විනාඩි දහයෙන් තේ බොන වෙලාවට ගැලපෙන ස්නැක්ස් හදමු

අද හවස තේ වෙලාවට මොනාද කන්නෙ? 

පුරුදු විදිහටම බිස්කට්ද ? 

මේ දවස්වල මිළ ගණන් එක්ක බිස්කට් කන්න පුළුවන් ද ? 

අනික නිතරම අහන්න දකින්න ලැබෙන ලෙඩ රෝග එක්ක පුළුවන් තරන් නිවසේදීම පිළියෙල කරගන්න දෙයක් ආහාරයට ගන්න ලැබෙනව නම් හොඳයිනෙ.

නමුත් ඔබේ කාර්‍යබහුල බවත් එක්ක ප්‍රධාන ආහාර වේල් වලට අමතරව කෙටි ආහාර පිළියෙල කරගන්න වෙලාවක් හොයාගැනීමත් අපහසු වෙන්න පුළුවන්.

අන්න ඒ නිසයි සුළු වෙලාවක් ඇතුලත ලේසියෙන්ම හදාගන්න පුළුවන් තේ බොන වෙලාවට ගැළපෙන කෙටි ආහාර තුනක් පිළියෙල කරන ආකාරය ඔබත් එක්ක කතා කරන්න අපි අද ලෑස්ති වෙන්නෙ.

එහෙනම් බලමු මොනාද මේ කියල.

Tuna melts (ටූනා මෙල්ට්ස්)

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කොටු හැඩයට හතරට කපාගත් පාන් පෙති කීපයක්
  • ටූනා මාළු ටින් 01 ක් (ටූනා මාළු නොමැති නම් සැමන් හෝ ඔබ කැමති තම්බාගත් මාළු වර්ගයක් යොදාගන්න පුළුවන්)
  • සිහින්ව ලියාගත් රතුළූනු ගෙඩි 03 ක් 04 ක්
  • සිහින්ව ලියාගත් හෝ ග්‍රේට් කරගත් පිපිඤ්ඤා කැබැල්ලක් 
  • සිහින්ව කපාගත් තක්කාලි පෙති කීපයක් 
  • ග්‍රේට් කරගත් චීස් කැබැල්ලක් (අත්‍යාවශ්‍ය නැහැ)
  • මයෝනීස් කෝප්ප ½ ක් 
  • රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට පිපිඤ්ඤා, ළූනු සහ මයෝනීස් එකතු කර හොඳින් කලවම් කර ගන්න. 

එයටම රස අනුව ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කලවම් කර මිශ්‍රණයක් සාදාගන්න.

දැන් කොටු හැඩයට කපාගත් පාන් පෙති මත පිළියෙල කරගත් මිශ්‍රණය අතුරා ගන්න.

ඊට උඩින් තක්කාලි සහ චීස් අතුරා ගන්න.

සාදාගත් පාන් කැබලි බේකින් තැටියක් මත අතුරා සෙල්සියස් අංශක 190 ක උෂ්ණත්වයේ විනාඩි 10 ක් බේක් කරගන්න. 

මඳ රස්නෙන් ආහාරයට ගන්න. 

Mirch pakora (අමු මිරිස් පිරවුම)

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අමුමිරිස්
  • පිරවුම සඳහා කුඩාවට කපාගත් රතුළූනු, තම්බාගත් අල, සැමන්, තම්බාගෙන පොඩි කරගත් මාළු හෝ මස් වැනි ඔබ කැමති දේවල් කීපයක්.
  • කඩල පිටි
  • මිරිස් කුඩු ,කහ කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු රස අනුව
  • වතුර

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ගෙන එයට කඩල පිටි, කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු, ලුණු කුඩු එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් එයට වතුර එකතු කරමින් උකු මිශ්‍රණයක් සාදාගන්න. 

සාදගත් කඩල පිටි මිශ්‍රණය පසෙකින් තබන්න.

වෙනම භාජනයක් ගෙන තම්බාගත් අල, රතුළූනු සහ පිරවුම සඳහා ඔබ යොදාගන්න කැමති දේවල් එක්කර රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්න. 

එම මිශ්‍රණයත් වෙනම පසෙකින් තබා ගන්න. 

අමු මිරිස් ගෙන වෙන්නොවෙන සේ මැදින් පලාගන්න. 

මිරිස් ඇට ඉවත් කරන්න. 

දැන් පලාගත් මිරිස් කරල් තුලට සාදාගත් පිරවුම පුරවා ගන්න.

තෙල් තාච්චියක් ලිපතබා තෙල් රත්වන විට පුරවාගත් මිරිස් වල සාදාගත් පිටි මිශ්‍රණය දවටා තෙලට දමා රන්වන් පාටවන තුරු බැඳගන්න. 

මඳ රස්නෙන්ම ආහාරයට ගන්න.

Halwa (හල්වා)

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සීනි කෝප්ප එකක්
  • වතුර කෝප්ප දෙකක්
  • එළඟිතෙල් කෝප්ප එකක්
  • කජු හෝ රටකජු (අවශ්‍යම නැත)
  • පාන් පිටි කෝප්ප එකක් 

සාදාගන්නා ආකාරය 

භාජනයක් ලිපතබා එයට සීනි සහ වතුර එක්කර සීනි නොපෙනී යනතුරු දිය කරගන්න. 

දැන් එම සීනි ද්‍රාවණය ලිපෙන් බාගන්න.

නැවත භාජනයක් ලිප තබා එයට ගිතෙල් එක්කරන්න. 

තෙල් රත්වන විට කජු හෝ රටකජු එක්කර මඳ වේලාවක් තබා බැදුනු රටකජු හෝ කජු ඉවත් කරගන්න.

ඉන්පසු එයට පිටි එක්කර විනාඩි 05 ක් හොඳින් හැඳි ගාන්න. 

විනාඩි 05 කට පසු පිටි මිශ්‍රණය දුඹුරු පැහැයට හැරී ඇතිබව ඔබට දකින්න ලැබෙනවා. 

දැන් එයට කලින් සාදාගත් සීනි මිශ්‍රණය එක්කරන්න. 

දැන් හොඳින් හැඳි ගාමින් විනාඩි 08 ක් 10 ක් පමණ හොඳින් හැඳිගාන්න. 

භාජනයේ නොඇලෙන මිශ්‍රණයක් ලැබෙන තුරු හොඳින් හැඳිගාන්න. 

දැන් එය කුඩා ගැඹුරු වීදුරු භාජනයකට එය පිඟානක් මත තබා අනෙක් පැත්ත හරවා ගන්න. 

එහෙමත් නැත්නම් ඔබට කැමති හැඩයකට සකසා ගන්න පුළුවන්. 

බැදගත් කජු මද සමඟ පිළිගන්වන්න. 

Related Articles

Don't Miss


Latest Articles