ශරදාකාසේ -7

ඒ රාත්‍රියේ නිශාමනී නිදන්නට කාමරයට ගියේ නැත. එසඳි යහනෙන් නො පෙරළෙනු වස් කොට්ට වට කරනා ඇය දෙස, යහනේ වැතිර උන් ශාරද බෙල්ල ළඟින් හිස ඔසවා බලා සිටියේ ය. ඔහු බලනු දුටුවත් නිශාමනී ඒ දුටු බවක් අඟවන්නේ හෝ නැතිව සිය පොරවනය හා කොට්ටය ගත්තා ය.

“ඇයි…රූම් එකේ නෙවෙයිද නිදියන්නෙ…”

ශාරද ට ඒ පැනය ආදරයෙන් අසන්නට තරම් මේ මොහොතේ සංයමයක් වූයේ නැත. ඔහු ප්‍රශ්න කළේ සැර කොට වාගේ ය. නිශාමනී පිළිතුරක් දෙනු තබා බලන්නේ හෝ නැති ව සෝෆාව වෙත ගියා ය. එතැනට ඔවුන් ගේ නිදන කාමරය පෙනෙනා මානයේ ය. එසඳි අවදි වී ඈ සෙව්වත් ඇසෙන්නේ ය. එබැවින් ඇය එතැන රැය ගෙවන්නට තීරණය කළා ය. 

මැදියම් රැයෙහි යහනෙන් පිබිදුණ ආකාස කාමරයේ දොර හැරියේ වතුර තිබහක් දැනුණ නිසාවෙනි. වෙනදාටත් ඔහු එහෙම මුළුතැන්ගෙට ගොස් පිපාසය සන්සිඳුවා ගෙන කාමරයට යයි. නිශාමනී සෝෆාවෙහි ගුලි වී සිටිනවා ඔහු ගේ නෙත ගැටුණේ අහම්බෙනි. එතැන දී ගමන් වේගය බාල වුණත්, ඔහු සුසුමක් සමග ගොස් ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් නවා ගෙන බීවේ ය. ආපසු එන ගමනේ දී නිශාමනී වැතිර උන් සෝෆාව ළඟ මඳකට නතර නො වන්නට ඔහු ට හැකි වූයේ නැත. කොට්ටයට එබී ගොස් තිබි ඇගේ මළානික මුහුණ දෙස ඔහු බලා ගෙන ම සිටියේ ය. ඇගේ දෙපා නග්න කරමින් පහළට එල්ලී ඇති පොරෝනය සකසන්නට හිතුණ ද ඔහු ඒ සිතිවිල්ල ට තරමක් බිය වූයේ ය. එහෙයින් ඉක්මන් කොට යළි කාමරයට වැදී දොර වසා ගත්තේ ය.

ඉනික්බිති ආකාස ට නින්ද ගියේ ම නැත. මොකක්දෝ අප්‍රාණික කෙඩෙත්තුවක් ඔහු ව අකර්මණ්‍ය කරමින් තිබිණ. ඔහු උදෑසන ම අවදි ව රැකියාවට යාම සඳහා පෙර සූදානම් හි නියැළුණේ ය. නිශාමනී නැගිට තේ පිළියෙල කළත් වෙනදා සේ ශාරද ලා ට ගෙන යන්නට කෑම පිසුවේ නැත.

“මල්ලි”

ශාරද කාමරයට ආවේ ආකාස ඇඳුම් මදිමින් සිටියදී ය. ඔහු හිස හරවා බැලුවා මිස ඇයි කියා ඇසුවේ නැත.

“තමුසෙට අද ඔෆිස් යන්න ම ඕනද..”

“ඇයි…”

“පුළුවන්නං ලීව් එකක් දාල ගෙදර ඉන්නව. නැත්තං මෙතන මොන පිස්සුවක් නටල තියෙයිද දන්නෑ”

“මට තමුසෙත් එක්ක කතා කරන්නත් ඕනෙ”

“හරි හරි මේ. පොඩ්ඩක් ඉන්නවද වට වෙලා මගෙ ඔළුව කන්නෙ නැතුව”

ආකාස ඍජු පිළිතුරක් නො දුන්නා ට ඔහු ගෙදර නවතිනු ඇති බවට විශ්වාසයක් ශාරද ට විය. වෙනදා සේ නිශාමනී තේ එක අතට ගෙන නො දුන්නෙන් ඔහු කුස්සියට ගොස් තේ එක බීවේ ය. නිශාමනී ඔහු නො දුටුවා සේ කෝප්ප සෝදමින් සිටියා ය.

“ශාමි”

ශාරද හඬ බාල කොට ඈ ඇමතුවේ ය. නමුත් නිශාමනී සිතේ මෘදු බවක් ඇති වූවා නොවේ. ඇය ඇස් හරවා බැලුවේ වුව නැත.

“ඔයා වැරදියට හිතං ඉන්නෙ”

අතේ තියෙන කෝප්පය පොළොවේ ගසා කුඩු කොට දමන්නට තරම් කේන්තියක් නැගුණත්, දත් දෙපෙළ තද කොට ගෙන නිශාමනී නිහඬ ව සිටියා ය.

“ඔය කියන කතන්දර ඔක්කොම ඇත්තයි කියල හිතන්න එපා. මිනිස්සු ඊරිසියාවට බලං ඉන්න බැරුව..”

“අනේ මේ නවත්තගන්නවද..”

ඇය යක්ෂාවේශයෙන් කඩා ගෙන පැන්නා ය.

“මිනිස්සුන්ට ඊරිසියා කරන්න දෙයක් තිබිල නෑ වෙන. මෙයාගෙ මහ ලොකු ෆැමිලි ලයිෆ් එකට ඊරිසියා කරල තියෙන්නෙ ඒකනෙ. තමුන්ගෙ වැරදි වහගන්න බොරු බොරු කතන්දර ගොතා ගෙන එන්න එපා. ඊට වඩා වැදගත් ඔව් මට තව ගෑනියෙක් ඉන්නවයි කියල පිළිගත්තනං”

“ඔයා කැමති විදිහකට හිතා ගන්න”

නිශාමනී ගේ කේන්තිය කෙතරම් උස් ව නැගුණේ ද යත් ශාරද ගේ හිස කේ වලින් ඇද පහර දෙන්නට තරම් ආවේගයකින් ඇය වෙව්ලා ගියා ය. එසේ කර ගත නො හැකි තැන ඇය අත වූ සබන් පෙන සහිත ස්පොන්ජ් එකෙන් සින්ක් එකට දමා ගැසුවා ය.

“මං කැමති විදිහට…ශාරද මේ මාන මිනී මරුවෙක් නොකර ඉන්නවද…ඔයාව දැං මට කොච්චර පේන්න බැරිද කියල කියනවනං…මට පුළුවන් පිහියකින් අනින්න තමුන්ට”

නිශාමනී ගේ ඇස් වල වූයේ ඒ කියූ දේ වුව කරන්නට හැකි විදිහේ ආවේශයකි. ශාරද ට බිම බැලිණ.

“ඔයාට දවසක තේරෙයි”

කියමින් ඔහු හිස් කෝප්පය තබා කුස්සියෙන් පිට වන්නට ගියේ ය.

“තේරෙයි නෙවෙයි. තේරිල තියෙන්නෙ දැන්”

ඇය කෑ ගෑවා ය. ඊළඟට කෑ ගසා හැඬුවා ය. 

නිශාමනී සිටියේ උමතු වන්නට ඔන්න මෙන්න ව සේ ය. ඇගේ හිත යකා ගේ කම්මල සේ අවුල් වියවුල් වලින් පිරී තිබිණි. සන්සුන් වන්නට ඇය ට උවමනා ව තිබිණි. සන්සුන් ව සියල්ල පෙරපර ගලපා සිතිය යුතු ය. ඊළඟ පියවර වශයෙන් කළ යුත්තේ කුමක් දැයි ඇය තවම දන්නේ නැත. පෙර දා යන්නට ගිය ගමන ගියේ වී නම් ඇය කොහේ හෝ යනු ඇත. ඒ ආවේගයත් සමග කොහේ හෝ ගොස් නතර වනු ඇත. නමුත් ගඟක් කිසි සේත් තත්පර දෙකක දී එක ම ගඟ වන්නේ නොවේ. ජීවිතය ද එසේ ය. ඒ මොහොත ගෙවී ගොස් තිබේ. ඒ වෙලාවේ කරන්නට ගිය දෙය යළි ඇය නො කරනු ඇති බව නිශාමනී දැන සිටියා ය. 

ඕනේ නම් කඩේට ගොස් උදේ කෑම සඳහා කෙටි කෑම වර්ග කිහිපයක් ගෙන එන්නට තිබිණ. නමුත් ආකාස එසේ නො කොට රයිස් කුකරයට හාල් ටිකක් සෝදා තැබුවේ ය. 

“ඔයාට බෑනෙ ඕව කරන්න”

නිශාමනී ආකාස අතින් හාල් ටික ගන්නට තැත් කළා ය. නමුත් ඔහු ඇය ව කුස්සියේ පුටුව මත වාඩි කරවා තරවටු බැලුමක් හෙළුවේ ය.

“මට පුළුවන්”

රයිස් කුකරය ක්‍රියාත්මක කළ ආකාස පැන්ට්‍රි කබඩ් එකක් ඇර බලා ටින් කළ මාළු ටින් එකක් ගෙන කඩා තෙම්පරාදුවක් දැමුවේ ය. ඔහු කපන්නට ලොකු ලූණු ගෙඩියක් අතට ගත්දීත් නිශාමනී ‘කෝ ඉන්න’ කියා නැගිට ගත්තා ට ආකාස යළිත් විත් ඇය ව පුටුවේ හිඳුවා ගියේ ය.

“ඉඳ හිටක රෙස්ට් එකක් ගන්න චාන්ස් එකක් හම්බුණාම ඒක ගන්න”

“රෙස්ට් ඉන් පීස් තමා”

නිශාමනී සිනහවක් නගා ගත්තත් ඇදෙස බලා ආකාස රැව්වේ ය.

ඔහු ගේ සැමන් තෙම්පරාදුව සුවඳ හැමුවේ ය. නමුත් ඒ ගැන විහිළුවක් කරන්නට හෝ සතුට ප්‍රකාශ කරන්නට තරම් නිරවුල් බවක් නිශාමනී ට දැනුණේ නැත. අම්මාවත් දුවවත් මේස පුටු වල වාඩි කරවූ ඔහු දෙදෙනා ගේ ම පිඟන් වලට බත් මාළු පිණි බෙදුවේ ය. 

“මගෙ මැණ්ක් කැටේ දයියා කන්නැති නිසා මං ඔයාට සැමන් මිරිස් දාන්නැතුව තිබ්බ. බාප්ප කවන්නං හොඳේ”

“අද බාප්ප කවනවද…”

එසඳි ඒ ගැන පසු වූයේ සතුටෙනි. ආකාස සිඟිත්තියට සිඟිති බත් කටවල් කවන හැටි නිශාමනී බලා සිටියේ හිස් දෑසකින් ද තෙත් දෑසකින් ද කියා ඇය ට ම වැටහුණේ නැත. බත් කටවල් කිහිපයක් කෑමෙන් පසු එසඳි සෙල්ලම් කරන්නට ගියා ය.

“තාම කටක්වත් කාල නෑනෙ ඉතිං”

ආකාස නිශාමනී ගේ බත් පිඟාන තවත් ඇය ළඟට කළේ ය.

“මේ වගේ වෙලාවක කන්න බැරි වෙන්නෙ ඇයි කියල මන්දන්නෑ මල්ලි. එහෙම වෙනවයි කියල මං දැනං හිටියෙත් නෑ”

සැබවින් මේ ජීවිතය පුදුම උපදවන තැනකි. ජීවිත කාලය ම එක් ව හිඳ සමු ගන්නා දවසක ද හැකි නම් එක් ව යන්නට පතා ගෙන පෙම් කරනා පෙම්වතුන් ගේ ඉරණම අතර මගක දී මේ විදිහට වෙනස් වෙන්නට හේතුවක් ඉරණම වුව නො දන්නවා ඇතැයි බත් පත අත පත ගාමින් නිශාමනී සිතුවා ය.

“මං දැං මොකද්ද මල්ලි කරන්නෙ…”

ඇය එසේ ඇසුවේ උගුර යටිනි. ඒ මේ මොහොතේ හිතට නැගුණ ප්‍රශ්නයක් නොව පෙර දා රාත්‍රිය පුරාවට නින්ද යටින් ද හිඳ හිත පහුරු ගෑවා වූ පැනයකි. ආකාස ගේ ඇස් හා නිශාමනී ගේ ඇස් එක මොහොතක එක රේඛාවක සමපාත විය.

“මොනාද කරන්නෙ කියල අහන්නෙ…මොනා කරන්නද…දෙන්නගෙ රණ්ඩු බත් හැලිය ඉදෙනකල් විතරයි කියනවනෙ. ඕව ඇරිල යයි. මං කොහොමත් අපේ අයියත් එක්ක කතා කරන්නංකො මේ ගැන”

“ඔයා කියන්නෙ මට ආයෙ එයා එක්ක සමාදාන වෙන්න කියලද…එයා එක්ක ආයෙමත් පවුල් ජීවිතයක් ගත කරන්න කියලද…මට ඒක කරන්න බෑ මල්ලි”

ඇස් අග්ගිස්සේ එල්ලී උන් කඳුළක් ‘ටක්’ ගා මේසය මතට වැටිණ. ඒ කඳුළින් පිච්චී ගියේ ආකාස ගේ පිරිමි පපුව ය.

“ඔයාට තේරෙන්නෙ නැතුව ඇති. ඒත්…ඒක කියන්න මට තේරෙන්නෙත් නෑ මල්ලි. මං දන්නෙ…මට දැනෙන්නෙ…තවත් නං ශාරද ගෙ හුස්ම වැටෙන තැනක මට ඉන්න බෑ කියල විතරයි”

“එච්චර දඬුවමක් දෙන්න හදන්න එපා”

මේ තරමින් පපුව රිදෙන්නේ ඇයි දැයි ආකාස දැන සිටියේ නැත. 

“අර කෙල්ල ගැන හිතන්න. දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ළඟ ඉන්න එක තරං හොඳ දෙයක් තව තියනවද…”

“අනේ මං දන්නව මල්ලි. දෙන්නෙක් ඩිවෝස් වුණහම…ටික දවසක් ගිහිං ඒ දෙන්නටම වෙන දෙන්නෙක්ව මැරි කරන්න පුළුවන්. ඒ ගැන කිසි තර්කයක් නෑ. ආයෙ ආදරේ කරන්නයි අලුතෙන් ජීවිතේ පටන් ගන්නයි වුණත් පුළුවන්. මං හොඳට දන්නව. දරුවෙක්ට එයාගෙ අම්මයි තාත්තයි තරං වෙන කවුරුත් ආදරේ වෙන්නෑ. ශාරදට ඔය පංචාලි කියන ගෑනු ළමය හුඟක් ආදරේ ඇති. මට ඒ ගැන කිසිම තර්කයක් නෑ. කෙල්ලො ආදරේ කරන්න ගියාම ඒක කරන්නෙ ඇට මස් ලේ වලින්ම කියල මං දන්නව. ඒත් එයාට පුළුවන් වෙයිද එසඳිට එහෙම ආදරේ කරන්න…ආදරේ කරයි. ඒත් මං තරං එයා එසඳිට ආදරේ කරයිද මල්ලි…මමයි අම්ම..”

වාවා ගත නො හැකි දුකකින් නිශාමනී මේසයෙහි හිස ගසා ගත්තා ය. පපුව පැලෙන්නට එන රිදුමක් ඇය ට දැනිණ. බලා ඉන්නට බැරි තරම් වේදනාවක් ආකාස ට ද දැනෙන්නට ගති. ඔහු සිය වමත දෙවරක් නො සිතා නිශාමනී ගේ හිස මතින් තැබුවේ ය.

“මං දන්නව මං වෙන කෙනෙක්ව බැන්දා වුණත්…මට ආදරේ කරයි…ඒත් මගෙ කෙල්ලට තාත්ත කෙනෙක් වෙන්න පුළුවන් ද මල්ලි. ශාරද ට විතරයි පුළුවන් ඒක කරන්න. මං දන්නව. මං පොරොන්දු වෙනව මල්ලි. ආයෙ මගෙ කෙල්ලට තාත්තල හොයන්න යන්නෑ. මට පුළුවන් එයාව තනියම හදා ගන්න. ශාරදත් එක්ක ජීවත් වෙන්න කියලනං මට කියන්න එපා මල්ලි”

අසුනෙන් නැගිට ගත් ආකාස නිශාමනී ගේ දෑත් ගොබ වලින් අල්ලා ඇය ව නැගිටුවා ලූවේ ය. කිසිදු පෙර සැලසුමකින් තොර ව, එවේලේ සිත උපන් හැඟීමකට නතු ව ඇගේ හිස සිය පපුතුර රුවා වැළඳ ගත්තේ ය. සිය සුරතේ වූ ඉඳුල් නිශාමනී ගේ ඇඳුමේ ගෑවෙන බව දැනුණත් තදින් ඇය වැළඳ ගෙන ම සිටියේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...