කාන්තාවක් ඇගේ විලාසිතාවලින් මැනිය හැකිද?

පහුගිය දිනවල සයිබර් අවකාශය පුරා පැතිරුණු ඡායාරූපයක් තිබුණා.එහි හිටියේ ලංකාවේ නම ලෝකයට ගෙන ගිය කාන්තාවන් පිරිසක්.හැබැයි ඔවුන්ව වර්ණනා කරනවා හෝ අගයනවා වෙනුවට එයට ලැබුණු ප්‍රතිචාර අතිශය අප්‍රසන්නයි.

හේතුව, ඔවුන්ගේ ඇඳුම් විලාසිතා.

කවුද මේ ඡායාරූපයට පෙනී හිටිය කාන්තාවන් පිරිස, එක් අයෙක් ඔටාරා ගුණවර්ධන.ඔටාරා කියන්නේ ලංකාවේ සන්නාමයක් වූ ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් හදපු ගැහැනියක්.ඇය සතුන් සහ මිනිසුන් වෙනුවෙන් බොහෝ සමාජ සුබසාධන වල යෙදෙන්නියක්.අනිත් දෙදෙනා යොහානි ද සිල්වා සහ ජැකලින් ෆර්නෑන්ඩු.ඉතා ළාබාල වයසකදී කලාවෙන් ලෝකය ජය ගන්නට මේ යුවතියන් දෙදෙනා සමත් වෙනවා.බොහෝ දෙනෙක් ඇඳුමේ වරද දුටු ඒත් ඇගේ වටිනාකම හඳුනා නොගත් කෙනා වූයේ ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට එක්වූ ලාංකික සාගර විද්‍යාඥවරිය යි.ඇය ආශා ඩි වෝස්. 2018 වර්ෂයේදී BBC ආයතනය නම් කළ ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතර 23 වන ස්ථානයේ සිය නාමය තබා ගැනීමට ඇය සමත් වුණා.එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇගේ රුව තැන්පත් කර තිබෙනවා.එසේ තැන්පත් කර ඇති එකම ආසියානු කාන්තා රුව ඇයගෙයි.2020 වසරේ සමුද්‍ර වීරවරිය ලෙස නම් කළේ ද ආශා ඩි වෝස්වයි.ආශා ඩි වෝස් ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් ගැන පර්යේෂණ කරන ඓතිහාසික හා ප්‍රථන පර්යේෂණයේ ප්‍රධාන විද්‍යාඥවරිය ද වනවා.එපමණක් නෙවෙයි ඇය ඈ මෙන්ම සමුද්‍ර ජීව විද්‍යාව ප්‍රිය කරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ocanwell නම් සංව්ධානයක් ද පිහිටවා තිබෙනවා.ඇඳුම නිසා අපහාසයට ලක් වූ ඇය එවැනි කාන්තාවක්.

මෙවැනි විශිෂ්ට කාන්තාවකට ඇඳුම සම්බන්ධයෙන් අභූත සහ ඉතා අසංවර අපහාස සමාජ මාධ්‍ය තුළ පැතිර යාම නින්දා සහගතයි.Cyber bullying වලට ලක් වන්නට උස්පහත් භේදයක් නැති වුවත් කාන්තාවන්ට එල්ල කරන පොදු නින්දාවන් මෙවැනි කාන්තාවලට පවා එල්ලවීමෙන් ප්‍රකට වෙන්නේ අපේ රටේ සාක්ෂරතාවය මිස අන් කිසිවක් නෙවෙයි.සරලවම කිවහොත් ඈ වැනි චරිතයක් දරා ගැනීමටම අපහසු වීමම මේ චෝදනා වලට හේතුව විය හැකියි.

ලංකාවේ බොහෝ අය චරිතය මනින්නේ ඇඳුම සහ විලාසිතාවෙන්.

කොණ්ඩේ කලර් කරන්න ආසයි.ඒත් මිනිස්සු මොනවා කියයිද? මම හරි ආසයි ටැටූ එකකට ඒත් මට හොඳ ජොබ් එකක් නැති වෙයි, මම කොටට අඳින්න ආසයි ඒත් අම්මා කෙනෙක් කොටට අඳින්න හොඳ නෑ කියලා මගේ ගෙදර අය කියන්නේ..” තරුණ මව්වරු වගේම නව යෞවනියන් අපේ ස්මාර්ට්ලේඩි සමූහය සමඟ බෙදා ගන්නා ගැටළු වල මෙවැනි කතා තිබෙනවා.

බඩ පෙනීම,පපුව නිරාවරණය වීම,කොට ඇඳුම් අසංවර ගැහැනුන්ට උරුම බව කියන ලෝකය විලාසිතා කිරීම ඉතා අපහසුයි.නමුත් උවැසියක් සේ ඇඳ පැළඳ ගත් ගැහැනියක තව කෙනෙකු රිදවන්න,අපහාස කරන්න,කේලම් කියමින් රිදවන්නට සහ චරිත ඝාතනය කරන්නට ඉඩක් තිබිය හැකි බව අපට අමතකව යන කාරණාවක්.

මිනිස්සු හැටියට අපට විවිධ තෝරා ගැනීම් තිබෙනවා.විවිධ කරාබු වර්ග පැළඳීම,ටැටූ ගැසීම,කොට හෝ සිරුර නිරාවරණය වන ඇඳුම්,අමුතු හිසකෙස් විලාසිතා පුද්ගල චරිත නිරාවණය කරන්නක් නෙවෙයි.විවාහය දික්කසාදයකින් කෙළවර වීම,සමකාමී චරිතයක් වීමට පමණක් නෙවෙයි පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කරන කෙනෙක් වීමට පවා ගැහැනියකට තමන්ගේම හේතු තිබෙන්න පුලුවන්.අතිශය පෞද්ගලික හේතු චරිතය තීරණය කරන හේතු සාධක කර නොගන්නට අප ප්‍රවේසම් විය යුතුමයි.

වඩා හොඳ මිනිසුන් හෝ වඩා අයහපත් මිනිසුන් යැයි පුද්ගල දෙකොට්ඨාසයක් නෑ.මිනිසුන් අළු පැහැතියි.සුදු හෝ කළු මිනිස්සු ලෝකයේ වාසය නොකරන තරම්.එනිසාම අපි පුද්ගල හැසිරීම් වගේම ඇඳුම් සහ විලාසිතාවලින් මිනිසුන් මැනීම අපට තරම් වන්නේ නැහැ.

ලෝකය ඉතා විශාලයි.එහි ඉමක් කොනක් නැතිව ඉගිල යමින් සිහින දිනන ලෝකයට වඩාත් යහපත සහ අලුත් දේ තිළිණ කරන දරුවන් නිර්මාණය කිරීම අම්මලා ලෙස අපේ වගකීමක් බව අමතක නොකළ යුතු දෙයක්.කාගේ හෝ ඇදපලුදු දකින,සමාජ මාධ්‍ය තුළට වී පුද්ගල අපහාස කරන දරුවන් නිර්මාණය වන්නට අපේම හැසිරීම් හේතු නොවී තියේවිද? අන්න ඒ නිසා අපහාසය සහ උපහාසය වෙනුවට මිනිසුන්ව අගය කිරීම අප අපෙන්ම ඇරඹිය යුතුයි.

ඉතින් අපි ආශා ඩි වෝස් වැනි විශිෂ්ට ගැහැනු ගැන කතා අපේ දරුවන්ට කියා දීම ආරම්භ කළ යුතුයි.වීරයන් වන්නට ලෝකයට සේවය කරන්නට අවශ්‍ය බව දරුවන් ඒ හරහා ඉගෙන ගනීවි.පරිසරයට ආදරය කරන්නට ඉගෙන ගනීවි.මිථ්‍යාව නොව විද්‍යාව විශ්වාස කරන්නට ඔවුන් ඉගෙන ගනීවි.

ලෝකය වඩා යහපත් තැනක් කරන්නට විවේචන සහ අපහාස වලට වඩා අවශ්‍ය වන්නේ ඉගෙන ගැනීම බව දරුවන්ට කියා දෙන්න.

Related Articles

Don't Miss


Latest Articles