පතිදම්වැල් 52

“ඔයා මොනව කිව්වත් අපි කොහොමද එහෙම දේකට ඉඩ දෙන්නේ? ඒ මනුස්සය කසාද බැඳපු කෙනෙක්. මං අමුතුවෙන් කියන්න ඕනද කසාද බැඳල ඩිවෝස් වෙච්ච මිනිස්සු පොඩි කෙල්ලන්ට ලං වෙන්නෙ මොකටද කියල”

ගීතාංජලී උන්නේ මහමෙර හිස තබාගෙන මෙන් කම්පාවෙනි. උශාලිට පෙම් සබඳතාවකට පැටලෙන්නට එපා යැයිකිසි දිනක කියා තිබුනේ නැතුවා වුවද උශාලි කිසිදිනක විවාහක පිරිමියෙකු හා පැටලේයැයි නොසිතා තිබුන සිත මේ මොහොතේ දුකෙන් තෙතබරිත වී තිබිණි.

“මම කියන්නෙ නෑ මේක මේ අපි සුලුවෙන් තකන්න ඕන දෙයක් බව. ඒත් අපි කැත්තට පොල්ල වගේ හිටියොත් ළමයි මුරණ්ඩු තීරණ ගන්න බව අපි අමතක කරන්න නරකයි. ඒ හන්දා අපි මෙතනදි ඔලුවෙන් කල්පනා කරල බලලයි තීරණේ ගන්න ඕන”

රණවීර මහතා උන්නේද බියකින් ය. විවාහක පිරිමියෙකු ලෙස තවත් විවාහක පිරිමියෙකුගේ සිතුම් පැතුම් හඳුනාගැනිමේ අපහසුව තිබුනේ නැත. එහෙත් මේ කලබල වී තීරණ ගත හැකි මොහොතක් නොවන බව රණවීර මහතා වසර පණස් ගණනක් පුරාවට ලද අත්දැකීම්වලින් තේරුම් ගෙන උන්නෙය.

“ඒ උනාට අපි මේ කලබල වෙන්න හොඳ නෑ කිය කිය ඉන්න කාලෙ මොනවයින් මොනව වෙයිද කියල කවුද දන්නේ?”

“හරී මම නෑ කියන්නෙ නෑ ඒක එහෙම නෙවෙයි කියල. මම පුතාට ඉඳන් කිව්ව ඒ ළමයට මට කතාකරන්න කියන්න කියල. මම එනවනෙ තව සති කීපෙකින්. අපිට පුලුවන් ඒ ළමයව හම්බෙලා මේ ගැන තව කතා කරන්න”

“මොනවද තව කතාකරන්නේ? කතාකරල මේ කටයුත්ත කරල දෙන්නම් කියන්නද ඔයා හදන්නේ?”

“එහෙම නෙවෙයි, දැන් අපි ඇත්තටම දන්නේ කිශාල් අපිට කිව්ව විස්තර විතරනෙ. පුතා මට කිව්ව කාරණා එක්ක ඒ ළමය නරක ළමයෙක් නෙවෙයි වගේ. මම මේ කියන්න හදන්නෙ ඒ ළමයට ගෙදරට එන්න කියල ආ මෙන්න අපේ කෙල්ල අරන් පලයන් කියන්න නෙවෙයි. අපි වැදගත් මිනිස්සු විදියටයි මේව කතා බහ කරල තීරණය කරන්න ඕන. කිශාල් කිව්ව දේ ඒ විදියටම අපිට පිලිගන්න බෑනෙ. අපි නොදන්න දේවල් ඔතන ඕනතරම් තියෙන්න පුලුවන්”

දරුවන් විසින් ගන්නා ලද ඇතැම් තීරණ ගිනිබත් කරන්නේ දෙමව්පියන්ගේ සිතය. රණවීර මහතාත් මහත්මියත් උන්නේ මේ මොහොතේ ඒ කැළඹීම සිත් අස්සේ දරාගෙනය. ඇස් දෙක වාගේ බලාගන්නා දරුවන්ගේ ජීවිත විනාශ වේද යන බිය මුසු පැනය තමන්ගෙන් මෙන්ම එකිනෙකාගෙන් විමසමිනි.

අනෙක් අතට උශාලි උන්නේද සැනසීමකින් නොවේ. ආදරය සිත සුවපත් කරන්නක් යැයි සිතා හුන්නද මේ මොහොතේ විඳින්නට ලැබෙන වේදනාව එකී ආදරය නිසාවෙන්ම පැමිණියක් බව උශාලි හෙමින් සැරේ තේරුම් ගනිමින්ද සිතට තේරුම් කරමින්ද උන්නාය.

ෂෝබිතා විසින් කරා යැයි අනුප කියන ලද ඉල්ලීම කණ වැකි පලමු මොහොතේම මෙතෙක් දිනක් අනුපත් තමාත් අතර හුවමාරු වෙමින් තිබූ ආදර ප්‍රවාහය නවතාලන්නට උශාලි තීරණය කලාය.

“මට දුලාව අතාරින්න බෑ උශාලි”

ඒ වදන් ආදරය ජීවිතයෙන් උකහා ගන්නා තියුණු හී සැරයක් මෙන් දැනුනද දරුවෙකුට මවත් පියාත් අහිමි කරවාලීම තම ජීවිතයෙන් ආදරය අහිමි කරගැනීමට වඩා වේදනාවක් බවත්, මහත් පාපකර්මයක් බවත් උශාලිට සිතන්නට ගත වුණේ තප්පර ගණනකටත් වඩා අඩු කාලයකි. තමන් අනුපටත් දුලන්‍යාටත් මහ මෙරක් තරම් ආලය කරන බවත්, එකි ආලය නිසාවෙන්ම උනුන් එකිනෙකාගෙන් වෙන් වීම වලක්වනු පිණිස මේ ජීවිතයෙන් තමා වෙන්වී යෑම සියල්ලන්ටම ජීවිතය පහසු කරවන්නක් බව උශාලි ඒ මොහොතේම සිතුවාය.

එහෙත් ඉන්පසුව අසන්නට යෙදුණේ තමා කලබල වී යැයි කියවෙන වදනක් නොවේද?

“ඒ වගේම මටයි දුලාටයි දෙන්නටම ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නත් බෑ උශාලි. මම ඉන්නේ පිස්සු හැදිල වගේ. ඔයයි දුලයි දෙන්නම නැති ජීවිතයක් ගැන මට හිතන්න පුලුවන් කමක් තියෙනවද? මගේ වරද උශාලි. මම අපරාදෙ ඔයාගෙ ජීවිතෙත් කරදරේට ඇදල දාන්න ඔයා එක්ක එහෙ මෙහෙ ගියේ. මට හරි බයයි ෂෝබිත ඔයාට කරදරයක් කරාවි කියල මගෙන් ඈත්වෙන්න කියල”

මෙතෙක් වේලා සිත පුරා ගලා යමින් තිබූ විරහවක දිය කඩිති සෙමෙන් සිඳී යන්නට පටන් ගෙන ඇති බව දැනුණමුත් අනුප ගැන සිතද්දී හදවතට පිවිසෙන මහෝඝයක් බඳු වේදනාව අමතක කරවාලන්නට හැකියාවක් උශාලිට තිබුණේ නැත.

“මේ අහන්නකො. මම දන්නව ඔයා මට ආදරෙයි කියල. මමත් එහෙමයි. මම ඔයාට කියල තියෙනවනෙ මම කොච්චර ඔයාට ආදරේද කියල. ඒ උනාට මේ වෙලාවෙ අපි බලන්න ඕන අපිට ඕන දේ නෙවෙයි අනුප. අපේ දරුවට වැඩියෙන්ම ඕන, දරුවන්ට ලැබෙන්නම ඕන දේ මොකද්ද කියල. 

මොනව උනත් ඒ දුලාගෙ අම්මා. එයා එක දවසක ගත්ත මෝඩ තීරනයක් හන්දා දුලාවයි ඔයාවයි දාලා ගියත් සමහරවිට එයා දැන් ඒ ගැන පසුතැවෙනව ඇති. එයාට දැන් තේරෙනව ඇති එයා කරේ වරදක් බව. එයා ඒකට සමාවක් බලාපොරොත්තු වෙනවනම්, එයාට ඒ සමාව දෙන්න දෙපාරක් හිතන්න එපා. ඔයා වෙනුවෙන් නෙවෙයි දුලා වෙනුවෙන් එහෙම කරන්න.

දරුවෙක්ට අම්මා කෙනෙක් නැති කරන්න හිතන්න එපා අයියෙ. අපි මේ ආත්මෙ එහෙම කරොත් අපිට කිසිම ආත්මෙක මුණ ගැහෙන්නවත් බැරි වෙයි. අනික අනික අපි ආදරේ කරන්න එක ගෙදරක ඉන්න ඕනද? කතා බහ කරන්නම ඕනද? මීට් වෙන්නම ඕන ද? නෑනෙ. ඔයාව ඇස් දෙකට නොපෙනුනත් මම ඔයාට ආදරෙයි. ඔයාට පුලුවන් ඒ විශ්වාසෙ හිත ඇතුලෙ තියාගෙන ජීවත් වෙන්න”

එක දිගට කියවාගෙන ආවද ඒ කතාව අවසානයේ හඬ බිඳි යද්දි මෙතෙක් වේලා බිංදුව බිංදුව කම්මුල් දිගේ වැගිරුණ කඳුලු වැස්සක් සේ ඇද හැලෙන්නට වූයේ අනිච්චානුගවය.

“මම ඔයාට පස්සෙ කතාකරන්නම් උශාලි. ඇත්තටම වෙන කෙනෙක් එක්ක කතාකරන්නවත් එයා කියන දෙයක් අහන් ඉන්නවත් මගෙ හිතට නිස්කලංකයක් නෑ. මම දන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියලවත්. මම ඒ නිසා ඔයාට පස්සෙ කතාකරන්නම්. ප්ලීස් මාත් එක්ක තරහ වෙන්න එපා.”

දුරකතනය නිහඬ වී යනු ඇසුණත් මද වෙලාවක් පුරාවට උශාලි දුරකතන කණ මත්තේම තියාගෙන උන්නේ අඩ සිහියකින් මෙනි. මෙතෙක් වේලා තමන් විසින් කියු සියලුම වදන් වල උවමනා තරමට ආදරයත්, සෙනෙහසත් මනුසත්කමත් තැවරී තිබුණ වග දැන උන්නද ඒ වදන් කියුවේ තමා විසින්මද යන පැනය සිතට පිවිසියේ ඇමතුම අවසාන වූ පසුවය. තමන් කිඋවේ කිව යුතුම දෙයක්ද යන සිතුවිල්ල සිතට පිවිසෙද්දී කඳුලු වැස්ස අනෝරා වැස්සක් වී කාමරය ඇතුලේ ඇද හැලෙන බව අම්මාගෙන් සඟවාලන්නට මෙන් කොට්ටය අස්සේ මුහුණ ඔබාගත් උශාලි හඬා වැලපෙන්නට විය.

ආදරය බිඳී යතැයි යන බිය නිසාවෙන් උශාලිත් අනුපත් එකම හිතකින් දෙතැනක හඬා වැලපෙද්දී ෂෝබිතා වුව උන්නේ සර්ව සම්පුර්ණ සතුටකින් යැයි කියන්නට නොහැකි තැනකය.තමන්ට අරමුණක් නැති බවත්, ඒ අරමුණ නැති කරගත්තේ තමන් විසින්ම බවත් තේරෙද්දී වුව ගත් තීරණයක් ආපස්සට හරවාලනු නොහැකි කණස්සල්ල සිත වෙලාගෙන උන්නාය.

අනුප වෙන තරුණියක සමග හාද වී ඇතැයි යන්න නංගී කියද්දී සිතට ආවේ ඉරීසියාවක්ද බියක්ද යන  පටලැවිල්ල තවමත් ලෙහාගන්නට අපහසු බවක් දැනෙද්දීත් ෂෝබිතා උන්නේ තමන් විසින් කල දෙයක් හරියැයි සිතමිනි.

දමිත් විසින් තමාව පරඬලක් මෙන් විසිකර ඇති බව දැනගනිද්දී ආපසු හැරදමා ආ අතීතයට ගොසින් ජීවත් විය හැකිද යන කුකුස සිත තුල නොතිබුණා නොවේ. අනුපව හැරදමා දමිත් වෙත ආවේ ආපසු යන බලාපොරොත්තුවකින් නොවේ. එහෙත් දමිත් සමග තමා සිතු අන්දමේ ස්තිර සබඳතාවයක් පවත්වාගන්නට තබා ගොඩනගාගන්නටවත් තමාට නොහැකි වී ඇති බව දැනෙද්දී ආපසු ජීවිතය බේරගනු පිණිස අනුප වෙත යනවා හැරෙන්නට වෙනත් විකල්පයක්, විසඳුමක් ෂෝබිතාට පෙනෙන්නට තිබුණේ නැත.

අනුප යනු එදත් අදත් විකල්පයක් ලෙස තෝරාගත් අයෙකි. 

“වයි කාන්ට් වී ගෙට් බැක් ටුගෙදර්?” කියා අසද්දීත් අනුප විසින් දුලන්‍යා වෙනුවෙන් තමාව තෝරගන්නා බව සක්සුදක් සේ සිත දැන හුන් බව ෂෝබිතා ස්තිර කරගෙන උන්නාය. අනුප වනාහී දුලන්‍යා වෙනුවෙන් මුලු ලොවක් වුව අනෙක් පස පෙරලන්නට සමත් පියෙකු බව ෂෝබිතා දැන හුන්නාය. එවන් අයෙකුට තම දරුවා වෙනුවෙන් තම ජීවිතයට පිලිපන් ඕනෑම යෙකු පලවහරින්නට හැකියාවක් ඇති බව දැන හිඳීමම දඩමීමා කරගන්නට ෂෝබිතා කටයුතු කලේ එබැවිනි.

එහෙත් එයින් තමා බලාපොරොත්තු වූ සතුට සැනසුම සිතට අත්පත් වූවාද යන පැනය සිහට නැගෙමින් තිබුණි.

කාමරය අස්සේම ගෙවී ගිය කාලය නිසාවෙන් සිතට පිවිසි කම්මැලිකමත්, අඳුරත් පලවාහරිනු පිණිස එළියට ගොස් රාත්‍රියට කන්නට යමක් අරගන්නට ෂෝබිතා සිතුවාය.

වෙනදා මෙන් සුන්දරව හැඳ පැළඳ, වත්සුණු තවරා කාමරයෙන් එලියට යන්නට උවමනාවක් නොආ බැවින් සරල ඇඳුමකින් සැරසී දෙපය සරල පාවහනින් සරසා ෂෝබිතා නිවසින් එලියට ආවායා.

දොරගුලු ලන්නට පෙර නිවස දෙසට නැවත වරක් බැල්මක් හෙලන්නට තමන්ට සිතුනේ ඇයිද කියා විග්‍රහ කරන්නට අපහසුය. එහෙත් මේ වසර තිස් ගණනක ජීවිතය පුරාවට නොසිතුන අන්දමේ, උසුලාගත නොහැකි අන්දමේ බරක් සිත මත තැන්පත් වී ඇති බව පමණක් දැනෙද්දී ෂෝබිතා නිවසින් පිටව යනු පිණිස විදුලි සෝපානයට ගොඩ වූවාය.

තනිවමය.

සුපුරුදු පරිදි තනිවමය.

ආ පරිද්දෙන්ම තනිවමය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles