මතක දිගහැරුම 39 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් නවවන දිගහැරුම ,

Emirates ආයතනය මගින් ලබාදුන් මූලික වැටුප පවා ඉතා හොඳ එකක් වූ අතර වැටුපට අමතරව අප රාජකාරී සඳහා යන රටවල් වල දී අවශ්‍ය වියදම් සපුරා ගැනීම සඳහා වෙනමම දීමනාවක් ද ආයතනය විසින් ලබා දුනි.මා ලද පළවෙනි වැටුපෙන් මා නවාතැන් ගෙන සිටි කාමරයට වටිනා රූපවාහිනියක් ඇතුළු මට අවශ්‍ය කරන භාණ්ඩ රැසක් මා මිලදී ගතිමි.රාජකාරී ආරම්භ කර තුන්වන මාසයේදී මා ලෝකයේ ඉහළින්ම පවතින වෙළඳ නාමයක් වන Cartier වෙළඳ නාමයට අයත් ඉතා වටිනා රත්තරන් මාලයක්ද මිලදී ගතිමි.ඒ වකවානුවේදී ඒ තරම් වටිනා මිල අධික දෙයක් මිලට ගැනීමට තරම් ගුවන් සේවිකාවකගේ වැටුප ප්‍රමාණවත් විය.වැටුපට අමතරව වෙනත් දීමනා ද , ගුවන් ගමන් වාරයකින් පසුව විවේක ගැනීමට අවස්ථාවක් ද ආයතනයෙන් ලබාදුන් අතර ලෝකයේ අංක එකේ ගුවන් සමාගම වූ එමිරේට්ස් ආයතනය ඔවුන්ගේ සේවක සේවිකාවන් සඳහා ඉතා හොඳ වැටුප් ගෙවමින් හොඳින් සැලකූ බව මා කිව යුතුමය.

එමිරේට්ස් ආයතනයේ විවිධ ජාතීන් වල අය සේවය කළ නමුත් අපට එහි කිසිදු වෙනසක් දැනුණේ නැත.අප සියලු දෙනාම එකම පවුලක අය මෙන් ඉතා සමගියෙන් සහ සහයෝගයෙන් යුතුව රාජකාරී කටයුතුවලදී මෙන්ම රාජකාරියෙන් පසුවත් කටයුතු කළෙමු.හැම දෙනා අතරම ඉතා හොඳ සුහදතාවයක් තිබූ අතර සහෝදර සහෝදරියන් මෙන් එකිනෙකාට සැලකූහ.ඒ වගේම ගුවන් ගමන් වාර වල දී විවිධ ජාතීන්වල අය සමග ගමන් කිරීම සහ ඔවුන් සමඟ සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීම නිසා අනෙක් ජාතීන් සහ ආගම් වල අය අතර වෙනසක් කිසිම විටෙකත් මට දැනුනේ නැත.එම නිසා අප කණ්ඩායමේ සියලු දෙනාම නිරන්තරයෙන් අනෙක් ජාතීන් වල සහ ආගම් වල අයට ගෞරව කළෙමු.

ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර වලදී කාර්ය මණ්ඩලයේ එක් අයෙක් හෝ ශ්‍රී ලාංකිකයෙකු වීම අනිවාර්ය නිසා මසකට එක්වරක් හෝ මා ලංකාවට පැමිණියෙමි.එවැනි ගුවන් ගමන් වාර වල දී බොහෝ විට පැමිණෙන්නේ ශ්‍රී ලාංකිකයන්ය.එකල සීමා රහිතව මත්පැන් ලබාදෙන නිසා බොහෝ විට පිරිමි පාර්ශවයේ අය නිතර නිතර මත්පැන් ඉල්ලා සිටියි .එයට හේතුව වූයේ අරාබි රටවල් වල බොහෝ දෙනාට මත්පැන් පානය කිරීමට අවස්ථාව නොලැබීමයි.එවැනි අය සමඟ ශ්‍රී ලාංකිකයෙකු වූ මා සිංහලෙන් කතාබස් කළ විට ඔවුන් දිගින් දිගටම මා අමතමින් සීමා රහිතව මත්පැන් ඉල්ලා සිටියි.ඇතැම් විට එය කරදරකාරී සහ වෙහෙසකාරී අවස්ථාවන් දක්වා වර්ධනය බැවින් බොහෝ විට එවැනි ගුවන් ගමන් වාර වල මා සිටින්නේ ඉන්දියානු ජාතික තරුණියක ලෙස ය. තරුණ වයසේ පසු වූ මා විවිධ විලාසිතා වලට කැමැත්තක් දැක්වූ අතර එකළ මා පුරුද්දක් ලෙස තාවකාලික නාස් මුදුවක් පැළඳ සිටියෙමි. එවිට බොහෝ දෙනා සිතන්නේ මා ඉන්දියානු තරුණියක කියාය.ගුවන් ගමන යෙදී තිබෙන රටේ භාෂාවෙන් නිවේදන කටයුතු කෙරෙන අතර සිංහල භාෂාවෙන් නිවේදන කටයුතු කිරීමේදී ඇතැම් විට මා එම නිවේදනය කරන්නේ ගුවන් මගීන්ට නොපෙනෙන ලෙස සිටය.

ඉතා සුහදව කටයුතු කරන ගුවන් මගින් මෙන්ම ඇතැම් විට කරදර කාරී ලෙස හැසිරෙන ගුවන් මගින් ද අපට හමු වී ඇත.කෙසේ වුවත් කිසිම අවස්ථාවක දී අපට ගුවන් මගින් සමග කෝපයට පත්විය නොහැකි අතර ” ගුවන් මගියා සෑමවිටම නිවැරදිය ” යන නීතිය පිළිපැදිය යුතුය.

සමහර ගුවන් ගමන් ගමන් වාරවල දී අප රටේ සිට වෙනත් රටවල් වලට, දරුකමට ලබාගත් දරුවන් රැගෙන යන අය මට මුණ ගැසී ඇත.ලංකාවේ ඇතැම් දුගී පවුල්වල දෙමාපියන් , ඔවුන්ට ඇති අගහිගකම් නිසාවෙන් විදෙස් රටවල් වල දරුවන් නොමැති දෙමාපියන් හට තමන්ගේ දරුවන්ව නීත්‍යානුකූලව පවරා දෙයි.වෙනත් රටවල් වලට එසේ ගෙන යන දරුවන් ඇතැම් අය ඉතාම කුඩා අවධියේ අය වන අතර නව දෙමව්පියන් විසින් ඔවුන්ව රැගෙන යන්නේ අතිශය ආදරයෙන් ය.දින ගණන් සහ මාස ගණන් වයසැති දරුවන්ව ඒ අයුරින් තවත් දෙමව්පිය යුවලකට ලබා දෙන්නේ කෙසේ දැයි මට සිතා ගත නොහැකි විය.තවද එකල පැවති යුද්ධයෙන් අවතැන් වූ පවුල් වල දරුවන්ද එසේ රැගෙන යනවා මා දැක ඇත.

ඇතැම් අවස්ථාවල මහා මාර්ගයේ සිටින යාචක පවුල් වල ද කුඩා දරුවන් සිටිනවා අප දැක ඇති අතර එම පවුල් වල මව්වරුන් ඔවුන්ගේ දරුවන්ව කෙසේ හෝ හදාවඩා ගනියි.තවත් සමහර දුගී පවුල් වල ආබාධිත සහ අංගවිකල දරුවන් සිටියත් කුමන තත්ත්වයක් යටතේ හෝ එම දරුවන්ව ඔවුන්ගේ දෙමව්පියන් විසින් තම දෑස් මෙන් රැක බලා ගනියි. එවැනි තත්ත්වයක් තිබියදී තවත් මව්වරුන් කොට්ඨාශයක් විසින් අගහිඟකම් හෝ වෙනත් හේතු මත තම දරුවන්ව වෙනත් පවුලකට බාර දෙන්නේ කෙසේදැයි එකළ තරුණ වියේ පසුවූ මට සිතා ගැනීමට අපහසු විය.වර්තමානයේ දරුවන් සිටින මවක වන මට එම සිදුවීම් දැන් සිහිපත් වනවිට දැනෙන්නේ අතිශය දුකකි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles