මතක දිගහැරුම 36 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස්හය වන දිගහැරුම ,

මා ඉතා සතුටින් මගේ පුහුණුවීම් වල යෙදෙමින් මගේ කණ්ඩායම සමඟ කාලය ගත කරමින් සිටින අතර දිනක් මගේ මාමා ,එනම් මගේ අම්මාගේ මල්ලි මා හට දුරකථනයෙන් ඇමතුවේය.මා හොදින් ඉන්නවා දැයි අසා මගේ අනෙකුත් විස්තර ද විමසූ ඔහු , ගෙදර ඇති වූ යම් ගැටලුවක් පිළිබඳව අම්මා මට කීවා දැයි විමසුවේය.අම්මා එසේ විශේෂිත යමක් මට නොපැවසූ නිසා මා කුතුහලයෙන් යුතුව කුමක් හෝ සිදු වී ඇති දැයි මාමාගෙන් ඇසූවෙමි.ඇති වී තිබෙන ගැටලුව මා හට පවසන්නයි මාමා විසින් අම්මා හට කියා තිබූවත් , තවදුරටත් මට කරදර කිරීමට නොහැකි යැයි අම්මා ඔහුට පවසා ඇත.අම්මා එසේ පැවසුවත් ඇති වී තිබෙන ගැටලුව මට පවසන්න යැයි මම මාමාට පෙරැත්ත කළෙමි.

පෙරදින රාත්‍රියේ දී මාමා අපගේ නිවසට යන විට අම්මා ,තාත්තා සහ නංගී පැදුරු එලාගෙන බිම නිදා සිට ඇත.ඒ මොහොතේ අපගේ නිවසේ තිබූ බඩු මුට්ටු ද පෙනෙන්නට නොතිබීම මාමා ගේ විමතියට හේතු වී ඇති අතර කිසිවක් සිතාගත නොහැකි ව මාමා අම්මාගෙන් කරුණු විමසන විට ඇය හඬමින්, සිදුවූ සියල්ල ඔහුට පවසා ඇත.

පුහුණු වීම සඳහා මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ආ පසුව දිනක,අප නිවස සෑදූ ඉඩම අයිතිව තිබූ ඥාතීන් පිරිස තාත්තා හමුවීම සඳහා පැමිණ තිබුනි.ඉන්පසුව අප ජීවත් වූ එම නිවස නැවත ඔවුන් හට බාර දෙන්නයි ඔවුන් පවසා ඇත.නිවස භාර දිය නොහැකි බවත් ,තාත්තා සහ මා මහන්සි වී අධික වියදම් දරමින් මෙම නිවස සෑදූ බවත් තාත්තා ඔවුන් හට පවසා තිබූ අතර එවිට ඔවුන් පවසා ඇත්තේ එම ඉඩම තාත්තාට නොදුන් බවත් තාත්තාට එම ඉඩමෙහි කිසිදු අයිතියක් නැති බවත් ය.කිසිදු ලියවිල්ලක් වත් නොතබාගෙන ඥාතීන් කෙරෙහි ඇති විශ්වාසය මත ලබාගත් ඉඩමෙහි සෑදූ නිවස නැවත භාර දෙන්නට සිදුවන අවස්ථාවක් උදා වේ යැයි මගේ තාත්තා සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.ඉඩමට අයිතිවාසිකම් කී ඥාතීන් කිහිප දෙනා , ඔවුන්ගේ දරුවන් සහ මගේ තාත්තා අතර ඒ අවස්ථාවේදී යම් කතාබහක් ඇති වී තිබුණි.එම සම්පූර්ණ කතාබහ මම මාමාගෙන් විමසූයේ නැති අතර කෙසේ හෝ අවසානයේ දී ඔවුන් පවසා තිබුණේ එම මාසයේ අවසාන වන විට කුමන ආකාරයකින් හෝ නිවස නැවත ඔවුන් හට භාරදෙන ලෙසයි.තාත්තා සුව වී ඒ වන විට ගෙවී තිබුණේ මාස කීපයක් පමණි.ඥාතීන් පිරිස ඒ පිළිබඳව වත් නොසිතා ඉතා අකාරුණික ලෙස ඒ මොහොතේ කටයුතු කර තිබූ අතර මගේ මාමා ඒ සිදුවීම පිළිබඳව ඉතා කම්පා විය.

කරන්නට කිසිවක් සිතාගත නොහැකි ඒ අවස්ථාවේ දී, අපට ඉතා ආදරයෙන් සැලකූ අසල නිවසක ” වසන්ත අන්කල් සහ ” ජයන්ති ඇන්ටී ” පිහිටට පැමිණ තිබුණි.අප නිවසේ සියලු බඩු බාහිරාදිය ඔවුන්ගේ නිවසේ ගබඩා කරන්නට ඔවුන් ඉඩ දී තිබූ අතර නිවසක් සොයාගන්නා තුරු මගේ දෙමව්පියන්ට කාරුණික වූ ඔවුන් දෙපළට මා අදටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි.

මගේ පවුල වෙනුවෙන් මා බොහෝ වෙහෙස මහන්සි වී යුතුකම් ඉටු කරන නිසාත්, emirates ආයතනයට සම්බන්ධ වන අවස්ථාවේදී මා සතුව මා ඉතිරිකරගත් කිසිවක් ම නොතිබූ නිසාත් හදිස්සියේ මුහුණ දීමට සිදු වූ ගැටලුව පිළිබඳව මට පවසන්නට අම්මාට සහ තාත්තාට හිත හදා ගැනීමට හැකිවී නැත.අනෙක් කාරණාව නම් පුහුණුවීම යෙදී තිබූ මාස තුනක කාලයේදී කිසිදු හේතුවකට නැවතත් මා හට ලංකාවට පැමිණීමට හැකියාවක් නොතිබීමයි.නිවසේ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව විස්තර මාමා ගෙන් දැනගත් මා වහාම අම්මාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

නිවසේ කුමක් හෝ ගැටලුවක් දැයි අම්මාගෙන් ඇසූ විට ඇය හඬන්නට පටන් ගත් අතර සිදු වූ සියල්ල ඇය පැවසුවේ හඬමින් ය.නිවස නැවත ලබා ගැනීම සඳහා පැමිණි ඥාතීන් පිරිස පැවසූ යම් කරුණක් අදටත් මගේ සිතේ තදින් තැන්පත් වී තිබේ.නිවස ගොඩනැගීම සඳහා මා බොහෝ මහන්සි වී වියදම් දැරූ බව තාත්තා පැවසූ විට ඥාතීන් පිරිස අතර සිටි එක් අයෙක් පවසා ඇත්තේ ” ලක්ෂ ගණන් හම්බ කරන දුවෙක් ඉන්නවානේ , එයාට පුළුවන්නේ ඔයාලට ගෙයක් අරන් දෙන්න ” යනුවෙනි. මගේ රැකියාව සහ මගේ වැටුප් ප්‍රමාණය පිළිබඳව ඔවුන් සොයා බලන්නට ඇති අතර අනෙකාගේ දියුණුවට සතුටු සිතින් ආශිර්වාද කළ නොහැකි මිනිසුන් සමඟ තර්ක කිරීම පවා ඇත්තෙන්ම ඵලක් නොමැති කාර්යයකි.ඒ වගේම මිනිස්සුන් තුළ ඇති මනුස්සකම් පිළිබඳව මැන ගැනීමට එවන් වූ අවස්ථාවන් අපට උපකාරී වන බවද මා කිව යුතු ය.කෙසේ හෝ ඔවුන් තුළ වූ කුමක් හෝ යටි අරමුණක් උදෙසා, අප ඉතා දුක් මහන්සි වී ගොඩනැඟූ නිවසේ ඉඩම අයිති ඥාතියාට, යම් පෙලඹවීමක් කර එය යළිත් අයිතිකර ගැනීමට ඔවුන් පැමිණි බව මට සිතුනි.මා හට ලැබුණු ඊළඟ අභියෝගය වූයේ කෙසේ හෝ මගේ අම්මව සහ තාත්තාව මේ ගැටලුවෙන් මුදවාගැනීම ය .

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles