.සෞඛ්‍ය සේවයේ සහ ආරක්ෂක සේවයේ නියුතු අය පමණක් නෙවෙයි.සෙනඟ අතර ගැවසෙන රැකියා කරන බොහෝ තාත්තලාට වරින්වර නිරෝධායනයට ලක් වෙමින් නිවසට නොගොස් ඉන්නට සිදු වෙනවා ඇති. ඒ අතරින් සමහර පියවරු මහේල ගත් තීරණයම ඔවුන්ගේ ක්‍රමයට නොගෙන ඉන්නට ඉඩක් නැහැ.කීර්තිය සහ මුදල් වලට වඩා තමන්ට උවමනා පවුල සමඟ රැඳෙන්නට බව තාත්තා කෙනෙකුට සිතුණොත් එහි වරදක් දකින්නට ඇත්තටම අපිට බැහැ.

දරුවෙක් උස්මහත් කරන්නට සල්ලි අවශ්‍යයි.ඒත් තාත්තා හැමදාම ඉන්නේ ගෙදරින් පිට නම් ඔහු දරුවෙකුගේ හදවතින් ගිලිහෙන ඉඩත් නැතුවා නෙවෙයි.විශේෂයෙන්ම විදේශයන්හි රැකියා කරන තාත්තලාගෙන් දුරස් වන තම දරුවන් ගැන අපේ Smartlady Facebook සමූහයට ලියා එවන අම්මලා ඕනෑතරම් ඉන්නවා.

Mahela Jayawardene and his Daughter

අන්න ඒ වගේ මොහොතක මුදල් විශාල ප්‍රමාණයක් උපයන රැකියාව අත් හැර සාමාන්‍ය රැකියාවක් කරමින් දරුවා සමීපයේ රැඳී හිඳින තීරණයකට ඔබේ සැමියා පැමිණියොත් එහි වරදක් දකින්නට එපා.ඔහු සමඟ රණ්ඩු නොකර ඔහුගේ තීරණයට ගරු කරන්න.තාත්තා සහ සල්ලි අතර සම්බන්ධතාවයට වඩා කුඩා දරුවෙකුට තාත්තාගේ හාදුවක්, ඔහු සමඟ කරන සෙල්ලමක් මතකයේ රැඳෙනවා.තාත්තාගේ ආදරය, ඔහු තමන් අසල සෙවණැල්ලක් ව රැඳුණු හැටි දරුවෙකුට වඩා සුන්දර මතකයක් වෙනවා.සෙල්ලම් බඩු එවූ,ඇඳුම් පැළඳුම් නානාප්‍රකාර රසකැවිලි එවූ මිනිසා තාත්තා බවත් ඔහු සමඟ හුරතල් වෙන්නට තමන්ට දැන් කාලයක් නැති බවත් නව යෞවන දරුවෙකු පසුතැවිල්ලෙන් සිතන දවසක් ගැන ඔබේ සැමියා අකමැති නම් මුදල් වෙනුවෙන් ඔහුගේ හැඟීම් බිල්ලට තබන්නට එපා.

ලාංකීය සමහර ක්‍රිකට් රසිකයන්ට මහේල ජයවර්ධන මේ මොහොතේ කුහකයෙකු ලෙස දැනෙනවා ඇති.නමුත් පිටියේ දී ප්‍රතිවාදීන්ට ඔහු ඉගැන්වූ පාඩම්වලට වඩා ඔහු පියවරුන්ට ඉගැන්වූ මේ මනුෂ්‍යත්වයේ සහ පීතෘත්වයේ පාඩම විශිෂ්ට එකක්.ලෝකයට ඔහු එක්තරා ලෙජන්ඩ් කෙනෙක්.නමුත් කුඩා සන්සාගේ සම්පූර්ණ ලෝකය ඔහු පමණයි.හැම දියණියකටම ඒ හැඟීම පොදු බව අප අමතක නොකළ යුතු කාරණයක්.

එනිසා ඔබේ දරුවන්ට ඔබට පෙනෙන දුරකින් වැඩෙන්නට ඉඩ හරින්න.

Related Articles

Don't Miss


Latest Articles