මතක දිගහැරුම 28 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි අටවන දිගහැරුම ,

වෛද්‍ය ශිවම් නියම කළ දිනට තාත්තාව රෝහලට ඇතුළත් කිරීම සඳහා මම කටයුතු සූදානම් කළෙමි.පෙර කී පරිදි තාත්තා යන ඕනෑම තැනකදී එහි ඇති වැසිකිලිය ඉතා පිරිසිදු එකක් දැයි සලකා බලයි.රෝහලට යන අතරතුරදී තාත්තා මට පැවසුවේ ඔහු වෙනුවෙන් විශාල වියදමක් නොදරන ලෙසත් , රෝහල් කාමරයේ ඇති වැසිකිළිය පිරිසිදු එකක් නම් එයම ඔහුට ප්‍රමාණවත් වන බවයි. ඒ වන විටත් මා තාත්තා වෙනුවෙන් ,මගේ ඥාති සහෝදරිය ලවා එම රෝහලේ ඇති විශාලම සහ සුව පහසුම කාමරය වෙන් කරවාගෙන තිබුණි.එම නිසා මා තාත්තාට පැවසුවේ හෝටලයක මෙන් සැප පහසුකම් ඇතිව ඔහුට සිටිය හැකි බවයි.කෙසේ වුවත් සැත්කමකට සූදානම් වී සිටි ඔහුගේ හිතේ ඒ මොහොතේ යම් බියක් තිබූ බව මට දැනුණි .

තාත්තා වෙනුවෙන් වෙන්කරවූ කාමරය මා බලාපොරොත්තු වූ පරිදිම ඉතා සුවපහසු එකක් විය.සියලු පහසුකම් සහිත කාමරයේ ඉතා හොද තත්ත්වයේ නාන කාමරයක් ද වීම තාත්තා ගේ සතුටට හේතු විය .තාත්තා රෝහල් ගත කර ඇති බව ඔහු සේවය කළ සිනමා ශාලාවේ සේවකයන් වෙන්ව හිත මිතුරන් බොහෝ දෙනෙක් ද ඒ වන විට දැන සිටියහ. තාත්තාගේ ඇත්තම තත්වය ඔහුට නොපැවසිය යුතු යැයි ඒ හැම දෙනාටම සිහිපත් කිරීමට අම්මා වගබලා ගත්තාය.තාත්තා බැලීම සඳහා පැමිණෙන සියලු දෙනාටම ඔහු ඉදිරිපිට ඔහුගේ අසනීපය පිළිබඳව කතා නොකරන්න යැයි මමද කීවෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් තාත්තාට ඇත්තේ පිළිකාවක් බව ඔහුගෙන් සැඟවීමට මම ඉමහත් වෙහෙසක් දැරුවෙමි.මගෙ නංගි රෝහල් කාමරයේ දොරකඩ සිට ,තාත්තා බැලීමට පැමිණෙන සියලු දෙනාටම ඔහුට රෝගය පිළිබඳව නොපවසන්නැයි පැවසුවාය. සැත්කම සඳහා තාත්තාව සූදානම් කිරීමට ,සැත්කමට දින දෙකකට පෙර ඔහුව රෝහලට ඇතුළත් කිරීම නිසා එම දින දෙක තුළ තාත්තගේ බොහෝ හිත මිතුරන් ඔහු බැලීම සඳහා පැමිණියහ.එසේ පැමිණෙන හැම දෙනාට ම පාහේ තාත්තා පැවසුවේ තමන්ගේ උදරයේ ගෙඩියක් ඇති බවත් ,එය කපා ඉවත් කිරීම සඳහා තමන් රෝහල්ගත වූ බවත්ය .

තාත්තාගේ සැත්කමට සූදානම් වූ වෛද්‍ය ශිවම් එයට පෙර මා ඇමතුවේය. සැත්කම සිදු කිරීම සඳහා තාත්තගේ බඩට අත තැබීමට සුදුසු නැකතක් බලවා දෙන්න යැයි ඔහු මට පැවසීය.එම නැකත බලවන විට ඊළඟට උදාවන හොඳම සහ පලවන නැකත් වේලාව ලබාගන්නැයි ඔහු මට උපදෙස් දුන්නේ ය. මා එම කාරණාව මගේ අම්මාට පැවසූ විට ඇය හැකි ඉක්මනින් අඳුරන අයෙක්ව, අප සාමාන්‍යයෙන් නැකත් බලනා නැකත් කරුවෙක් වෙත පිටත් කර හැරියේ නැකතක් බැලීම සඳහාය .ඒ අනුව අපට නැකත ලැබුණේ පෝය දිනයකය.නමුත් පෝය දිනය මෙවැනි කටයුතු සඳහා සුභ නොවන බවට බොහෝ දෙනා මත පළ කළහ. තරමක් චකිතයට පත්වූ මා ඒ පිළිබඳව වෛද්‍ය ශිවම් හට පැවසුවෙමි. බෞද්ධ ආගමිකයන්ට අනුව පෝය දිනයේ යනු ඉතා හොඳ දිනයක් බැවින් එහි කිසිදු ගැටලුවක් නැතැයි වෛද්‍ය ශිවම් එකවරම කියා සිටියේය.ඒ මොහොතේ එම වචන මට බොහෝ අස්වැසිල්ලක් විය.

තාත්තගේ සැත්කම සිදුකරන අවස්ථාවේ රෝහලේ නොසිට , මට සිදු කිරීමට වෙනත් කාර්යයක් ඇතැයි වෛද්‍ය ශිවම් පැවසීය.පිටකොටුවෙ ඇති කෝවිලක් පිළිබඳව මට තොරතුරු පැවසූ වෛද්‍ය ශිවම් , ඔහු තාත්තාගේ සැත්කම සිදුකරන අවස්ථාවේදී මට එම කෝවිලට ගොස් තාත්තා වෙනුවෙන් නවග්‍රහ පූජාවක් සිදුකරන්න යැයි උපදෙස් දුන්නේ ය. කෝවිලේ සිටින පූජකවරයාට මා පිලිබඳව විස්තර පවසන බවත් , මට එහි ගොස් පූජාවට අවශ්‍ය දෑ ඔහුගෙන් අසා ගෙන ඒවා සූදානම් කර ගන්නා ලෙසත් වෛද්‍ය ශිවම් වැඩිදුරටත් උපදෙස් දුන්නේය. මා සියල්ල සූදානම් කරගත් පසු ඉතිරි කටයුතු සියල්ල පූජකවරයා ඉටු කර දේ යැයි ඔහු පැවසූ නිසා මගේ ඊළඟ රාජකාරිය වූයේ ඒ සඳහා සූදානම් වීමයි.

වෛද්‍ය ශිවම් ගේ උපදෙස් වලට අනුව මම එම කෝවිලට ගොස් අදාල පූජකවරයා මුණ ගැසුනෙමි.තාත්තා වෙනුවෙන් සිදු කිරීමට නියමිත නවග්‍රහ පූජාවට අවශ්‍ය සියලු දෑ පූජකවරයා ගෙන් අසා ගත් මා ඒවා සූදානම් කර ගැනීමට සැරසුනෙමි.පූජාවට අවශ්‍ය දෑ සමග කෝවිලට පැමිණීමට පූජකවරයා මා හට වේලාවක් ලබා දුන්නේය.

ඒ අතර මගේ අම්මා ඇතුළු නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනා තාත්තා වෙනුවෙන් බෝධිපූජා පැවැත්වූහ.ඒ සියලු දෙනා කතරගම, රුවන්වැලිසෑය සහ කොච්චිකඩේ පල්ලිය ඇතුළු බොහෝ ආගමික ස්ථාන වලට ගොස් , තාත්තා සුව වීම පිණිස බොහෝ ආගමික වතාවත් වල නිරත වී බාර හාර වූහ.අප ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ සිට තාත්තාව හඳුනන බොහෝ දෙනා එසේ තාත්තාට සෙත් පැතූහ.ඒ සෑම සෙත් පැතීමක්ම අප සිත් වලට පවා මහත් වූ සහනයක් විය. මේ සියලු සිදුවීම් අවසානයේ දී කෙසේ හෝ මගේ තාත්තාට සැත්කම සිදු කරන දිනය උදාවිය. එය අප පවුලේ සියලු දෙනාගේම ජීවිත වල තීරණාත්මක දිනයක් සහ කිසිදා අමතක නොවන දිනයක් බව මට කිව හැකිය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles