සාමාන්‍ය කාන්තාවක් ලෙස දරුවන් සමඟ දිවි ගෙවීමට කැමති වූ රැජිණ

ඊයේ දිනයේ Google සෙවීම දිස් වූයේ අළු පැහැයකින්.රතු පැහැති BBC ලාංඡනය මේ මොහොතේ පවා කළු පැහැයක් දරනවා.ලෝකය පුරා මේ වන විට ලෙස කතාබහ වෙමින් තිබෙන්නේ ඇගේ අතීත මතක සහ අවමංගල්‍ය සම්බන්ධයෙන්.ඇය අන් කිසිවෙක් නොවේ.එලිසබෙත් මහ රැජිනයි.

ලන්ඩන් පාලම බිඳ වැටී අවසන්.මහ රැජින ලෝකයෙන් සමු ගත් පුවත ලෝකය පුරා වෙසෙන ඇයට ආදරය කරන කාටත් කෝ ශෝකජනක පණිවිඩයක් වූවා.පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කැටි නම් ජුබිලිය පවා සමරන්නට වාසනාවන්ත වූ ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ ප්ලැටිනම් ජුබිලිය සැමරූ පළමු රාජකීයයා ද වෙනවා.

1952 වසරේ පිය රජුගේ අභාවයෙන් පසු  රජකමට පත් වූ රැජින කිසිලෙසකත් රජකම භාර ගැනීමට අදහස් නොකළ බව ප්‍රසිද්ධ කරුණක්.නමුත් රාජකීයත්වය ලැබීමේ අනුපිළිවෙල එලෙසින්ම සිදු වූවානම් ඇය අද වෙද්දි මිය යන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ සාමාන්‍ය කාන්තාවක් ලෙස මිසක රැජින නොවන බව ඔබ දැන සිටියා ද?  

පස්වැනි ජෝර්ජ් රජතුමා මිය යන්නේ ඔහුගේ වැඩිමහලු පුතු වන අටවැනි එඩ්වඩ් කුමරුට රජකම උරුම කර දෙමින්.නමුත් එඩ්වඩ් කුමරුට ඒ වෙද්දි ආදර සම්බන්ධතාවක් තිබුණා.ඒ දෙවතාවක් දික්කසාද වූ වෝලීස් වෝෆීල්ඩ් සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාව සමඟ.දික්කසාද වූ ගැහැණියක විවාහ කර ගැනීම සහ වෙනත් රටක කාන්තාවක විවාහ කර ගැනීම රාජකීය සම්ප්‍රදායන්ට නොගැලපෙන බවට මත පළ වෙන්නට පටන් ගෙන තිබුණා.එඩ්වඩ් රජු තමන්ගේ ප්‍රේමය රජකම වෙනුවෙන් අත්හරින්නට කැමති වූයේ නැහැ.ඔහු පදවි ප්‍රාප්තියෙන් මාස එකොළහකට පසු රජකම අත හරින අතර තමන්ගේ පෙම්වතිය හා විවාහ වූවා.එඩ්වඩ් රජු රජකම් අත්හැරීම නිසා රජකම උරුම වන්නේ ඔහුගේ බාල සොයුරු හයවෙනි ජෝර්ජ් කුමරාටයි.ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය දෙවැනි එළිසබෙත් රැජින ලෙස රාජ්‍යත්වයට පත් වූවා.

ලෝකය කැළඹූ ඒ ආදර කතාව නොවන්නට එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරියට රජකම උරුම වන්නේ නැහැ.ඒ නිසා ඇය සම්බන්ධයෙන් කතා කරද්දී  මේ සිදුවීමට අවධානය දිය යුතුම වෙනවා.

රජකම ගැන සිහිනයකින්වත් නොසිතූ කෙදිනක හෝ ගොවියෙකු විවාහ කරගෙන අශ්වයන් සහ බල්ලන් පිරිසක් සමඟ ජීවත් වන්නට සිහින දුටු එළිසබෙත් කුමරියගේ ළමා කාලය ඉතාම සාමාන්‍ය එකක්.රජ පවුලක දැරියක් ලෙස සාමාන්‍ය ළමයෙකුට වඩා යම් වෙනසක් තිබුණද ඇය සහ සහෝදරිය වූ හෝ මාග්‍රට් මේ ලෝක යුද්ධය වන තුරු ඉතා සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා.එහි වෙනස්කම් ඇති වන්නේ දෙවැනි ලෝක යුද්ධය සමඟයි.ඒ කාලයේ එලිසබෙත් සහ මාග්‍රට් කුමරියන් කැනඩාවට යැවීමට කටයුතු සූදානම් වුවත් ඔවුන්ගේ මව එය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් වින්ඩ්සර් මාලිගයේ ජීවත් වීමට තීරණය කරනවා.දාහතර හැවිරිදි එළිසබෙත් කුමරිය ප්‍රථම වරට BBC ගුවන්විදුලි සේවය ඔස්සේ  ප්‍රථම වරට ගුවන්විදුලියෙන් ප්‍රකාශයක් කරන්නේ ඒ අතර. ඒ 1940 වසරේ දී BBC ගුවන්විදුලි සේවය ඔස්සේ ප්‍රචාරය වූ BBC children hour හරහා.යුද්ධය දරුවෙකුට දැනෙන ආකාරය සහ යුද්ධය නිසා දෙමාපියන්ගෙන් වෙන් වීමට සිදු වීම දැනෙන ආකාරය සම්බන්ධයෙන් ඇය එහිදී කතා කරනවා.

“මට සහ මගේ සහෝදරිය වූ මාග්‍රට්ට ඔබම හොඳින් දැනෙනවා.ඔබේ අත්දැකීම් අප ද අත් විඳිනවා”

ගුවන් විදුලිය ඔස්සේ දරුවන් අමතමින් එලිසබෙත් කුමරිය එසේ පවසන්නේ යුද්ධය රජ කුමරියකට මෙන් ම සාමාන්‍ය දරුවෙක්ට ද බොහෝ සමාන ආකාරයෙන් දැනෙන බව හඟවමින්.දෙවියන් සෑම විටම සියලු දෙනා සමග සිටින බවත් ජයග්‍රහණය සහ සාමය ඉක්මනින් ලබාදෙන බවත් ඇය එහිදී ප්‍රකාශ කර සිටිනවා.

යුද්ධයක් පැවති අවස්ථාවේදී රජ කුමරිය එසේ පවසනු ඇසීම රටේ දරුවන්ට චිත්ත ශක්තිය වඩවන්නට ඇති.රැජිනක වීමේ පෙරමං ලකුණු ඇය ඒ ආකාරයෙන් පළ කර තිබෙනවා.ට්‍රක් රථ රියැදුරු වරියක සහ කාර්මික ශිල්පිනියක ලෙස ද එළිසබෙත් කුමරිය යුද්ධය සඳහා සහභාගි වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

තමන්ගේ සිහින පරිදි ජීවිතය හැඩ නොගැසුණ ද ඉරණම විසින් තමන්ට ලබාදෙන ජීවිතය වඩාත් යහපත් ආකාරයෙන් ගත කළ කාන්තාවක ලෙස එලිසබෙත් මහ රැජින අතීතයට එක් වෙනවා.
සිහින දුටු සරල ජීවිතය වෙනුවට ඇයට භාරදූර වගකීමක් දරන්නට සිදුවුණා.නමුත් ඇය ඒ අවස්ථා සුහුරු ලෙස හසුරවා ගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා.ඇය අසාධ්‍ය ලෙස රෝගී වී සීමිත දින ගණනක් විවේකයෙන් ගතකළ බවයි කියවෙන්නේ .එතෙක් ඇය සාමාන්‍ය අසනීප තත්ත්වයන් දරාගෙන රාජකාරිවල නිරත වූ බව කියවෙනවා.රෝගී තත්ත්වය තිබියදී  බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා පවා හමු වී රාජකාරී කටයුතු වල යෙදෙන්නට ඇය වගබලාගත්තා.රාජ්‍ය වෙනුවෙන් යුතුකම් ඉටුකළ රැජිනක ලෙස ඇය ඉතිහාසයට එක් වෙනවා.ගෙවිලියක වී සහ අශ්වයන් පිරිවරා ගෙන සිටින්නට සිහින දුටු යෞවනියක ලෝකයේ බලවත්ම රාජ්‍යයක රැජිණිය වී අවසන් ගමන් ගියේ ඒ නිසා.  
 

Related Articles

Don't Miss


Latest Articles