මතක දිගහැරුම 35 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් පස්වන දිගහැරුම ,

පසුදින උදෑසන මා emirates කාර්යාලයට යන විට මගේ කණ්ඩායමේ සියලු දෙනාම එහි පැමිණ සිටියහ.විවිධ ජාතීන් වල බොහෝ පිරිසක් එමිරේට්ස් ආයතනය විසින් තෝරාගෙන තිබුණු අතර එම පිරිස අතර සෑම රටකින්ම වාගේ පැමිණි අය වූහ.ඉන්පසුව අපට එකිනෙකාව හඳුනා ගැනීම සඳහා ද අවස්ථාව හිමිවුණි.ඒ අතුරින් සමහර දෙනා ගුවන් සේවයට ආධුනිකයන් වූ අතර තවත් සමහර දෙනා වෙනත් ගුවන් සේවා සමාගම් වල සේවය කර emirates ආයතනයට බැඳුණු අය විය .තම නිවෙස්වලින් ඈත් වී පැමිණි අප සියලු දෙනාම එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගත්තෙමු.

කෙසේ හෝ අප කණ්ඩායමේ සිටි සියලු දෙනාම නවාතැන් ගෙන තිබුණේ Blue ලෙස නම් කළ ගොඩනැගිල්ලේය.ඇතැම් අය තනිවම ආහාර පිසගැනීමට නොදත් අය වූ අතර මහල් නිවාසයේ පහල තට්ටුවේ පිහිටි සුපිරි වෙළෙඳසැළෙන් අපට අවශ්‍ය බඩු මිලදී ගත් අප කිහිප දෙනෙකු එකතු වී ආහාර පිසූවෙමු.

එමිරේට්ස් ආයතනය මගින් අපට නිල ඇඳුම් ලබාදීම සඳහා අපගේ මිනුම් ලබා ගත් අතර පුහුණු කාලය තුළදී භාවිතා කිරීම සඳහා අපට නිල ඇඳුම් මසා දුන්හ.එපමණක් නොව අපට භාවිතා කිරීම සඳහා සපත්තු සහ බෑග් ද , අපට අවශ්‍ය හැඳුනුම්පත් ද ආයතනය මගින් සපයන ලදී . දිනපතා උදෑසන නිල ඇඳුමෙන් සැරසී සූදානම් වන අපව රැගෙන යාමට බස් රථයක් පැමිණෙන අතර පුහුණු වීම සඳහා අපට පුහුණු මධ්‍යස්ථානයක්ද විය.පාසල් යනවාක් මෙන් පුහුණු මධ්‍යස්ථානය කරා යන අප එහිදී ගුවන් සේවයට අදාල වූ බොහෝ දේ උගත්තෙමු. උදෑසන සිට එකී පුහුණුවීම් වල නිරතවන අපව නැවත නිවෙස් වලට රැගෙන එන්නේ සවස තුනත් හතරත් පසුවන විටය.

ඒ වනවිටත් මගේ නවාතැනෙහි නවාතැන් ගෙන සිටියේ මා පමණි.අනෙක් කාමර දෙකම ඒ වන විටත් හිස්ව පැවතුණි.පුහුණුවීම් වලට සහභාගි වී හවස් වරුවේ නවාතැනට එන විට දැනෙන පාළුව වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් ය.කුමන සැප පහසුකම් ලැබුණත් , අම්මා තාත්තා සහ නංගිව මතක් නොවුනු වෙලාවක් නැති තරම්ය.ඔවුන් සමග ගතකළ ජීවිතය,ඔවුන්ගේ ආදරය මට බොහෝ අවස්ථාවන්වල සිහිපත් වුණි.ඒ හැම මොහොතකම වාගේ දුරකථනයෙන් ඔවුන් ඇමැතීම මා පුරුද්දක් කර ගත්තෙමි.හිතට දැනෙන පාලුව මදක් හෝ තුරන් වී යන්නේ එසේ ඔවුන්ට දුරකථන ඇමතුමක් ගත් විට ය.

ගුවන් ගමන් වාර වල රාජකාරියේ යෙදෙන කාලයේ ලැබෙන වැටුප තරම් නොවූවද පුහුණුවීම් කාලය තුළ ද අපට ඉතා හොඳ වැටුපක් ලැබුණි.මා නිතර නිතර නිවසට දුරකථන ඇමතුම් ලබා ගැනීම නිසා ,පලවෙනි මාසයේ දුරකථන බිල සඳහා මගේ වැටුපෙන් හතරෙන් තුනක් වැය වුණි.අපගේ කටයුතු සොයා බැලීම සඳහා පත් කර තිබූ කළමනාකාර මණ්ඩලයෙන් මා අමතා දුරකථන බිල තරමක් පාලනය කර ගන්න යැයිද වරෙක පැවසීය.ඔවුන් පවසන්නේ වරදක් නොවන බව මටද හැඟුණ නිසා ඉන් පසුව නිතර නිතර දුරකතන ඇමතුම් ගැනීම මම සීමා කළෙමි.අවශ්‍යම කාරණාවකට හැර ඉන්පසුව මා නිවසට දුරකථන ඇමතුම් ගත්තේ නැත.දෙමව්පියන් සහ නංගී මතක් වෙන ඇතැම් වාර වලදී ඔවුන් ඇමතීම සඳහා පුරුද්දට මෙන් දුරකථනය අතට ගන්නා මා නැවතත් එය පසෙකින් තැබූ වාරයන් ද ඇත.

අපගේ පුහුණුවීම් කාලය අතිශය සුන්දර එකක් විය.එකල දියුණුවෙමින් සහ සංවර්ධනය වෙමින් පැවති රටක් ලෙස ඩුබායි යනු ඉතා හුදෙකලා රටක් විය.එක පවුලක් ලෙස සිටි අපගේ කණ්ඩායමට සෑම සවස් වරුවක්ම පාහේ ඉතා අලස ගතියක් දැනෙන සුළු ඒවා විය.එම නිසා සවස් කාලය කොහේ හෝ යාමට අප යොදා ගත්තෙමු.එමිරේට්ස් ආයතනයේ සේවකයන්ට එම රටේ ඉතා හොඳ පිළිගැනීමක් වූ අතර අපගේ හැඳුනුම්පත පෙන්වූ විට බොහෝ වෙළඳසැල්වලින් මෙන්ම අවන්හල් වලින්ද අපට ඉතා හොඳ වට්ටම් හිමිවිය.සෑම දිනකම වාගේ අප රාත්‍රී ආහාරය ගන්නේ පිටත අවන්හලකින් වන නිසා ආහාර පිසීම සඳහා කාලය වැය කිරීමට අපට අවශ්‍ය වූයේ නැත.රාත්‍රී 7ට පමණ ,ඇවිදීමට යාම සඳහා එකතු වන අප විවිධ පන්නයේ ආහාරවල රස බලමින් සතුටු වූයෙමු. කාන්තා පාර්ශවයට විශේෂ සැලකීම් ද ඇතැම් අවන්හල් වලින් ලැබුනු අතර තරු පහේ හෝටල් වලින් පවා එමිරේට්ස් ආයතනයේ සේවකයන් වන අපට ලැබෙන සැලකිලි අතිමහත් විය.ඒ වගේම ඩුබායි රාජ්‍යයේ බොහෝ බඩු භාණ්ඩ මිලෙන් අඩු නිසා හිතේ හැටියට සාප්පු සවාරි යාමට ද අප අමතක නොකළෙමු.ඇතැම් දිනවල ප්‍රධාන හෝටලවලට ගොස් එහි සංගීත කණ්ඩායම් සින්දු කියනවිට අපද ගී ගයමින් නටමින් සතුටු වූයෙමු .තරුණ වයසේ සිටම සැප පහසුකම් මධ්‍යයේ ලෝකය දකිමින් අත්දැකීම් ලබා ගත් මා, ජීවිතයේ සෑම මොහොතක්ම ඉතා හොඳින් විඳි බව කිව යුතුමය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles