මංගල උත්සවයක වියදම් අඩු කර ගන්නේ කොහොමද?

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වනවා කියන්නේ ටිකක් අසීරු කාර්යයක්.ආහාර පාන වල සිට සෑම දෙයක්ම මිලෙන් අධික නිසා මේ වගේ විශාල උත්සවයක් සංවිධානය කිරීම ගැන ඔබ ඉතා හොඳින් හිතන්නට ඕනෑ.නමුත් ඔබේ ජීවිතයේ ඒ තරම්ම සුවිශේෂී දිනයක් සමරන්නේ නැතුව ඉන්නත් බැහැ. ඒ නිසා අනවශ්‍ය වියදම් කපා හැරලා විවාහ මංගල්‍ය උත්සවයක් සංවිධානය කර ගන්න පුළුවන් කොහොමද කියලා ඔබට කියන්න අපි හිතුවා. මේ ලිපිය ඒ ගැනයි. 

ඔබට වියදම් කළ හැකි මුදල ගැන සිතන්න

සියල්ලටම ප්‍රථම ඔබ සිතන්නට ඕනෑ කාරණාව මෙයයි. ඔබ සතුව මේ මොහොතේ පවතින මුදල් ප්‍රමාණය හෝ ඔබ තැන්පත් කර ඇති මුදල් ප්‍රමාණයක් තිබේ නම් එය මේ මොහොතේ ඔබට ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. නමුත් කිසියම් ක්‍රමයක් අනුව ණයක් ගැනීම නම් එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ මංගල උත්සවය සඳහා ඔබට වියදම් කළ හැකි සම්පූර්ණ මුදල් ප්‍රමාණය පිළිබඳව අදහසක් අතැතිවයි ඔබ උත්සවය සංවිධානය කිරීම ආරම්භ කරන්නට ඕනේ.

ගැලපෙනම තැන තෝරා ගන්න 

මෙය ඔබ ඉතා කල්පනාවෙන් කරන්නට ඕනෑ කාර්යයක්. සාමාන්‍යයෙන් මංගල උත්සවයකදී මනාලියගේ හැඩගැන්වීම් කටයුතු වලට මුල් තැනක් ලැබෙනවා.වැඩි වශයෙන් මුදල් වැය වන්නට පුළුවන් එක් කාරණාවක් තමයි ඒක.හැඩගැන්වීම් කටයුතු සඳහා රූපලාවණ්‍ය  ශිල්පියෙක් තෝරා ගැනීමේදී එකවරම කෙනෙක් තෝරා නොගෙන රූපලාවණ්‍ය ශිල්පීන් කිහිප දෙනෙක් මුණ ගැසී ඔබගේ අවශ්‍යතාවයන් සාකච්ඡා කර ඔබට ඒ සඳහා වියදම් කළ කළ හැකි මුදල් ප්‍රමාණය අනුව රූපලාවණ්‍ය ශිල්පියකු තෝරා ගන්නට ඔබට පුළුවන්. ඊට අමතරව විවාහ මංගල්‍යයක අනෙක් ප්‍රධානම තැනක් උසුලන උත්සව ශාලාව , ඡායාරූප කටයුතු සහ සැරසිලි කටයුතු ආදිය පිළිබඳවත් මේ ක්‍රමය අනුගමනය කරන්නට ඔබට පුළුවන්. 

මංගල උත්සවයේ සැලසුම්කරු 

වර්තමානයේ මංගල උත්සව වල මෙය අනිවාර්ය කාරණාවක් විදියට දකින්න පුළුවන්. ගොඩක් දෙනා තමන් විසින්ම තමන්ගේ මංගල උත්සවය සැලසුම් කර ගන්නවා.නමුත් විවේකයක් නොමැති බව සහ කලබලකාරී බව නිසා එවැනි අවස්ථාවල අප අතින් විය හැකි අඩුපාඩු බොහෝමයි. ඇතැම් කුඩා කාරණා පවා මංගල උත්සවයකදී ඉතා වැදගත් වන නිසා ඔබට වියදම් කල හැකි මුදල් ප්‍රමාණය ට අනුව සැලසුම් කරුවෙකු තෝරා ගත්තාට වරදක් නැහැ.එවිට ඔබට ඔබේ මංගල දිනයේදී කුමක් හෝ මඟ හැරුනාදැයි සිතමින් වද වෙන්නට අවශ්‍ය වන්නේ නැති වෙයි. පළපුරුදු සැලසුම් කරුවෙකු මංගල උත්සවයේ නැකත් වල සිට ආහාරපාන , සැරසිලි , විනෝදාස්වාදය ඇතුළු සියලු කාරණා පිළිබඳව සොයා බලන අතර ඔබට සැලසුම්කරුවකු ගෙන් ගත හැකි තවත් විශාල වාසියක් තිබෙනවා. ඔබට වියදම් කළ හැකි මුදල පිළිබඳව සැලසුම්කරුවා සමග සාකච්ඡා කරන විට එයට සරිලන ආකාරයේ සේවාවන් ලබාගැනීමට හැකි ස්ථාන පිළිබඳව ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.එය ඔබට සැලසුම්කරුවකු ගෙන් ලබාගත හැකි විශාල ම වාසියයි. 

අමුත්තන් 

මංගල උත්සවයක් කියන්නේ පවුල් දෙකක් එකට එකතු වීම සැමරීමක් වැනි දෙයක් නිසා ඔබ ඔබේ මංගල උත්සවයට අමුත්තන් තෝරාගැනීමේදී විශාල අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. දෙපාර්ශවයේම නෑදෑයන් , හිතවතුන් සහ මිතුරන්ට ආරාධනා කිරීමේදී ආරාධනා කළ යුත්තේ කාටද නොකළ යුත්තේ  කාට ද යන්න පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. සෑම පවුලකම සියලු දෙනාටම ආරාධනා කරනවාට වඩා ඔබට හැකිනම් අවශ්‍යම වැඩිහිටියන්ට පමණක් ආරාධනා කරන්නට පුළුවන්. ඒ වගේම හිත මිතුරන්ට ආරාධනා කිරීමේදී පසුගිය අවුරුදු කිහිපය තුළ ඔබව සමීපව ඇසුරු කළ මිතුරන්ට ආරාධනා කරන්නටත් ඔබට පුළුවන්.  ඒ වගේම ආරාධනා කළ අයගේ පැමිණීම , මංගල උත්සවයකට සතියකට පමණ පෙර තහවුරු කර ගන්නටත් අමතක කරන්න එපා.

විනෝදාස්වාදය

මෙයත් මංගල උත්සවයක අත්‍යවශ්‍යම කාරණාවක්. පෝරුව චාරිත්‍ර හෝ අනෙකුත් ආගමික වතාවත් වලින් පසුව මනාල යුවල මධුසමයට පිටත් ව යන තුරු පැය ගණනාවක්ම ඉතිරිව තිබෙනවා.ඒ කාලය ඇතුළත අමුත්තන්ට ඉතා හොඳ විනෝදයක් ලබා දීම අතිශයින්ම වැදගත්. එවිට ඔබේ අමුත්තන්ට මේ මංගල උත්සවය පිළිබඳව ඉතා හොඳ මතකයක් ඉතුරු කර දිය හැකියි.කෙසේ වුවත් සංගීත කණ්ඩායමක් හෝ DJ ශිල්පියෙක් තෝරා ගැනීමේදීත් ඔබට වියදම් කළ හැකි මුදලට සරිලන ඉතා හොඳ පළපුරුද්දකින් යුතු අය ඔබ තෝරාගන්නට ඕනේ.මෙය ඔබගේ මංගල උත්සවයට වැඩි වශයෙන් සහභාගි වන අමුත්තන් පිළිබඳව සලකා බලා තීරණය කළ යුතු කාරණාවක්. තරුණ පිරිස වැඩි වශයෙන් සහභාගි වන උත්සවයක් නම් කුඩා නර්තන කණ්ඩායමක් වුවත් ඔබට යොදා ගන්නට පුළුවන්. නමුත් ඔබ මේ සියල්ලම තීරණය කරන්නට ඕනේ මේ සඳහා ඔබට වියදම් කළ හැකි මුදල මතයි.අඩු මුදලට හොඳ සේවාවක් ලබා ගන්නට පුළුවන් ඕනෑ තරම් ස්ථාන අද වන විට අපේ රටේ තිබෙන නිසා මෙය ඔබට එතරම් ගැටලුවක් නොවේවි. 

සැරසිලි 

මංගල උත්සවයට සහභාගි වන අමුත්තන් සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ මංගල උත්සවයේ ඇති වර්ණවත් බව සහ විචිත්‍ර බවයි. ඔබ ඔබේ මංගල උත්සවය සංවිධානය කිරීමේදී තෝරාගන්නා තේමාව අනුව සැරසිලි කිරීමේදී ඒ සඳහා වියදම් වන මුදල අඩු කිරීම සඳහා පුංචි පුංචි උපක්‍රම යොදා ගන්නට ඔබට පුළුවන්.උදාහරණයක් ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ නැවුම් මල් වලින් සැරසිලි කිරීමට නම් එය තරමක් මුදල් වැඩිපුර වියදම් වන කාරණාවක්.ඒ නිසා පෝරුව , මනාල යුවළ වාඩිවෙන ආසනය ආදී සුවිශේෂී , වැඩි වශයෙන් ඡායාරූප වලට හසුවන ස්ථාන පමණක් නැවුම් මල්වලින් සරසා අනෙකුත් ස්ථාන සඳහා කෘතීම මල් භාවිතා කරන්නට ඔබට පුළුවන්. ඒ වගේම වර්ණවත් ඉටිපන්දම් , පහන් ආදි සුළු මුදලකට ලබා ගත හැකි දේවල් භාවිතා කර වුවද ඔබේ උත්සවය අලංකාර කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා

කේක් 

මංගල උත්සවයට ඇති තවත් සිත් ගන්නා කාරණාවක් වුණත් මේ සඳහා ඔබ ඉතා විශාල මුදලක් වියදම් කළ යුතු යැයි නියමයක් නැහැ.තට්ටු ගණනාවකින් යුතු ඉතා උස කේක් නිර්මාණයකට වඩා ඉතා සරල සැරසිල්ල කින් කේක් නිර්මාණයක් අඩු මුදලකට සකස් කරගන්නට ඔබට පුළුවන්. එයින් ඔබේ මංගල උත්සවයේ සුන්දරත්වයට බාධාවක් ඇති වන්නේ නැහැ. ඒ වගේම තමයි සහභාගී වන අමුත්තන් සඳහා විශාල මුදලක් වැය කර ” වෙඩින් කේක් ” ම ලබාදිය යුතු නැති අතර වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය Jar Cakes පිළිගන්වා වුවත් ඔබේ අමුත්තන් වෙත වෙනස් අත්දැකීමක් ලබා දෙන්නට ඔබට පුළුවන්.

මංගල උත්සවයක් සංවිධානය කර ගැනීමේදී ඔබේ අතේ ඇති මුදලට වියදම් අඩු කරගන්නට පුළුවන් ඕනෑතරම් ක්‍රම තිබෙනවා.ඉන් කිහිපයක් පමණයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ. ඔබ ජීවත්වන ප්‍රදේශය , ඔබට සේවාවන් ලබාගත හැකි ස්ථාන අනුව මේ කාරණා වෙනස් වන්නට පුළුවන්. ඒවා ඒ ඒ ආකාරයෙන් කළමනාකරණය කරගන්නට Smart කාන්තාවක් වන ඔබට බැරි වෙන එකක් නැහැ.

ඡායාරූපය – Sajeewa Withanage Photography

Related Articles

Don't Miss


Latest Articles