මතක දිගහැරුම 31- අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් එක්වන දිගහැරුම ,

තාත්තා දැන් විවේකයෙන් පසුවිය යුතුයැයි මගේ තීරණය විය.පිලිකාවක් වෙනුවෙන් කළ යුතු කිසිදු ප්‍රතිකර්මයක් හෝ බෙහෙත් වර්ගයක් තාත්තාට නියම නොකළ වෛද්‍යවරයා පැවසුවේ අවුරුදු පහකින් පමණ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ පමණක් තාත්තාට සිදු කරන ලෙසයි. සැත්කමෙන් පසුව තාත්තාගේ පපුවට පහලින් දිග අතට විශාල කැපුමක් වූ අතර එම කැපුමෙහි වේදනාවන් හැර වෙනත් කිසිදු වේදනාවක් තාත්තාට නොතිබුණි.

පවුලේ සියලුම වගකීම් දැරීමට සුදානම් වූ මා , තාත්තාට රැකියාවට සමු දෙන්න යැයි පැවසුවෙමි. නමුත් තාත්තා එයට එකඟ වූයේ නැත.ඔහුට අවශ්‍ය වූයේ සුව වූ පසු ඉදහිට හෝ කාර්යාලයට ගොස් ඒමට ය.තාත්තා සේවය කළ සිනමාශාලාව සහ එම ව්‍යාපාර ජාලයම හිමි ,හිමිකරුවාගේ විශ්වාසවන්තම සේවකයා මගේ තාත්තා වූ අතර තාත්තා ඉඳහිට හෝ කාර්යාලයට පැමිණීමට තීරණය කිරීම ගැන ඔහුගේ කිසිදු අකමැත්තක් නොතිබුණි.තාත්තා සිදු කළ විශිෂ්ට සේවාව පිළිබඳව එතරම්ම පැහැදීමක් ඔහු තුළ තිබුණු බව මා කිව යුතුමය.තත්වය එසේ වුවත් කිසි ලෙසකින් වත් තාත්තා නැවත රැකියාව නොකළ යුතු බව මගේ මතය වි‍ය.කම්මැලි සිතුනු වේලාවක පමණක් එහි ගොස් ඒමට පොරොන්දු වූ තාත්තා ගෙදර නැවතීමට අවසානයේ දී එකඟ විය.නැවතත් අප අපගේ සාමාන්‍ය ජීවන රටාවට හුරු වූ අතර නංගි පාසල් යාම , අම්මා ගෘහණියක ලෙස නිවසේ සියලු කටයුතු ඉටු කිරීම සහ මා මගේ රැකියාවෙහි නිරත වීම පුරුදු ලෙසම සිදු විය.

ලංකාවේ සිටිනවාට වඩා වැඩි කාලයක් මා ගත කළේ උඩු ගුවනේ ය.ඇතැම් අවස්ථාවලදී ලංකාවෙ සමහර පාරවල් පිළිබඳව නොදන්නා මා පිට රටවල බොහෝ පාරවල් පිළිබඳව දැන සිටියෙමි.තරුණ වයසේ පසු වූ මා ඒ වන විට සෑහෙන රටවල් ප්‍රමාණයකට ගොස් තිබුණි.ඒ වගේම බලාපොරොත්තු වූ පරිදි මගේ පවුල වෙනුවෙන් සියලුම යුතුකම් මා ඉටු කළ අතර ඔවුන්ට අවශ්‍ය බොහෝ දෑ මා ගෙන ආවේ පිටරටවල් වලින් ය.

මා සතුව ඇති වගකීම් සම්භාරය නිසා රැකියාවේ ඉහලට යා යුතු බවට මා කල්පනා කළෙමි.මන්ද , නිවසේ කටයුතු මෙන්ම නංගිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මා සොයා බැලිය යුතුව තිබුණි.මගේ රැකියාවට මා බොහෝ සේ ආදරය කළ අතර එයින් තවත් ඉහළට යා යුතු බවට අදහසක් මෙන්ම ගුවන් නියමුවරියක් වීමේ අදහසක් ද මා සිත තුල තිබුණි.ගුවන් සේවිකාවක් වශයෙන් රැකියාවේ ඉහලට යාමට නම් ලෝකයේ හොඳම ගුවන් සේවා සමාගමට මා සම්බන්ධවීම කල යුතු විය. ඒ වන විට ලෝකයේ අංක එකේ ගුවන් සේවා සමාගම වුයේ Emirates ආයතනය ය.බොහෝ දෙනා ගුවන් සේවා සමාගම් පිළිබඳව කතා බහ කිරීමේ දී Emirates ආයතනය පිළිබඳව විශේෂයෙන්ම කතාබහ කරනවාද මට ඇසී තිබුණි.නමුත් ඒ වන විට සෑහෙන කලකින් Emirates ආයතනය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගෙන තිබුණේ නැත.

ඩුබායි වලට ගුවන් ගමන් ගමන්වාර යෙදෙන අවස්ථාවන් වලදී අප නවාතැන් ගන්නා හෝටලය පිහිටා තිබෙන ස්ථානයට යන අතරමග එමිරේට්ස් ආයතනයේ කාර්යාලය පිහිටා තිබේ.දිනක් රාජකාරි අවසන් කර මා හෝටලයේ නවාතැන් ගෙන සිටින අවස්ථාවේදී, එම කාර්යාලයට ගොස් ඔවුන් හා සම්බන්ධ වීම සඳහා කුඩා උත්සාහයක් දැරිය යුතු යැයි මා හට හදිසියේ සිතුවිල්ලක් පහල විය.එදිනම දහවල් වරුවේ මා හොඳින් සූදානම් වී කුලී රථයක් ගෙන්වාගෙන Emirates කාර්යාලය බලා ගියෙමි.

Emirates කාර්යාලයට ඇතුළු වූ මා ,එහි සිටි අයෙකුට මා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් බවත් , එමිරේට්ස් ආයතනය හා සම්බන්ධ වී සේවය කිරීමට ඇත්නම් මා ඉතා සතුටු වන බවත් පැවසුවෙමි.එම තැනැත්තා ඉතා හොඳින් මා පිළිගත් අතර ඉන්පසුව එම කාර්යාලය තුළට මා කැටුව ගියේය.එහි අරාබි, ඉන්දියානු සහ සුදු ජාතිකයන් ඇතුළු විවිධ ජාතීන්වල පුද්ගලයන් සිටි අතර ඔවුන් මා පැමිණි කාරණාව කුමක්දැයි විමසීය. මා ඔවුන්ගේ ආයතනය හා සම්බන්ධ වී ගුවන් සේවිකාවක වශයෙන් අත්දැකීම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව ඔවුන්ට ඒ අවස්ථාවේදී කීවෙමි.එහි සිටි එක් අයෙක් මා දෙස බලා මගේ උස ප්‍රමාණය ඉතා හොඳ බව කියමින් මගේ බර ද පරික්ශාවට ලක් කලේය.ඒ වගේම වසර හතරකින් ඔවුන් ශ්‍රී ලාංකිකයන් සේවටය බඳවා නොගත් බවත් , ඉදිරියේදි ගුවන් ගමන් වාර වැඩි වන බැවින් ඔවුන්ගේ කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කීහ.ඔවුන්ගේ සාමාන්‍ය සිරිත ගුවන් ගමන් වාරය යෙදෙන රටෙහි එක් අයෙක් හෝ දෙදෙනෙක් ගුවන් සේවා කාර්‍ය මණ්ඩලයෙහි සිටීම නිසා සෑම ජාතියකම අය සිටිම අවශ්‍ය බවත් ඔවුන් පැවසූහ.එම නිසා එසේ අවශ්‍ය වූ විට මා ඇමතිම සඳහා මාගේ විස්තර ලබා දී යන්නයි ඔවුන් කී නිසා මම මගේ ලිපිනය ඇතුලු විස්තර ඔවුන්ට ලබා දුන් අතර ඔවුන් ඒ සියල්ල පොතක සටහන් කර ගන්නා ලදී.මා නැවත පැමිණෙන විටද ඔවුන් පැවසුවේ ඉක්මනින් කැඳවීමක් කරනා බවයි.

ඉන්පසුව මා සුපුරුදු පරිදි නැවතත් මගේ රාජකාරී වල යෙදෙමින් සිටියේ Emirates ආයතනයට සම්බන්ධ වීම පිළිබඳව බොහො සිහින මවමිනි.බොහෝ දිනකට පසුව , එනම් මාස තුනකට පමණ පසුව මා හට Emirates ආයතනයෙන් ලිපියක් පැමිණ තිබුනි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles