උදේට බොන්න ඖෂධීය පාන වර්ග තුනක්

උදේ ආහාර වේල කියන්නෙ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට වගේම ප්‍රබෝධමත් දවසක් ආරම්භ කරන්නත් ඉතාම වැදගත් වගේම මඟ නොහැර ගත යුතුම ආහාර වේලක්. 

උදේට ලොකු බත් පිඟානක් කන පුරුද්දෙන් මිදිල ඒ වෙනුවට පෝෂ්‍යදායී සරල ආහාර වේලක් ගන්න අපි බොහෝ දෙනෙක් අද වෙද්දි පුරුදු වෙලා තියෙනවා. 

සමහරවිට ඔබ උදේට කෑම කන්න අකමැති එහෙමත් නැත්නම් උදේ ආහාර වේල ටිකක් ප්‍රමාද වෙලා ආහාරයට ගන්න කෙනෙක් වෙන්න ඇති. 

එහෙමනම්, හිස් බඩ ඔබේ දවස ආරම්භ කරන්නෙ නැතුව පෝෂ්‍යදායී ආරම්භයක් ලබාදෙන්න පුළුවන් පාන වර්ග තුනක් ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

අපි බලමුද එහෙනම් ඒ මොනවද කියල ? 

කරපිංචා කොළ කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කරපිංච ඉති 10 – 15 ක කොළ
  • පොල් බෑයක ගාගත් පොල්
  • සෝදා වතුර පෙරා ගත් රතු හෝ සුදු හාල් 70 g ක් පමණ ( රතු හාල් නම් වඩා සුදුසුයි) 
  • අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් 
  • සුදුළූනු බික් 5 ක් 6 ක් පමණ
  • ලුණු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිපතබා එයට රතුහාල්, සුදුළූනු සහ ඉඟුරු කැබැල්ල දමා බත් බෙරිවෙන ප්‍රමාණයට ප්‍රමාණවත් තරම් වතුර තබා ගන්න. 

බත් බෙරිවෙන තුරු උයාගන්න. 

ඒ අතර බ්ලෙන්ඩර හෝ වංගෙඩිය ආධාරයෙන් සෝදා පිරිසිදු කරගත් කරපිංචා කොළ වලට වතුර දමා කොටාගන්න.

කොටාගත් කරපිංචා වල ඉස්ම හොඳින් මිරිකා ගන්න. 

ඒ ඉස්ම වෙනම භාජනයක දමා පසෙකින් තබන්න.

දැන් ඉස්ම මිරිකාගත් කරපිංචා වලට ගාගත් පොල් දමා නැවත කොටා ගන්න. 

එයිනුත් පොල්කිරි සමඟ කරපිංචා ඉස්ම මිරිකා ගෙන පොල්කිරි මිශ්‍රණය වෙනම භාජනයකට දමන්න. 

ඉතුරු කරපිංචා වලට නැවත වතුර ස්වල්පයක් දමා අතින් මිරිකා ඒ කරපිංචා ඉස්ම මිශ්‍ර වතුරත් කලින් පොල්කිරි මිශ්‍රණයටම දමා ගන්න. 

දැන් බෙරිවෙන තුරු පිසගත් බත් වලින් භාගයක් හැන්ඳක් භාවිතයෙන් හෝ බ්ලෙන්ඩරයට දමා පොඩි කරගන්න. 

දැන් අපි අවශ්‍ය කළමණා සියල්ල සූදානම් කර අවසන්. 

දැන් භාජනයක් ලිපේ තබා එයට බෙරිවෙන තුරු පිසගත් බත්,පොඩි කරගත් බත්, පොල්කිරි මිශ්‍රණ සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන පොල්කිරි ටික නටන තුරු මඳ ගින්දරේ හැඳිගාමින් පිසගන්න. 

පොල්කිරි නටන විට ලිපේ ගින්දර නිමා මුලින්ම මිරිකා ගත් කරපිංචා යුෂ ටිකත් එක්කර හැඳි ගාමින් ටික වෙලාවක් හොඳින් කලවම් කරගන්න. 

මඳ රස්නෙන්ම පානය කරන්න. 

ඔබ කැමති නම් හකුරු කැබැල්ලක් සමඟ වුනත් පානය කරන්න පුළුවන්.

අක්මාව නිරෝගිමත් කිරීම, ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීම, පෙනීම වර්ධනය කිරීම වගේම හිසකෙස් වල වර්ධනයට කරපිංචා ඉතාම ගුණදායක වෙනවා.

සව් පානය

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සව් 50 g ක් 
  • පොල් කිරි වල මිටි කිරි අඬු කෝප්ප 01 ක් දිය කිරි අඬු කෝප්ප 02 ක්
  • කරදමුංගු ගෙඩියක්
  • ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
  • රට ඉඳි හෝ මුද්දරප්පලම් 
  • ගාගත් කිතුල් හකුරු
  • ලුණු ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය 

භාජනයක් ලිප තබා හොඳින් සෝදාගෙන වතුර බේරාගත් සව් සහ දියකිරි අඬු කෝප්ප දෙක අඩු ගින්දරේ තම්බා ගන්න.

සව් පිම්බී තැම්බීගෙන එන විට එයට මිටිකිරි අඬු කෝප්පය, රට ඉඳි හෝ මුද්දරප්පලම්, පෙති කපාගත් ඉඟුරු, කිතුල් හකුරු සහ ලුණු ස්වල්පයක් එක්කර හොඳින් හැඳිගාන්න. 

මිටිකිරි නටන විට ලිපෙන් ඉවත්කර ටික වේලාවක් හොඳින් හැඳිගාන්න. 

මඳ රස්නයෙන්ම පානය කරන්න. 

අධි රුධිර පීඩනය අඩු කිරීමට, සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර වැඩිකර ගැනීමට, අස්ථි වල ශක්තිමත් බවට සහ මාංශපේෂී වර්ධනයට වගේම ශරීරයේ උෂ්ණත්වය අඩු කිරීමටත් සව් උදව් වෙනවා. 

තැඹිලි පානය 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තැඹිලි ගෙඩියක වතුර සහ මඳ
  • දෙහි පෙති 02 ක් හෝ 03 ක් ( කැමති නම්)
  • පිපිඤ්ඤා හෝ ගර්කින් පෙති කීපයක්
  • මින්ට් කොළ දෙක තුනක්  

සාදාගන්නා ආකාරය 

තැඹිලි වතුර සහ තැඹිලි මඳ සූරා වීදුරුවකට දමා ගන්න.

එයට සිහින්ව පෙති කපාගත් පිපිඤ්ඤා පෙති සහ දෙහි පෙති එක්කරන්න.

මින්ට් කොල කීපය අල්ලේ තබා පොඩිකර තැඹිලි වතුරටම දමා ටික වේලාවක් තබා පානය කරන්න. 

ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට, සමේ ප්‍රාණවත් බව ඇති කිරීමට, සෛල වයස්ගත වීම සහ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට, හදවතේ සහ වකුගඩු වල නීරෝගී බව පවත්වා ගෙන යාමට තැඹිලි වතුර ඉතාම ගුණදායක වෙනවා. 

ඔබ සෙම් රෝග හෝ වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙනවා නම් හෝ දිනපතා මේ පානයන් ලබා ගන්න පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න කියල අපි ආදරෙන් මතක් කරන්නත් කැමතියි. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles