මතක දිගහැරුම 26 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි හයවන දිගහැරුම ,

ඉක්මනින් සූදානම් වූ මා තාත්තා සේවය කරන සිනමා ශාලාව වෙත ගියෙමි.පුරුදු පරිදි සිනහමුසු මුහුණින් තාත්තා සමග කතා කර ,ඔහු අසනීප වූවාදැයි මා ඇසුවෙමි. කිසිවක් නොදත් තාත්තා තමන්ට බඩේ අජීරනයක් වැළඳුණු බවත් ,බෙහෙත් ගත් පසු එය සුව වූ බවත් පැවසීය.මම වෙනසක් නොපෙන්වා වෙන දා මෙන් තාත්තාගේ කාර්‍යාලයට වී ආගිය තොරතුරු බොහොමයක් ඔහු සමග කතා කළෙමි.

ඉන්පසුව මා , වෙනදාට වඩා කලින් ගෙදර යමු යැයි තාත්තාට යෝජනා කලෙමි. හදිසියේම මා පැමිණියේ ඒ සඳහා දැයි තාත්තා මගින් විමසීය.එයට පිළිතුරු වශයෙන්, සතියක් පමණ මා නිවසේ නොසිටි නිසා ,අද කලින් නිවසට ගොස් රාත්‍රී ආහාරය සඳහා පිටතට යමු යැයි මම තාත්තාට කීවෙමි. වාහනය මිලදී ගත් පසු මා නිතරම පාහේ විනෝද චාරිකා සඳහා වලට සහ විවිධ හෝටල් වලට පවුලේ අයව රැගෙන ගිය නිසා මගේ යෝජනාව පිළිබඳව තාත්තා සැකයක් සිතුවේ නැත.

ඇත්ත වශයෙන්ම ඒ මොහොතේ ද තාත්තා දෙස බලන විට මට දැනෙමින් තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ දුකකි.නමුත් කිසිලෙසකින්වත් එය තාත්තාට නොදැනෙන්නට මා වග බලා ගතිමි .

ගුවන් සේවිකාවක් ලෙස මා රාජකාරි කරන අතරතුර අප රටේ බොහෝ වැදගත් තනතුරු දරන දරණ පුද්ගලයින් මට නිරන්තරයෙන්ම හමුවිය.ඒ නිසා බඩවැල් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කරන හොඳම විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙකුගේ දුරකථන අංකය මා සතු විය.තාත්තා හමුවීමට මා සිනමාහලට ගිය අවස්ථාවේදී තාත්තා මදක් එහා මෙහා වනතුරු සිට ,මා එහි ඇති දුරකථනයෙන් අදාල වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.මා රාජකාරි සඳහා ගොස් සිටි අවස්ථාවේදී තාත්තා අසනීප වූ ආකාරයත් ,වෛද්‍ය පරීක්ෂණවලින් කියැවී ඇති දේවල් සියල්ලමත් මම එම වෛද්‍යවරයාට විස්තර කළෙමි.තාත්තාව කෙසේ හෝ සුව කරගැනීමට මට උවමනාව බවත්,ඇත්ත වශයෙන්ම මගේ තාත්තාට පිළිකාවක් වැළඳී ඇතිදැයි හරියාකාරව පරික්ෂා කර ගත යුතු බවත් මම තවදුරටත එම වෛද්‍යවරයාට කීවෙමි.එවිට එම වෛද්‍යවරයා ඔහුගේ සායනය පැවැත්වෙන ස්ථානය මට පවසා ඒ වෙත තාත්තාව රැගෙන එන ලෙස මට උපදෙස් දුන්නේ ය.

රාත්‍රී ආහාරය සඳහා පිටතට යමු යැයි පවසා තාත්තාව කලින් නිවසට කැටුව එන ගමනේදී ඉහත කී වෛද්‍යවරයා වෙතට ඔහුව රැගෙන යාම මගේ සැලසුම විය. ඒ අනුව මා තාත්තාට පැවසුවේ තාත්තා පෙරදිනක ප්‍රතිකාර ලබා ගත් වෛද්‍යවරයා , තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් නියම කර ඇති බවත්, ඒවා කර ගැනීම සඳහා අම්මා මා එනතුරු සිටි බවත්ය. නමුත් ඊට පෙරාතුව, මා හඳුනන ඉතා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගොස් , ඔහු සමග තාත්තාගේ රෝග තත්ත්වය පිළිබඳව කතාබහ කිරීම වඩා හොඳ යැයි කියා මා පැවසුවෙමි. එම වෛද්‍යවරයාගේ නම කී සැනින් තාත්තා ඔහුව හඳුනා ගත්තේ එම වෛද්‍යවරයා ඒ වන විට රටේ ප්‍රසිද්ධ සහ දක්ෂ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ බැවිනි.

කෙසේ හෝ වෛද්‍යවරයා මට පැවසූ වේලාවට තාත්තාව ඔහුගේ සායනය වෙත රැගෙන යාමට මට හැකි විය.මුලින්ම මා තාත්තාට මද වේලාවක් වාහනයේ රැඳී සිටින ලෙස පවසා , ඔහු පැමිණ සිටිනවාදැයි මා පරික්ෂා කරගෙන පැමිණෙන්නම් යැයි කියා , තනිවම වෛද්‍යවරයා මුණගැසීමට මා ගියෙමි. ඉන්පසුව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි හෙදියට මා පැවසුවේ මා පැමිණ සිටින බව වෛද්‍යවරයාට දැනුම් දෙන ලෙසත්, තාත්තා කැටුව ඒමට පෙර මට තනිවම වෛද්‍යවරයා සමඟ කතා කිරීමට අවශ්‍ය බවත්ය.වෛද්‍යවරයා හමු වූ මා , තාත්තගේ අසනීපය පිළිබඳව කිසිඳු දෙයක් ඔහු ඉදිරිපිට නොපවසන ලෙසට ඔහුගෙන් කාරුණික ඉල්ලීමක් කළෙමි. මගේ තාත්තා යනු අතිශය සංවේදී සහ ලෙඩ රෝග වලට ඉතාම බිය පුද්ගලයකු බව මා ඔහුට පැහැදිලි කළෙමි.අප පිලිබඳව සහ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු රැසක් තබාගෙන සිටින තාත්තා ,යම් හෙයකින් තමාට ඇති අසනීපය දැනගතහොත් ඒ පිළිබදව කල්පනා කිරීමෙන්ම ඔහුට යම් කරදරයක් විය හැකි බවත් මා වෛද්‍යවරයාට කීවෙමි.මා සිටින තත්ත්වය තේරුම්ගත් වෛද්‍යවරයා තාත්තා හට කිසිවක් නොපවසන බව මට පොරොන්දු විය.

වෛද්‍ය මධ්‍යස්ථානය තුළට මා තාත්තාව කැටුව ආවේ ඉන් පසුවය.වෛද්‍යවරයා විසින් ඒ මොහොතේ කළ හැකි ආකාරයේ සියලුම පරීක්ෂණ සිදු කරමින් තාත්තගේ තත්ත්වය ඉතා හොඳින් පරික්ෂා කළේය.සිදු කළ පරීක්ෂණ වල වාර්තා එන්නට මද වේලාවක් ගත වන නිසා, ඒවා එනතුරු තාත්තාට වාහනයට වී සිටින්නයි මා කීවෙමි.

වෛද්‍ය වාර්තා නිකුත් වූ පසුව ඒවා පිළිබඳව දැනගැනීමට මා නැවතත් ඔහු වෙත ගියෙමි.වාර්තා වලට අනුව තාත්තගෙ බඩවැලේ ඉතා විශාල ගෙඩියක් ඇති බවත් , එම ගෙඩිය සම්පූර්ණයෙන්ම බඩවැල අවහිර කරන තත්වයක ඇති බවත් ,ඔහු අනුමාන කරන ආකාරයට එය පිළිකාවක් විය හැකි යැයි වෛද්‍යවරයා පැවසුවේය.සීයට සීයක්ම මෙය පිළිකාවක් දැයි දැන ගැනීමට නම් එම ගෙඩිය කපා පරික්ශණ වලට යැවිය යුතු බව වැඩිදුරටත් කී වෛද්‍යවරයා, තාත්තාට බෙහෙත් වර්ග කිහිපයක් නියම කළේය.හැකිතාක් ඉක්මනින් මේ සඳහා සුදුසු හොඳම වෛද්‍යවරයෙක් ලවා තාත්තගේ බඩ වැලේ ඇති වී ඇති එම ගෙඩිය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතු යැයිද ඔහු පැවසුවේය.

ඒ වන විට ඉතාම තරුණ වියේ පසුවූ මට නොසිතූ මොහොතක විඳින්නට සිදුවූයේ පුදුමාකාර අත්දැකීමකට ය.විශේෂඥය වෛද්‍යවරයාගේ උපදෙස් වලට අනුව ,ඉන්පසුව මා ගත යුතු පියවර කුමක්දැයි මා බොහෝ සේ කල්පනා කළෙමි. තාත්තාට අසීමිතව ආදරය කළ දියණියක ලෙස ඔහුව කෙසේ හෝ සුව කර ගැනීම මගේ විශාලම අධිෂ්ඨානය විය. ඒ අනුව තාත්තා වෙනුවෙන් මට කළ හැකි යමක් වේද ,ඒ සියලු දේම නොපැකිලව කරනා බවට මා තීරණය කළෙමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles