යෝනි ප්‍රදේශය ආශ්‍රිත පිරිසිදු බව නිවැරදිව රැක ගන්නේ කෙසේද?

කාන්තාවක් වශයෙන් බාහිර පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේ ම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ඔබේ ප්‍රජනන අවයවවල සෞඛ්‍යමත් භාවයයි. පිරිසිදුව සෞඛ්‍යමත් ව ලිංගික ප්‍රදේශය තබා ගන්නා අයුරු අද අපි සාකච්ඡා කරමු.

නිසි පරිදි පිරිසිදු කරන්නේ කොහොමද? 

කාන්තා ප්‍රජනන අවයවය විස්මයජනකයි. එහි නිර්මාණය වී ඇත්තේ එයින් පිටවන සමහර ශ්‍රාවයන්ගෙන් ම පිරිසිදු වන ලෙසටයි. ඒ නිසා ඔබ විශේෂයෙන් douches මගින් යෝනි මාර්ගය තුළට වතුර යවමින් පිරිසිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සැබැවින්ම එය අහිතකරයි. බාහිර යෝනිය පිරිසුදු ජලයෙන් සේදීම ප්‍රමාණවත්. අධික සුවඳ සහ රසායනික ද්‍රව්‍යවලින් සැකසූ සැර සබන් වර්ග සහ සේදුම්කාරක කිසිම අවස්ථාවක භාවිතා කිරීම සුදුසු නැහැ. එමගින් ලිංගික අවයවවල pH මට්ටම වෙනස් වෙනවා. එය ආසාදන ඇති වීමට බලපාන කාරණාවක්. අවශ්‍ය ම විටෙක දී සැර නැති සුවඳ රහිත සබන් හෝ ශරීරයට හිතකර සේදුම් කාරකයක් භාවිතා කිරීම ප්‍රමාණවත්. ඔබට අපිරිසිදු යැයි හැඟෙන ඕනෑම විටක පිරිසිදු ජලයෙන් සෝදන්නට පුලුවන්.

යට ඇඳුම් තෝරාගන්නේ කොහොමද? 

යෝනි ශ්‍රාවවලින් බොහොමයක් ලෙඩරෝග කලින් ම හඳුනාගන්නට පුලුවන්. ඔබට සුදු හෝ ලා පැහැ යට ඇඳුම් නිර්දේශ කරන්නේ ඒ නිසායි. ඒමගින් ශ්‍රාවයන්ගේ පැහැය සහ ස්වරූපය නිවැරදිව හඳුනාගන්නට හැකිවෙනවා. එමෙන්ම කපු යට ඇඳුම් වඩාත් ම සුදුසු බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ. ලේස් සහිත සහ සිල්ක් යට ඇඳුම් දාඩිය ඇති කරනවා. ආසාදන ඇති වීමට එය හේතුවක්. අත්‍යවශ්‍ය ම විටෙක හැර හැකිතාක් කපු ඇඳුම් ම භාවිත කිරීම සුදුසුයි. ඉතා තද නොවී තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන පහසු යට ඇඳුම් භාවිතා කිරීමෙන් බොහෝ ගැටලු අවම වෙනවා. 

යට ඇඳුම් පිරිසිදු ව තබා ගැනීමත් ඉතා වැදගත් දෙයක්. එක් වරක් ඇන්ද පසු නොසෝදා නැවත ඇඳීම කිසිම විටෙක නොකළ යුතුයි. යට ඇඳුම් සේදූ පසු තද අව්වේ වේළාගෙන භාවිතා කරන්න. මාස තුනකට වරක්වත් අලුත් යට ඇඳුම්වලට මාරු වෙන්න. ඔබ කෙතරම් අවයව පිරිසිදු කළත් යට ඇඳුම් විසබීජ සහිත නම් ඔබේ පිරිසිදු කිරීම්වලින් පලක් වන්නේ නැහැ. 

ලිංගික එක්වීමකදි යෝනි මාර්ගයේ සෞඛ්‍ය සම්පන්න බව සහ පිරිසිදු බව රැකගන්නේ කොහොමද? 

ඔබ හෝ ඔබේ සහකරුවා ලිංගික සහකරුවන් වැඩි ප්‍රමාණයක් ඇසුරු කරනවා නම් කොණ්ඩම් භාවිතා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගවලින් වැළකීමට එය මනා පිටිවහලක්. එමෙන්ම ලිහිසිකාරක භාවිතා කරනවා නම් පෙට්‍රෝලියම් ජෙල් ග්ලිසරින්, ඔයිල් වර්ග වැනි ආදේශකවලට නොයා මේ සඳහා ම නිපදවූ ලිහිසිකාරක භාවිතා කිරීමෙන් ඔබේ සෞඛ්‍යය සුරැකෙනවා. එමෙන්ම සුවඳකාරකත් ලිංගික අවයවවලට එතරම් සුදුසු දේවල් නොවෙයි. ලිංගික එකතුවීමකින් පසු ලිංගික අවයව හොඳින් සෝදා පිරිසිදු කිරීම මෙන්ම මූත්‍රා කිරීම ද වැදගත් බව ඔබ දන්නවා ඇති. එමගින් මුත්‍රා ආසාදන වැළඳීම වැළකෙනවා. 

ඔසප් සමයේදී පිරිසුදු බව රැකගන්නේ කොහොමද? 

ඔබ ඔසප් සමයේදී භාවිතා කරන සනීපාරක්ෂක තුවාය සෑම පැය තුනකට වරක්ම අනිවාර්යයෙන් මාරු කළ යුතුයි. රුධිරය බැක්ටීරියාවලට ඉතා හොඳ පෝෂණ මාධ්‍යයක්. ඔබ දීර්ඝ කාලයක් අපිරිසිදු සනීපාරක්ෂක තුවාය ඇඳගෙන සිටීමෙන් යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසාදන ඇති වී කැසීම්, දැවිල්ල ආදී ලක්ෂණ ඇති වෙන්නට පුලුවන්. ඔබ menstrual cup භාවිතා කරනවා නම් නිසි වේලාවට ඉවත් කර පිරිසිදු කරන අතරේම ඒවා නිවැරදිව ජීවාණුහරණය කරමින් භාවිතා කළ යුතුයි. සනීපාරක්ෂක තුවාය හෝ cup එක මාරු කිරීමේදී පිරිසිදු ජලයෙන් සෝදා සිටීම වඩාත් සුදුසුයි.

සෞඛ්‍ය සම්පන්න ව ලිංගික ප්‍රදේශ තබා ගන්නේ කෙසේද යන්න දැන් ඔබ දන්නවා. ආසාදනවලින් තොර ව මනා සෞඛ්‍ය තත්ත්වයක් තබා ගන්නට මේ අනුව ඔබට හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles