මතක දිගහැරුම 47 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතලිස් හත්වන දිගහැරුම ,

දුරකථනය ඔස්සේ ගලා ගිය හශාන්ගේත් මගේත් කතාබහ අතරතුර මා පුදුමයට පත් කරමින් එකවරම ඔහු විසින් මට විවාහ යෝජනාවක් ගෙන ආවේය.ඒ වන විට අප දැන හඳුනාගෙන ගතවී තිබුනේ දින කිහිපයක් පමණි.මා ඔහුගේ කටයුතු වලට සහයෝගය දෙන ඉතා හොඳ සහකාරියක් වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.ජීවිතයේ ඉදිරි කටයුතු පිළිබඳව බොහෝ බලාපොරොත්තු ඒ වන විට මගේ සිත තුළ තිබුණු බැවින් සහ ඉටු කිරීමට බොහෝ වගකීම්ද තිබුණු බැවින් මට මේ පිළිබඳව එකවර පිළිතුරක් නොදිය හැකි බව මා ඔහුට පැවසුවෙමි.ඒ වගේම දින 10ක වාර්ෂික නිවාඩුව සඳහා මා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බැවින් , මා පැමිණි පසුව මගේ දෙමව්පියන් හමුවී ඔහුගේ යෝජනාව පිළිබඳව කතා බහ කරන්න යැයිද මා වැඩිදුරටත් හශාන් හට පැවසුවෙමි.මා ඉදිරිපත් කල අදහසට හශාන් එකඟ වූ අතර මා නැවත ලංකාවට පැමිණෙන දිනයේදී, මා රැගෙන යාමට ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔහු පොරොන්දු වූයේය.

බැංකොක් වෙත යෙදී තිබෙන ගුවන් ගමන්වාර වලින් පසුව ,විවේකීව ගත කරන කාල සීමාව තුළදී සාප්පු සවාරි යාම අප නොවරදවාම සිදු කළ දෙයක් විය.ඇතැම් වෙළඳුන් සමග කේවල් කරමින් අපට අවශ්‍ය මිල ගණන් වලට විවිධ වූ දේවල් මිලට ගත් අවස්ථාද බොහෝමයක් ඇත. ඇතැම් අවස්ථාවල අප ඉල්ලීම් කරන ගණන් වලට වෙළඳුන් එකඟ නොවූ විට අප එම වෙළඳසල් වලින් පිටවී එන අතර ,එම වෙළඳුන්ම අප පසුපසින් පැමිණ අප ඉල්ලීම් කළ මිල ගනන් වලට එකඟ වී භාණ්ඩ ලබා දෙයි.ඒ වගේම විවිධ වූ පළතුරු වල රස බලමින් වීදි දිගේ ඇවිද යමින් සාප්පු සවාරියේ යෙදීම අපට අතිශය විනෝදජනක අත්දැකීමක් විය.

ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන විට මෙන්ම ,විවිධ වූ රටවල් වල මිනිසුන් සමඟ ගනුදෙනු කරන විට ද මා සතු වූ භාෂා දැනුම මට අතිශයින්ම ප්‍රයෝජනවත් විය.මා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන වයස්වලදී සහභාගි වූ ඉංග්‍රීසි පන්තිය මගේ භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා මා හට බෙහෙවින් ඉවහල් විය. මහරගම ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි පන්තියක් වූ එය මෙහෙවූයේ ” කිත්සිරි සර් ” ය.අප ඉතා ආසාවෙන් සහභාගි වූ එම ඉංග්‍රීසි පන්තියට ළමුන් 200 – 250 ත් අතර ප්‍රමාණයකින් සමන්විත විය.විවිධ පාසල් වල , විවිධ වයස් මට්ටම් වල ළමුන් එයට සහභාගී වීම නිසා මා හට සිටි යහළු යෙහෙළියන් ප්‍රමාණයේ නිමක් නොවීය.

වෘත්තියෙන් නීතිඥවරයකු ලෙස සේවය කළ කිත්සිරි සර් අපට ඉගැන්වූයේ ඉංග්‍රීසි පමණක්ම නොවේ.විශාල දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකු වූ ඔහු අපට ඉංග්‍රීසි විෂයෙන් එහාට විහිදුණු ජීවිතය සහ ලෝකය පිළිබඳව බොහෝදේ ද ඉගැන්වීය. ඔහු අපට ඉගෙන ගැනීමට ,පාඩම් කිරීමට සහ තේරුම් ඉගෙනීමට ඉතා අර්ථාන්විත ඉංග්‍රිසී ගීත ලබාදුන් අතර ඒ අතරින් Que Sera Sera නැමති ජනප්‍රිය ඉංග්‍රීසි ගීතය ප්‍රධාන තැනක් ගනී.අදටත් ඒ ගීතය අසන විට මුලින්ම මගේ මතකයට නැගෙන්නේ ” කිත්සිරි සර් ” සහ මා ඉතා ආසාවෙන් සහභාගි වූ එම ඉංග්‍රීසි පන්තිය ය.එවැනි ගීත බොහෝමයක් ඔහු නිසා අප ඉගෙන ගත් අතර ජීවිතයට වැදගත් වූ බොහෝ දේවල් එකතු කර ගැනීමට ද අපට හැකියාව ලැබිණි.ජීවිතයේ පියවරෙන් පියවර ඉදිරියට යාමේදී ඔහු ඉගැන්වූ බොහෝ දේවල් ඇත්ත වශයෙන්ම අපට ප්‍රයෝජනවත් වූ අතර සමාජයේ සිදුවන දේවල් , සිදුවිය හැකි දේවල් පිළිබඳව ඔහු නිරන්තරයෙන්ම අපට අවබෝධය ලබා දුන්නේ ය.

ඒ ආකාරයට ඔහු අපට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව මෙන්ම ජීවිතයට අවශ්‍ය කරන බොහෝ දේවල්ද ලබා දුන්නේය.එහෙම පන්තියේ දී හමු වූ මිතුරු මිතුරියන් වර්තමානයේ දීත් මට මුණ ගැසෙන අතර අප අතර වූ ආදරණීය බැඳීම් අදටත් එලෙසම පවතී.එකල මා පන්තියට පැමිණෙන තුරු මා වෙනුවෙන් ආසනයක් වෙන් කරවා ගෙන සිටින මිතුරිය් හේමමාලී නැවත්ත මා සොයාගෙන ඇවිදින් මාගේ ජීවිතයට සම්බන්ධ වී සිටී.එම ඉංග්‍රීසි පන්තියේ පිහිටා තිබුණේ මහරගම දෙගම්බඩ හෝටලය නැමැති හෝටලයේ ඉහළ මාලයේ ය.එම හෝටලය හිමි සම්පත් සහ පේශල එදා මෙන්ම අදටත් මගේ සහෝදරයන් මෙන් මා හට ඉතා හිතවත් අය වේ.අධ්‍යාපනයට පමණක් සීමා නොවූ එම පන්තිය පැවැත්වූ ” කිත්සිරි සර් ” මා අදටත් ඉතා ගෞරව කරන සහ ආදරය කරන ගුරුවරයෙක් ලෙස සිහිපත් කරමි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles