මතක දිගහැරුම 24 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි හතරවන දිගහැරුම ,

මා දුටු බියකරු සිහිනය පිළිබඳව මා තදින් සිතන්නට පෙළඹුණු විශාලම හේතුව නම් , කුඩා කල සිටම මට ඉඳහිට පෙනෙන සිහින වලින් යම් කිසි දෙයක් පෙන්නුම් කිරීමයි .එසේ මා දුටු සිහින සැබෑවක් වී ඇති අවස්ථා කීපයක්ම මගේ ජීවිතයේ ඇත. තාත්තාට අතිශය ආදරය කළ මම බොහෝ සේ කලබලයට පත් වී සිටි නිසා කිසිදු ලෙඩක් දුකක් නොවූ මගේ තාත්තාට කිසිවක් නොවන බව කියමින් මගේ මිතුරිය වූ කැලුම් මගේ හිත හැදුවා මට මතකය .

පසුදින වතිකානුවට ගොස් තාත්තා වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීමට මගේ මිතුරිය ඒ මොහොතේ මට යෝජනා කළාය. සාමාන්‍යයෙන් ඉතාලියට අවස්ථාවලදී වතිකානුවට යාම අප පුරුද්දක් කරගෙන සිටි නිසාත්, එහි ගොස් ශුද්ධ වූ ජලය මා නිවසට රැගෙන එන නිසාත් ,එම යෝජනාවට මම එක පයින්ම කැමැති වීමි. වතිකානුව අසල වෙළඳසැල්වල ප්ලාස්ටික් වලින් නිම කළ මරියතුමියගේ හැඩය ගන්නා කුඩා බෝතල් වලට බොහෝ දෙනා ශුද්ධ ශුද්ධවූ ජලය රැගෙන යයි. ඕනෑම ආගමකට ගරු කරන කරන මා ද එසේ වතිකානුවට යන අවස්ථාවලදී එයින් ශුද්ධ වූ ජලය රැගෙන ආවෙමි. හදිසියේ අසනීපයක් වූ අවස්ථාවන්වලදී බෞද්ධයන් වන අප පිරිත් පැන් පානය කරන්නා සේ එම ශුද්ධ වූ ජලයෙන් බිඳක් පානය කිරීමට ද මා පුරුදු වී සිටියෙමි . එයින් යම් කිසි සෙතක් සැලසෙනවා යැයි මා විශ්වාස කළෙමි.

මිතුරිය යෝජනා කළ පරිදි පසුදින උදෑසනම අප දෙදෙනා දුම්රියට නැගී වතිකානුව බලා ගියෙමු.වතිකානුවට යන බැතිමතුන් ඇති ඇතැම් ස්ථානවලට කාසි විසිකර ප්‍රාර්ථනාවන් සිදුකරයි. මගේ තාත්තාට කිසිදු කරදරයක් නොවේවා යැයු සිතමින්, ඔහුට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරමින් මම ද එසේ කළෙමි . අප එහි සිටින කන්‍යා සොයුරියක් මුණගැසී අප පැමිණි කාරණය පැවසූ විට ,ගෙදර රැගෙන යාම සඳහා ලබාගත් ශුද්ධ වූ ජලයට ඇය ආශිර්වාද කර දුන්නේ තාත්තාට කිසිදු කරදරයක් නොවන බව කියමිනි. වතිකානුවට ගියපසු සිතේ තිබුණු කරදරකාරී බව බොහෝ දුරට පහව ගියේය.ඉන්පසුව නැවතත් මා මගේ මිතුරිය සමග හෝටලයට පැමිණ පුරුදු පරිදි අනෙක් අය සමඟින් කාලය ගත කළෙමි.

එකල අප නිවසේ රියදුරු වශයෙන් සේවය කළේ තාත්තා සේවය කළ සිනමාහලේ රැකියාව කළ ” කුලරත්න අංකල් ” ය. අපව කුඩා කල සිටම හොඳින් හඳුනන ඔහු මා රැගෙන යාම සඳහා කාර් රථය ද රැගෙන ගුවන් තොටුපොළට පැමිණෙයි . එදින මා රාජකාරි අවසන් කොට පැමිණීමට නියමිතව තිබුණේ අළුයම් කාලයේ නිසා පුරුදු පරිදි මා නිවසට රැගෙන යාම සඳහා කුලරත්න අංකල් පැමිණ සිටියේය. සාමාන්‍යයෙන් මා රාජකාරි අවසන් කොට පැමිණෙන්නේ ඉතා කුසගින්නේය. එයට හේතුව ගුවන් යානයේදී අපට ලැබෙන ආහාර බොහෝමයක් මා රස විඳ ඇති නිසා ඒවා කෙරෙහි මගේ එතරම් ප්‍රියතාවයක් නොවීමයි .එම නිසා අම්මා විසින් මා රාජකාරි අවසන් කර පැමිණෙන විට මා ප්‍රිය කරන රසවත් කෑම පිළියෙල කොට තබයි. නමුත් මෙදින මා කාර් රථයට නැගුනු විගසම මා පුදුමයට පත් කරමින් කුලරත්න අංකල් පැවසුවේ අම්මා නිවසේ කෑම පිස නැති බවත් , එන අතරමගින් මොනවා හෝ කෑම මිලදී ගෙන එන ලෙසත් පැවසූ බවයි. කිසිම දිනක දී අවන්හල් වල ආහාර අපට ලබා නොදෙන අම්මා අද එසේ කීවේ මන්දැයි මා ඇසූ විට කුලරත්න අංකල් පැවසුවේ අම්මා උදෑසනම බෝධි පූජාවක් සඳහා පන්සලට ගිය බැවින් කෑම සකස් කිරීම සඳහා ඇයට වේලාවක් නොතිබුණු බවයි . එකල කොල්ලුපිටියේ තිබූ ප්‍රසිද්ධම අවන්හල වූයේ Green Cabin එක ය . මා එහි ගොස් ගෙදර සියලු දෙනාටම සෑහෙන පමණට විවිධ වර්ගයේ කෙටි ආහාර මිලදී ගත්තෙමි.

මා නිවසට යන විට අම්මා සහ නංගී පෙනෙන්නට සිටියේ නැත. මා තරමක් උස් හඬින් අම්මාට කතා කළ විට ඇය කාමරයේ සිට නංගි සමග පිටතට පැමිණියාය . දෙදෙනාගේම දෑස් ඉදිමී සහ රතු වී දෙදෙනාම හැඬූ බවට සලකුණු දක්නට තිබූයෙන් මා බියපත් වී කුමක් සිදුවී ඇති දැයි විමසුවෙමි . ක්ෂණයකින් මගේ අම්මා මා වැළඳගෙන හඬන්නට පටන් ගත්තාය .ඒ මොහොතේම නංගිගේ ද හැඬුම අලුත් වූ අතර හැඬීමට හේතුව මා විමසුවත් ඔවුන් දෙදෙනා දිගින් දිගටම හැඬුවා මිස මට පිළිතුරු දුන්නේ නැත.

මද වේලාවකින් මා ඉතා ආයාසයෙන් ඔවුන් දෙදෙනාව සන්සුන් කර තාත්තා කොහි දැයි ඇසුවෙමි. තාත්තා ඒ මොහොතේ රැකියාව සඳහා ගොස් ඇති බව අම්මා කීවේ තවත් ටික වේලාවකට පසුවය. ඉන්පසුව ,සිදුවී ඇති දෙය අම්මා මට ටිකෙන් ටික විස්තර කළාය .

මා නිවසේ නොමැති අතරතුර තාත්තාට එක්වරම උණ වැලඳී ඇත. තාත්තා පවසා ඇති ආකාරයට දින දෙකක් පුරාවට නිසි පරිදි බඩ ශුද්ධ වීම සිදුවී නැති අතර ඔහු ඒ නිසා ගස්ලබු ද ආහාරයට ගෙන ඇත .අම්මා විසින් විවිධ අත් බෙහෙත් වර්ග ද තාත්තාට සකස් කර දී ඇති අතර ඒවායින් එතරම් සුවයක් ලැබී තිබුනේද නැත .ඉන්පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් වෙලාවක් වෙන් කරවාගෙන අම්මා ,තාත්තා සමඟ එහි ගොස් ඇත.එහිදී වෛද්‍යවරයා විසින් තාත්තාව පරීක්ෂා කර බැලීමෙන් පසුව ඇති වූ සැකයක් මත තාත්තාට වෛද්‍ය පරීක්ෂාවක් සිදුකිරීමට නියම කර තිබුණි. එම වෛද්‍ය වාර්තාව නිකුත් වූ පසු අම්මා සහ තාත්තා එය රැගෙන වෛද්‍යවරයා මුණගැසීමට ගොස් තිබේ.තාත්තා සමඟ කතා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා තාත්තාට එළියට යන ලෙස පවසා අම්මාට මදක් රැඳී සිටින ලෙස අතින් සංඥා කර ඇත.ඒ අනුව තාත්තාගේ වෛද්‍ය වාර්තා වල සත්‍යම තත්ත්වය දැනගැනීම සඳහා කුතුහලය සහ බිය මුසු සිතින් අම්මා වෛද්‍ය කාමරයෙහි නතර වී ඇත

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles