හතලිස් දෙවන දිගහැරුම ,

සාමාන්‍යයෙන් ඌරු මස් සහ හරක් මස් යන මස් වර්ග දෙක අප නිවසට රැගෙන නොඑන සහ අප අනුභව නොකරන මස් වර්ග දෙකක් නිසා සුරය පැළඳ වීමෙන් පසුව අමුතුවෙන් ප්‍රවේශම් වීමට මට සිදු වූයේ නැත.ජපානයට යාමට පෙර පැලඳවූ එම සුරය මා කිසි දිනක ඉවත් කලේ නැත.මා එමිරේට්ස් ආයතනයේ සේවයට ආ පසුවත් එය මගේ ගෙලෙහි තිබුණි.ඒ වගේම ඒ පිළිබඳව විශාල විශ්වාසයක් ද මට ඇතිවිය.මන්ද එම සුරය මගේ තාත්තට ලබාදුන් ස්වාමීන් වහන්සේගේ දස්කම් පිළිබඳව මා කොතෙකුත් අසා තිබීමයි.මගේ ආරක්ෂාව ගැන සිතා පැළඳ වූ එම සුරය මමද ආරක්ෂා කරමින් දිගින් දිගටම ගෙලෙහි පලඳා ගෙන සිටියෙමි.

දිනක් මා එමිරේට්ස් ආයතනයේ ගුවන් ගමන් ගමන්වාර එක මගේ රාජකාරි වල නිරත වන අතරතුර විවේක වේලාවකදී ආහාර ගැනීම සඳහා අපට වෙන් කර ඇති ස්ථානය වෙත පැමිණියෙමි.ගුවන් සේවිකාවන් සඳහා වෙනමම meal cart එකක් ඇති අතර මා එහි තිබූ පිරවුමක් සහිත බනිස් වර්ගයක් ගෙන වාඩිවූයේ තරමක කුසගින්නකින් මා පෙලුණු නිසාය.කටවල් දෙකක් පමණ ආහාරයට ගත් පසුව තරමක් හයිය යමක් හැපුණු බව මට දැනුණු නිසා සැකයක් ඇතිවී එම බනිස් වර්ගයේ පිරවුම කුමක්දැයි එය හැර බැලුවෙමි.එහි පිරවුම ලෙස බේකන් තිබෙනු දැක මගේ සිතට ඇති වුයේ විශාල අවුලකි.එපමණ කාලයක් සුරය පැළඳගෙන සිටි මා ස්වාමීන් වහන්සේ විසින් වැළකෙන්නයි කී කිසිවක් කලේ නැත.අහම්බෙන් මෙන් මට බේකන් කැවීම පිළිබඳව ඒ මොහොතේ මා විශාල ලෙස සිත්තැවුලට පත් වූ අතර ඒ දිනය පුරාවටම ඒ කාරණාව මගේ සිතට වද දෙන්නට විය.

එදිනම සවස මා අනපේක්ෂිත ලෙස දරුණු රිය අනතුරකට මුහුණ දුන් අතර වාහනය පැයට කිලෝමීටර් 160 ක පමණ වේගයෙන් අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබුණි.එවිට හදිසියේම ඉදිරියෙන් වාහනයක් පැමිණ එය මා ගමන් කළ වාහනයෙහි ගැටෙනවා පමණක් මට මතක තිබුණි.නැවත මට පියවි සිහිය ලැබෙන විට මා සිටියේ ගිලන් රථයක් තුළ ය.එවිට මගේ කණ්ඩායමේ සිටි අරුප් නැමැති ඉන්දියන් ජාතික තරුණයෙකු ඔහු හැඳ සිටි ජැකට් එක ගලවා මගේ නළල මත තබා තද කර ගෙන සිටියේය.ඔහු කඳුළු වගුරවමින් හඬමින් සිටි අතර ඒ මොහොතෙහි මගේ දෑස් නැවත පියවිනි.

නැවත මට පියවි සිහිය ලැබුනේ මගේ තුවාල වලට බෙහෙත් දමා හිස වෙළුම් පටි වලින් ඔතා ,රෝහල් කාමරයට ද යැවූ පසුවය.එතෙක් සිදු වූ කිසිම දෙයක් මා දැනගෙන සිටියේ නැත.අප සමඟම නිවාස සංකීර්ණයේ සිටී අරුප් නැමැති ඉන්දියන් ජාතික තරුණයා පසුව ,සිදු වූ සියල්ල මට විස්තර කළේය.අරුප් මිතුරන් සමග පිටතට ගොස් නැවත පැමිණ අප ගොඩනැගිල්ලෙහි ලොබියේ සිට මිතුරන් සමග කතාබස් කරමින් සිට ඇත.ඔවුන් හට එකවරම විශාල ශබ්දයක් ඇසුනු නිසා සියලු දෙනාම දිවවිත් ඒ කුමක්දැයි පරීක්ෂාකර බලන විට අනතුරට ලක් වූ මා සිටි වාහනය දැක ඇත.මම ගමන් කළ වාහනය අනතුරට ලක් වී ඇත්තේ මා නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට යාබදවය.අනතුරට පත්වී දුම් දමමින් තිබූ වාහනය තුළ සිටින්නේ කවුරුන්දැයි විමසිල්ලෙන් බලන විට තවත් ගැහැනු ළමුන් කිහිප දෙනෙක් සමග මම ද සිටිනවා ඔවුන්ට දක්නට ලැබී තිබුනි.අනෙක් ගැහැණු ළමුන් වාහනයේ දොරවල් හැර ගෙන එළියට පැමිණ ඇති අතර මා සිටි ස්ථානයේ දොරෙහි අගුලු වැටී එය සිරවී තිබී ඇත.සියලු දෙනාම එක්ව පිටත සිට දොර ඇරීම සඳහා උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වී නැත.අරුප් පැවසූ ආකාරයට සිහි මුර්ජා වී සිටි මා විසින්ම අත දමා දොර ඇර ඇති අතර මා විශ්වාස කරන පරිදි සෑම විටම මා සමඟ සිටින යම් කිසි බලවේගයක් විසින් ඒ මොහොතේ පවා මා ආරක්ෂා කරන්නට ඇත.දොර ඇරුණු පසු අරුප් ඇතුළු පිරිස විසින් මා වාහනයෙන් එළියට ගෙන ඇති අතර ඔවුන් ඇත්ත වශයෙන් ම සිතා ඇත්තේ මා මිය ගියා කියාය.මන්ද ඒ මොහොතේදී මගේ හිසින් අධික ලෙස ලේ ගලමින් තිබී ඇති අතර මා ඇඳ සිටි ඇඳුම් වල මෙන්ම සපත්තු වල පවා ලේ තැවරී තිබී ඇත.අනතුර සිදුවූ අවස්ථාවේ වාහනයේ ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන් ගැලවී විසිවී ගොස් එම වීදුරු කටු මගේ හිසෙහි රැඳී ඇත.මා ගමන් කළ වාහනය අධික ලෙස හානි වී තිබූ අතර එම අනතුරෙන් මගේ ජීවිතය බේරීම මගේ විශාල වාසනාවක් යැයි මා සලකමි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles