පතිදම්වැල් 42

“දැන් මම හෙට එන එක ගැන අම්මල දන්නවද?”

අම්මාත් අයියාත් සුව නින්දක සැතපෙද්දී ඇහැරී හිඳ හද පතුලෙන්ම ගිලී යන්නට රහසක් තිබීම සිත කිතිකවන හැඟීමකි. ඉස්සර නම් රාත්‍රී ආහරය අරගත් පසුව පොතක් කියවන්නට හෝ චිත්‍රපටයක් බලන්නට තිබෙනවා හැරෙන්නට කරන්නට දෙයක් තිබුනේ නැත. ඒ ජීවිතය කොපමණ කම්මැලි සහගත එකක්දැයි තේරුම් යන්නට පටන් ගත්තේ රාත්‍රියට දොඩමලු වන්නට කෙනෙකු හමු වීමත් සමගය.

ආදරයට මිනිසුන් මෙතරම් වහවැටෙන්නෙ ඇයිදැයි තේරුම් යන්නේ දැන් ය. රාත්‍රිය දවසේ මිහිරිතම යාමය ලෙස මිනිසුන් කියනු ඇත්තේ මේ නිසා විය හැක. රාත්‍රිය නිර්මාණය වී ඇත්තේම ආදරය කරන මිනිසුන් වෙනුවෙන් විය හැක.

“ඔයාට කියන්න ඒකනෙ හොඳම වැඩේ”

ඔහුගේ සිනාවැල් හෙමින් සැරේ විත් සිහිල් පවනක් මෙන් සවනත මත රැඳේ. කිසිදු මොහොතක ඔහුත් තමාත් ඉන්නෙ එකිනෙකාගෙන් බොහෝ දුර යැයි සිතෙන්නෙ නැති තරමට ඒ හඬත්, සිනහවත් ලංව දැනේ. සවන වැකේ. 

“ඇයි මොකද්ද උනේ?”

ඒ සිනහවට එක්වන්නට ඉතින් එහෙමකට කියා අපහසුවක් නැත.

“අම්මා මගෙන් ඇහුව කේක් එක එහෙම රෙඩි ද කියල. මම ඉතින් ඔව් කිව්වා. අම්මා ඊටපස්සෙ ඇහුව තව මොනවහරි හදන්නද සැන්ඩ්විච් වගේ කියල. මං කිව්ව නෑ මම ඕඩර් කරල අරගන්නම් කියල. අම්මා ඊට පස්සෙ කියනවා කවුරුවත් එන්නෙ නෑනෙ. අපි විතරනෙ ඉන්නෙ කියල”

“ඉතින්”

“මට දැන් ඔයා එන බව කියන්නත් ඕන. අම්මා මොනවහරි හිතාවිද කියලත් ප්‍රශ්නෙ”

“ඉතින්”

“ඉතින් කිතුල්”

ඔහුට ඉතින් මේ සියල්ල මැද්දේත් විහිලුය. ඒත් ඉතින් ඒව මේ තරහ ගන්නට හේතු නොවේ. “විහිලු නෙවෙයි ඉතින් කියන්නකො මොකද උනේ?”

සිත සිදු වූ දේ දැනගන්නට නොඉවසිල්ලෙනි. දුලන්‍යාගේ උපන් දින උත්සවයට ඇඳගෙන යා යුතු ඇඳුම තෝරා තැබිවේත්, කොණ්ඩය දමන ආකාරය ගැන සිතුවේත්, එහි ගිය පසු කතා බස් කරන දේ ගැන සිතුවේත් “දුලන්‍යාගේ බර්ත් ඩේ එක තියෙනවා” යැයි අනුප කියූ දවසේ හිඳය. ඉතින් ඒ බලපොරොත්තු බිඳ වැටේය යන බිය සිත රිද්දන්නකි.

“කොහොමහරි දුලා මැද්දට පැනල ඔයාටත් එන්න කියන්න, එන්න කියන්න කියල කෑගැහුවා” අනුප එසේ කිව්වේ මතකයෙන් ඒ මොහොතට යමිනි.

ෂෝබිතාගේ මව් දෙමව්පියන්ට පැවසිය යුතු ද යන පැනය තුල සිර වී හිඳිද්දී දුලන්‍යා සීයා ළඟ හිඳ දුවගෙන ආවේ කෑගසමිනි.

“තාත්ති අපි උතාලි චීචට එන්න කියනවද බබාගේ බර්දේ එකත?” 

තමන්ගේ ඩෙනිම් කලිසමේ එල්ලී එසේ අසන පුංචි දුලන්‍යාගේ රවුම් මුහුණ මත ප්‍රශ්නයක් ඇඳී ඇත. එහෙත් ඒ මුහුණ හුරතල් ය.

“ආ දැන් මොන්ටිසෝරි එකේ හැමෝටම එන්න කියන්න වෙයි නේද මෙහෙම ගියොත්”

අම්මා අසන්නේද සිනාසෙමිනි. මෙතෙක් වේලා ෂෝබිතාගේ මව් දෙමව්පියන්ට පවසනවාද යන පැනය හේතුවෙන් වටපිටාවේ වූ උණුසුම් බව හමා ගොස් සිහිල් සිතුවිලි පිරෙන්නට ඉතින් ඇරඹී ඇත.

“උක්කුම නෙවෙයි උතාලි චීච විතලයි. අනේ තාත්ති උතාලි චීචට එන්න කියන්නකු”

“හරී, මම කියන්නම්, ඒ උනාට පුතා ඉතින් ටීච එහෙම එයිද දන්නෙ නෑනෙ”

“බබා කිව්වම චීච එන්නම් කියල කිව්වා”

“ආ පොඩි නෝනා එහෙනම් මේ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි නේද ගෙදර මිනිස්සුන්ට කියන්නෙ? හරි ශෝක් ගෑණු ළමය හැදෙන හැටි” කියමින් අම්මා නෝක්කාඩුවට මෙන් කීවද තමන්ගේ කකුලේ එල්ලී හිඳිනා දුලාට ඉන් වගක් නැත.

“හරි හරි අපි ටීචටත් එන්න කියමුකො” 

“ඔය අර එදා අපි එක්ක කතා කරපු ගර්ල් ද?” 

“ඔව් අම්මේ, දුලාගෙ ක්ලාස් ටීච” අම්මාගේ දෑස දෙස බලා එවදන් පවසන්නට බැරි නිසාවෙන් දෑස තාත්තා සමග දඟලන දුලන්‍යා වෙත රඳවාගෙන අනුප වදන් පිටකලේ අපහසුවෙන් මෙනි. දැස් ඔස්සේ අම්මා සිත පවසන කතාව තේරුම් ගනීවි යැයි බියක් ද සැකයක්ද ඇත. මේ තවමත් සිතුවිලි සිත අස්සේම හංගාගෙන හිඳිය යුතු කාලයකි.

“එහෙනම් මේ දුලා නිසා තමයි නේද මට එන්න පුලුවන් වෙන්නේ?” මතක රැහැන බිඳ වැටුණේ එහා පසින් ඇසෙන උශාලිගේ සුමිහිරි කටහඬටය. ඇය දුර බව නොසිතෙන තරම් ඒ හඬ සමිප බවක උණුසුම හිතට ගෙන එයි.

“ඔව් ඔව් අපි එහෙම කියමුකො”

අනුප එහා පසින් සිනාවන් සමග කතා බහ දික්කරගන්නට හේතු සාධක සකසයි. 

“ඔයාට මම ලොකේශන් පින් එක එවන්නම්. ඔයා ටුක් එකක එන්න. බස් එකේ එන්න එපා. මම ටුක් එකට පේ කරන්නද?”

මේ තරම් සොයා බැලීමක් ආදරය නොකරන හිතකට දෙන්නට හැකිද යන සැකය නිසාවෙන්ම මේ ආදරයැයි සිත කියන කතාව පිලිගනු හැර කරන්නට දෙයක් නැත. සැකයක් වුවද ඒ සැකය ආදරය පිරුණකි.

“අනේ කරදර වෙන් එපා. මට පුලුවන් එන්න. ලොකේශන් එක එවන්නකො”

“අම්මයි අයියයි නිදිද?’ මෙතෙක් වේලා සාමාන්‍ය ආකාරයෙන් කතා බස් කල අනුපගේ කටහඬ එතරම්ම ඉක්මණින් ඉතාම ගැඹුරු කෙඳිරුම් හඬකට මාරු වුයෙ කෙසේදැයි නොතේරෙ. එහෙත් ඒ හඬ සිත තිගස්සන, රෝම කූප අවදිකරනවන හැඟීම් උද්දීපනය කරන හඬකි. 

“හ්ම්ම්”

“අම්මා ඇවිල්ල බලාවි කියල බය නැද්ද?”

“එහෙම එන්නෙ නෑ ඉතින්”

“හා හා, එහෙනම් දැන් නිදාගන්න. හෙට ආයෙ හම්බ වෙනවනෙ. උදේ වරුවෙ මම මැසේජස් වලට රිප්ලයි හෙම කරේ නැත්තම් බය වෙන් එපා. මම පාටි එකේ වැඩ වලට බිසී නිසා තමයි ඒ. ඒත් වෙලාව ආව ගමන් මම මැසේජ් එකක් එවන්නම්”

එතරම්ම පැහැදිලි කිරිම් තමන්ට අවශ්‍ය නැතැයි කියා කියන්නට උශාලිට සිත දුන්නද අනුප උන්නේ ෂෝබිතා හා බැඳුණ අතීතයක නටඹුන් අතර ජීවත් වෙමිනි. ඒ අතීතයේදී තමන් යන එන තැන් ගැන පවා ෂෝබිතා සැකයෙන් බැලූ අවස්තාවන් විය. ඉතින් සියලුම සබඳතා එයාකාරයයි සිතා උන් අනුපට තමා විසින් උශාලිට සියලුම දේ පැහැදිලිව කිව යුතුය යන මතකය හිඳින්නට විය.

“හරී ගුඩ් නයිට්, බුදු සරණයි”

ඒ තාවකාලික සමුගැනීමක් වුවද මදකට හෝ අනුප ඇසුරේ නොගෙවන්නට වීම උශාලිට දැනුනේ වේදනාවක් ලෙසිනි.

නින්දක් ළඟ පාතකවත් නොමැති මොහොතක නිදි නොලබාම එකම සඳක් යට දෙතැනක දෙහිතක් අවදියෙන් තබන්නට ආදරයකට පුලුවන් වීම අපූරුය. දුරකතනය තැබීමෙන් පසුව උණුසුම් සයනයක, පොරොවනය යට ගුලි වී උශාලි අනුප ගැනත්, විසල් සයනයක තනිවම අනුප උශාලි ගැනත් සිතමින් ඉන්නට විය. සිත අස්සේ අඳුරුම කෙලවරක ජීවිතය වසාගෙන හුන් අඳුරු වලාකුලු සඟවා තබා සතුටට හේතුවන කාරණාවන් ගැන පමණක්ම සිතන්නට ඒ තනිවීම අනුපටත් උශාලිටත් හේතුවක් විය.

දුලන්‍යාගේ උපන්දින උත්සවයට යන්නට උශාලි සැරසෙන්නට වූයේ කල්තියාමය. වාහනයක් සියා ගැනීමට සති අන්තයේ දිනෙක එහෙමකට කියා අපහසුවක් නොවුවද කලින් ගොස් ඒ නිවසෙ වැඩ කටයුතුවලට අත් උදව්වක් දීමට තිබුණා නම් හොඳ යැයි සිතුවිල්ලක් ආවේ කොහෙන්දැයි සිතාගන්නට නොහැක.

ලා දම් පැහැ පසුබිමේ සුදු මල් වැටුණ ගවුම අරගත්තේ මිමෝසා වෙතින් ය. සැහැල්ලු එහෙත් ඇඳේ හැඩය සුන්දරව පෙන්නුම් කරන ඒ ඇඳුම තමාගේ තාරුණ්‍යය තවත් ඔප්නංවන බව කණ්ණාඩියෙන් තම රුව දකිද්දී සිතේ.

උරහිසෙන් මදක් පහලට වන්නට කඩා හැලෙන කෙස් වැටියෙන් කොටසක් එක්කට කටුවක් ගසා, සුදු පැහැ කුඩා කරාබු යුවලක් පැළඳුවායින් පසු කණ්ණාඩියෙන් පෙනෙන තම සම්පූර්න රුවම සිතට සතුටකි.

“මං ලස්සනයි” කියා සිතුනේ ආඩම්බරයකට වඩා ආත්ම විශ්වාසය පිළිබඳ උණුසුම් හැඟීම සිත මත රොද බඳිමිනි. 

“ඔයාගෙත් දැන් ගමන් බිමන් වැඩියි” කියා අම්මා කන්කෙඳිරි ගාන්නට පෙර ගෙදරින් යන්නට තිබුණා නම් හොඳය. පෙර පාසලේ දරුවෙකුගේ උපන් දින උත්සවයකට යන බව පැවසීම නිසා සිතේ ඇති බරෙක් කොටසක් අඩු වුවද කෙදිනක හෝ දිනක මේවා එලියට ආ දිනක අම්මා තමා ගැන මොනවා සිතාවිද යන්න ගැන සිතන්නට මේ කාලය වෙන් කිරීම නාස්තියකි.

දුලන්‍යා වෙනුවෙන් අරගත් බාබි චිත්‍ර සහිත බැගයත්, සරසවියේ ඉංග්‍රිසි පොත් අංශයෙන් මිල දී ගත් දිලිසෙන රූප සහිත බාබි ඇන්ඩ් ද ට්වෙල්ව් ඩාන්සින් ප්‍රින්සස් පොතත් සුන්දරව අසුරා තැබුවේ පෙරදා සැඳෑවේය.

නිවසේ සිට නාවලට යන අතරවාරයේ, “දැන් ලඟ” බව සිතෙන හැම වාරයේත් සිත එයට මොහොතකට පෙර වූ ආකරයට වඩා වේගයෙන් ගැහෙන බව දැනේ. ඒ බියද, ලැජ්ජාවද කියා වෙන් කර හඳුනාගන්නට නොහැකි එහෙත් සිතෙන් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරලිය නොහැකි හැඟිමකි. 

නිවසින් පිටවන්නට පෙර අනුපට “මම දැන් එන ගමන්” යැයි යවන ලද පණිවිඩයට තවමත් පිලිතුරක් නැත්තේ ඔහු උත්සව වැඩ කටයුතු නිසාවෙන් කාර්‍යබහුල නිසා විය හැක. 

නාවල ඔවුන්ගේ නිවසට හැරෙන පාර අද්දරින් ටුක් එක නතර කර එයින් බැසගත්තේ අඩි කිහිපයක් පාරේ ඇවිද යාම කිසිත් වෙනසක් නොපෙන්වා ඒ නිවැසියන්ව පිලිගැනීමට උදව්වක් වනු ඇතැයි සිතාය.

“ටිං” හඬින් කෙටි පණිවිඩයක් ආ බව දුරකතනය අගඅවයි. ඒ අනුපගෙනි.

“ඩෝන්ට් කම්”

දෙපා ගල් ගැසුණේ නිරායාසයෙනි. ඒ පණිවිඩය අපහැදිලි පණිවිඩයකි. කිසිත් තේරුම් කර නොදෙන පණිවිඩයකි.

දෑසින් කඳුලැලි වැටුණේ ඇයිදැයි කියා පැහැදිලි අදහසක් නැත. එහෙත් ඒ හිතට දරාගන්නට අපහසු හැඟීමකි.

අවසඟ දෙපා අද්දමින් මෙන් උශාලි ආපහු කොළඹ දෙසට ඇවිද යන්නට වූයේ කරකියා ගන්නට දෙයක් නොමැති තැනකය. වාහනයක් නවතාගෙන එහි නැගී යන්නට තරම්වත් සිහියක් එවෙලේ තිබුණේ නැත.

වෙනදාට වැස්ස කඩා වැටුණේ ඔහුව හමුවන විටදි පමණකි.

ඒ වැස්ස අද මෙසේ ඇද හැලුනේ කුමනාකාරයේ කතාවක් කියන්නටද කියා අදහසක් සිත තුල වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles