මතක දිගහැරුම 41 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතලිස් එක්වන දිගහැරුම ,

ගුවන් සේවිකාවක් ලෙස විවිධ රටවල් වලට ගමන් කළ මා එම රටවල් වල සංවර්ධන ව්‍යාපෘති , ගොඩනැගී ඇති දේවල් , විවිධ පහසුකම් ආදී බොහෝ දේවල් පිළිබඳව අවබෝධය ලබා ගත්තෙමි. අප රටේ වැඩි දියුණු විය යුතු දේවල් මොනවා දැයි ඒ හරහා මා සංසන්දනය කර බැලුවෙමි. ඒ අයුරින් ඉතාම තරුණ වයසේදී විවිධ වූ අත්දැකීම් ලබාගත් මා ජීවිතය පිළිබඳව විශාල පන්නරයක් ලැබූවෙමි.

විවිධ රටවල් හරහා ගමන් කරන විට සාප්පු සවාරි වල යෙදීම මා ඉතාම ප්‍රිය කළ දෙයක් විය. මගේ තාත්තා ඉතා පිරිසිදුවට සහ පිලිවෙලට සිටි අයෙක් වූ අතර කෙටි ගමනකට පවා ඔහු ඉතා හොඳින් සූදානම් වී යාමට පුරුදු වී සිටියේය. ඔහුගෙන් එම පුරුද්ද ලද මා ද ඕනෑම ගමනකට ඉතා හොඳින් හැඳ පැළඳ සූදානම් වීමට ද , මට ගැළපෙන අයුරින් විවිධ විලාසිතා කිරීමට ද අතිශය කැමැත්තක් දැක්වූයෙමි.ගුවන් සේවිකාවක ලෙස makeup කිරීමේ සිට සියලු දේ ඉගෙන ගත් නිසා ඕනෑම ගමනකට ඉතා හොඳින් සැරසී යාම මගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් විය.ජීවිතයේ කිසිම දිනක වෙනත් අයෙකු ලවා මා makeup කරවා ගෙන නොමැති අතර විනාඩි කිහිපයක් ඇතුළත ඉතා ඉක්මනට සහ පිලිවෙලට තනිවම makeup කර ගැනීමට මට හැකියාව ඇත.වර්තමානයේ දී රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේ දී ද මට අවශ්‍ය ලෙස makeup එක මා තනිවම කරගෙන යන අතර අවශ්‍ය නම් පමණක් එහි අඩුපාඩු සැකසීමට වේශ නිරූපන ශිල්පියාට මා ඉඩ ලබාදෙමි.

සාරි ඇඳීම පවා මා තනිවම සිදු කරගැනීමට හුරු වී සිටින අතර විනාඩි කිහිපයක් ඇතුලත එය සිදු කර ගැනීමේ හැකියාව මා සතුව ඇත.මා සිතන ආකාරයට පසුකාලීනව මගේ සැමියාට එය විශාල ඉතිරියක් විය.ඒ වගේම මගේ මුහුණට සහ සමට සිදු කරගැනීමට අවශ්‍ය සියලු සත්කාර ද මා සිදු කර ගන්නේ නිවසේදීමය.ඇහිබැමි සැකසීම , නියපොතු සැකසීම සහ මුහුණට සිදු කරන සත්කාර ආදී සියලු කාර්යයන් මා අතින් කර ගැනීමට මා පුරුදු වී සිටින්නෙමි.ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ සිට වර්තමානය දක්වාම මෙකී සියලු කාර්යයන් වලට මා හුරු වී සිටින අතර සෑම දිනකදීම අනිවාර්යයෙන්ම පැය දෙකක් මා වෙනුවෙන් මම වෙන්කර ගනිමි.දිනය පුරාවටම මා කෙතරම් කාර්ය බහුලවූවත් එම පැය දෙකක කාලය වෙන් කර ගැනීම සඳහා මා මගේ කාලය කෙසේ හෝ කළමනාකරණය කරගන්නෙමි.ඉන් එක් පැයක් මගේ රූපලාවන්‍ය කටයුතු සහ යහපැවැත්ම සඳහා මා යොදා ගන්නා අතර අනෙකුත් පැය ව්‍යායාම කිරීම සඳහා වැය කරන්නෙමි.ව්‍යායාම කිරීම මගේ දින චර්යාවේ අනිවාර්ය කොටසක් වන අතර ව්‍යායාම කිරීමට නොහැකි වූ දිනක් ඇතහොත් ඒ ඉතාම කලාතුරකින් ය.එවන් දිනවල දී ද මට ශරීරයට අප්‍රාණික ගතියක් හෝ අසනීප වී ඇති ගතියක් දැනේ.ඇතැම් දිනවලට හවස් වරුවේ මට රාජකාරි යෙදී ඇත්නම් ව්‍යායාම කිරීම සඳහා උදේ කාලය මා යොදාගන්නෙමි.ඒ අයුරින් අනිවාර්යයෙන්ම මා ව්‍යායාම කරන්නේ මගේ ශරීර සෞඛ්‍යය ඉතා හොඳින් පවත්වාගෙන යාම සඳහාය.

ගුවන් සේවිකාවක ලෙස රාජකාරි කරන කාලයේ නිතර නිතරම විවිධ වූ අවන්හල් වලින් ආහාර ගැනීමට මා පුරුදු වී සිටිය ද, පසුකාලීනව මා ආහාර ගත්තේ නිවසේ සිටින කාලයේ මගේ අම්මා සහ තාත්තා ආහාර ගැනීමට පුරුදු වී සිටි ආකාරයටමය.ඒ වගේම තෙල් අධික ආහාර ගැනීම මා සීමා කළ අතර මගේ ආහාර සැලසුම පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් වුණෙමි.වර්තමානයේ දී නිවසේ ආහාර සකස් කරන විට ද පෝෂණ ගුණය පිළිබඳව මා ඉතා හොඳින් සැලකිලිමත් වන අතර නිතරම පෝශ්‍යදායි ආහාර සකස් කිරීමට උනන්දු වෙමි.

Emirates ආයතනයේ සේවය කරන සමයේදී මගේ ගෙලෙහි සුරයක් තිබුණි.එය කලකට ඉහත දී මා ජපානයට යාමට පෙර තාත්තා විසින් මට පැලඳූ එකක් විය.මහරගම පිහිටි ” පොල්වත්ත පන්සල ” නම් පන්සලෙහි නායක ස්වාමීන් වහන්සේ මගේ තාත්තා සමග බොහෝ හිතවත් වූ අයෙක් විය.උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකිරීම සඳහා එම ප්‍රදේශයේ නම් දරා සිටි අයෙක් වූ අතර මා ජපානයට යාමට පෙර දිනකදී මගේ තාත්තා ස්වාමීන් වහන්සේ සමග කතාබස් කරමින් සිටින විටක, මා ජපානයට යාමට නියමිත ගමන ගැනද විස්තර උන්වහන්සේ සමඟ පවසා ඇත.එවිට උන්වහන්සේ රත්තරන්වලින් නිම කළ සුරයක් ගෙනැවිත් දෙන ලෙස තාත්තාට පවසා ඇත.එපමණක් නොව ,එයට උන්වහන්සේ විසින් ලබාදෙන තෙල් දමා එම සුරය මාගේ ගෙලෙහි පළඳා තබන්නයි කියා ද උපදෙස් දී ඇත. එමඟින් මා හට ආරක්ෂාව සැලසෙන බවත් , මා කරන කියන සියලු කටයුතු සාර්ථක වන බවත් , සියලු දෙනාගේ ආදරය සහ ආකර්ෂණය මා හට හිමිවන බවත් උන්වහන්සේ පවසා ඇත.නමුත් අවමංගල්‍ය උත්සව වලට සහභාගී වීම සහ හරක් මස් ,ඌරු මස් යන මස් වර්ග දෙක අනුභව නොකරන ලෙසටද ස්වාමීන් වහන්සේ විසින් උපදෙස් දී තිබුණි. උන් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ මගේ තාත්තා මා ජපානයට යාමට පෙරාතුව එම සුරය මගේ ගෙලෙහි පැළඳවිය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles