ආතරයිටිස් මට්ටුකරන ආහාර

ආතරයිටිස් රෝගය අතීතයේ සිටම මිනිසාව පීඩාවට පත් කර තිබෙනවා. අද කාලයේ බොහෝ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. බෙහෙත් පමණක් නොව දෛනික ආහාර ඇසුරෙන් ආතරයිටිස් මට්ටු කරන්න පුළුවන්ද බලමු.

ආතරයිටිස් රෝගය මිනිස්‌ සිරුරට වැළඳීමේදී දෙයාකාරයක්‌ ගන්නා බව වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන අතර ඔස්‌ට්‍රියෝ සහ රුමැටොයිඩ් යනුවෙන් ඒවා නම්කර ඇත වැලමිට, උකුල් අස්‌ථිය, වළලුකර හා ඇඟිලි පුරුක්‌ වැනි ස්‌ථානවල ඇතිවන වේදනාව ඉදිමීම ආතරයිටිස්‌ රෝගයේ ස්‌වභාවයකි.

සිරුරේ බර අඩු කරගැනීමෙන් සන්ධි වේදනාව සෑහෙන දුරට අඩු කරගත හැකි නිසා ආතරයිටිස් පාලනය කිරීමේදී ආහාර රටාවට විශේෂ තැනක් හිමි වේ. තද කොළ පැහැති පළා වර්ග, නැවුම් පලතුරු මෙන්ම කැල්සියම් අනූන ආහාර, සිසිල් ජලයේ වැඩෙන ඔමේගා-3 වර්ගයේ මේද අම්ල සහිත මසුන් වර්ග ආහාරයට ගැනීමෙන් හා කෘත්‍රිම ලෙස සකස් කරගත් සන්තෘප්ත මේද සහිත ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර මෙන්ම වේදනාවද අඩු කරගත හැකියි. මෙවැනි ආහාර රටාවක් ප්‍රදාහක (ඉදිමීමේ) ක්‍රියාවලිය අඩු කිරීමට දායක වන බව පැවසේ. මස්, කිරිවලින් ආදියෙන් සාදන ලද ආහාර වර්ග, තිරිඟු සහ තක්කාලි, අල, මිරිස් වර්ග හා වම්බටු වැනි නයිට්ශේඩ් විශේෂයට අයත් එළවළු වර්ග ද ආහාර රටාවෙන් ඉවත් කිරීමෙන්ද ඇතමෙක් සහනයක් ලබා තිබෙනවා.

ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, සතියකට දවස් දෙකක්වත් තම ආහාර වේල සඳහා මාළු එක්කර ගැනීම සුදුසු බව පර්යේෂණයක් මඟින් හෙළිවී තිබේ. එයට හේතුව, මාළුවල අඩංගු ඕමේගා 3 සංඝටකය මඟින් ආතරයිටිස් රෝගය සැදීමට තිබෙන අවදානම අවම කිරීමය.ආතරයිටිස් රෝගය වැලඳුණු මුල් කාලයේදී ම මාළු පරිභෝජනය වැඩි කර ගැනීමෙන්, කෙටි කාලයක් තුළ රෝගය මඟ හරවා ගත හැකි බව ද මේ පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණය මඟින් හෙළි වූයේ, පෙර වසරේදී ඔවුන් තම ආහාර වේලට වැඩි වශයෙන් මාළු එකතු කර ගැනීම නිසා, ඇට මිදුළු හා සන්ධි රෝග අවම කර ගෙන ඇති බව ය. මාළු වර්ග අතර ටූනා, සැමන්, සාඩින් වර්ග ආතරයිටිස් රෝගීන් සඳහා වඩාත් සුදුසු වේ. එසේමසන්ධි ආශ්‍රිතව පවත්නා දැඩි වේදනාව ද යම් තාක් දුරට මාළු අනුභව කිරිමෙන් අවම කර ගත හැකි ය.

සාමාන්‍යයෙන් ලබා ගන්නා ප්‍රතිකාර වලට අමතරව මෙවැනි ආහාර රටාවක් අනුගමනය කිරීම තුලින් සන්ධි වේදනාව බොහෝ දුරට අඩු කරගත හැකි නිසා අනිවාර්යයෙන්ම ඔබත් ආහාර පිළිබඳවවැඩි අවධානයක් යොමු කිරීම වැදගත් නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles