නව වසරේදී ඔබට සාර්ථකත්වය ලබා දෙන කරුණු.

අලුත් අවුරුද්දට අලුත් වෙමින් මුහුණ දෙන්න ඔබ කැමති ඇති.ඔබේ සමහර පුරුදු වෙනස් කරගනිමින් වෙනස් වෙමින් අලුත් අවුරුද්ද බාර ගන්න.අලුත් ආරම්භයක් හැමවිටම ඔබට ජීවිතය සම්බන්ධයෙන් නව බලාපොරොත්තු ඇති කරන්නට සමත් වෙනවා.අලුත් වෙන්න මේ වගේ ස්මාර්ට් දේවල් කිහිපයක් කරල බලන්න ඔබට සිහිපත් කරන්න අපි හිතුවේ ඒ නිසා.

හැම මාසයකම පොතක් කියවන්න.

කියවීම ඔබට ලබා දෙන යහපත් දේවල් බොහොමයක් තිබෙනවා.රැකියාව, සමාජ මාධ්‍ය සැරිසැරීම වගේ කාරණා වර්තමානයේ ඔබෙන් කියවීම ඈත් කරනවා.නමුත් ඔබ ආයේ පොත් කියවන්න මේ වසරේ ඉඳලා පටන් ගන්න.ඔබේ මතකය වැඩිදියුණු කිරීම සහ සංවේදනා ඇති කිරීමට සමත් වෙන්නේ මුද්‍රිත පොත්.ඒ නිසා අලුත් අවුරුද්දේ ඉඳලා ෆෝන් එකට දෙන වෙලාව අඩු කරලා පොතටත් කාලය දෙන්න.

ඔබ කරන්නට දෙගිඩියාවෙන් සිටි යමක් කරන්න.

මේ කියන්නේ ඔබට හානියක් කරන දෙයකට නෙවෙයි.සමහර දේවල් කරන්න ඔබ දෙවතාවක් නෙවෙයි දහස් වාරයක් කල්පනා කරමින් ඉන්නවා ඇති. ඒ වගේ දෙයක් මේ වසරේදි කරලා බලන්න.කල් දමමින් ඉන්න විභාගයක් ලියන එක, ඉතිරි කිරීමක් පටන් ගන්න එක වගේ කාරණා වල ඉඳලා ඔබ කරන්න ආස ඒත් බය sky driving,අසීරු කඳු නැගීමක්, බෝට්ටු සවාරියක්, පිටරට සවාරියක් වගේ දේවල් කරන්නත් ඔබට පුලුවන්.ඒ විතරක් නෙවෙයි, ඔබේ වැටුප් වර්ධකය ගැන ආයතන ප්‍රධානියාගෙන් විමසීම,ඔබේ ඒකපාර්ශවික ආදරයට ඒ බව පැවසීම වගේ දෙයක් කරන්නටත් පැකිලෙන්න එපා.

එළවළු පලතුරු වැඩියෙන් කන්න.

මේ කතාව රටේ තත්ත්වය එක්ක සාධාරණ නැහැ කියන්න ඔබට පුලුවන්.ඒත් ඔබ මාකට් එකට ගිහින් දේවල් මිලට ගනිද්දී විවිධ ක්ෂණික ආහාර, පැණිරස කෑම සහ බේකරි කෑම මිලට ගන්න මුදල පෝෂ්‍යදායක එළවලුවකට පළතුරකට යොදවන්න.ඔබව තව අවුරුද්දකින් වයසට ගිහින් තියෙන්නේ ඒ නිසා වැඩිවැඩියෙන් ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න.

පසුගිය අවුරුද්දේ ඔබව දරාගත් කෙනෙකුට ස්තූති සටහනක් ලියන්න.

අපි සමාවෙන්න සහ ස්තූතියි කියන්න බොහොම අතපසු කරනවා.ආයේම හිතන්න.ජීවිතය අපිව තවත් අවුරුද්දකින් මහලු කරලා අවසන්.ඔබේ පසුගිය වසර වර්ණවත් කළ ආදරණීයයෙකුට ස්තූතියි කියලා සුළු තෑග්ගක් එක්ක සටහනක් යවන්න.ආදරය සහ ස්තූතිය මේ වාගේ කාලයක බොහොම වටිනවා.

දිනසටහන් පවත්වා ගන්න.

ෆේස්බුක් මත දෛනික සටහන් තබන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා.එතකොට වෙන්නේ ඔබට අවශ්‍ය වෙලාවට ඔබේ මතක හොයන්න අන්තර්ජාලයේ වැඩිවෙලාවක් සැරිසරන්න සිදුවීම.ඒ නිසා ඔබේ දිනසටහන් ලියන්න.එහි ඔබේ ඉදිරි මාසවල සැලසුම් ගැනත් සඳහන් කරන්න.වසර අවසාන වෙද්දී ඔබ සපුරා ගත යුතු ඉලක්ක ගැන නිතරම සිහි කිරීම ඔබට වසර සැලසුම් කරන්න පහසු කරාවි.

හැම දවසකම Tech Break එකක් ගන්න.

අපි බහුතරයක් අධ්‍යාපනය සහ රැකියාව කරන්නේ පරිගණක ආශ්‍රිතව.ඉතිරි මුළු වෙලාවම අපි දුරකථනයට ඇහැ අලවා ගත් මිනිස්සු.නැතිනම් රූපවාහිනියට ඇබ්බැහි වූ අය.මේ ඇබ්බැහියෙන් මේ වසරේදී මිදෙන්න.දවසේ එක වෙලාවක් පරිසරය සමඟ රැඳෙන්න.ඔබට උදෑසන ඇවිදීමට හුරු වෙන්න පුලුවන්.එහෙම නැතිනම් රැකියාව අවසන්ව මඳ දුරක් ඇවිද යන්න පුලුවන්.අහස,පරිසරය,මිනිස් ක්‍රියාකාරකම්, සතුන් දෙස තිරයෙන් නොව හැබැහින් බලන්න සුළු වෙලාවක් හෝ තබා ගන්න.

හොඳ cleaning Shedule එකක් තබා ගන්න.

මේ කාරණාව හරිම වැදගත්.ඔබ ඔබේ නිවස හැඩිවීම ගැනත් එය පිරිසිදු කරන්නට වෙලාවක් නැතිකම ගැනත් තැවෙනවා ඇති.මේ අවුරුද්දේ ඉඳන් දවසේ නිශ්චිත වෙලාවක් ඒ වෙනුවෙන් තබා ගන්න.හැමදාම අස් කරනකොට අස් කරන ප්‍රමාණය අඩු වෙනවා.ඒත් හැඩි වී ඇති ප්‍රමාණය අඩු වෙනවා. එය ඔබට සතුටට කාරණාවක් වෙයි.ඒ වගේම තමයි ඔබට පිරිසිදු වෙන්නත් වෙලාවක් ගන්න.ඔබේ රූපයට සත්කාර කරන්න සතියේ දවස් බෙදා ගන්න.එවිට ඔබට ඔබ මඟ හැරීම මේ අවුරුද්දේ ඉඳන් නවතීවි.

නිදාගන්න වෙලාවක් තියා ගන්න.

බර අඩු වීම,මතකය අඩු වීම, ආතතීන්ට ලක් වීම සහ රූපයට හානි වීමට ඔබේ නින්ද මදිකම බලපානවා.ඇඳට ගිහින් දුරකථනය ඔබමින් ඉන්නේ නැතුව හොඳ නින්දක් ලබන්න.අද ඉඳන් ඔබ නිදා ගන්න සම්පූර්ණ වෙලාව ගැන නිශ්චිත අදහසක් ගන්න.ඉන්පසු හරියට නිදා ගන්න.හොඳ නින්දක් නිසා ලැබෙන ප්‍රතිලාභ ඔබේ අලුත් අවුරුද්ද යහපත් කරන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

කුඩා පියවර තුළින් අලුත් දේවල් ලබා ගන්න පුලුවන් කියලා හැම මොහොතකම විශ්වාස කරන්න.ඔබ ජීවිතය තුළ කරන සමහර පුංචි වෙනස්කම් ඔබව අලුත් කෙනෙක් බවට පත් කරනවා.ඒ නිසා මේ පුංචි කාරණා ඔබව අලුත් ස්මාර්ට් බවකට රැගෙන යයි.

පැතුම් ඉටු වෙන සුබ විස්සයි විසි දෙකක් වේවා!!

Related Articles

Don't Miss


Latest Articles