අවුරුදු අටක් වයසැති ලංකාවේ ළාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනිය – මෙනුගි මනුල්‍යා.

මෙනුගි මනුල්යා, අන්තර්ජාලයේ ගැවසෙන ඔබට ඒ නම නුහුරු නමක් නෙවෙයි.පාටකූරු සහ දිය සායම් වලින් ඇගේ වයසේ දරුවන් චිත්‍ර අඳිද්දී ඇය අත දැවටෙන්නේ මේකප් සෙට් එකක්.අදහා ගත නොහැකි තරමේ සුන්දර හැඩ ගැන්වීම් කරන පුංචි මෙනුගි අවුරුදු අටක දැරියක්.

මෙනුගිගේ අම්මාත් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක්, ඈ ඉන්දුමාලා රාජපක්ෂ.දැනට වසර දෙකකට පමණ ඉහත කාලයක ඉඳලා පුංචි මෙනුගි මේ හැකියාව ප්‍රදර්ශනය කළ බව තමයි කියැවෙන්නේ.දියණියගේ ඒ හැකියාව දුටු මෙනුගිගේ තාත්තා තරමක මිල අධික මේකප් සෙට් එකක් දියණියට තෑගි කර තිබෙනවා.මෙනුගිගේ හැකියාව ඉහළ යන්න හේතුව ඒ තෑග්ග.මේ වෙද්දී ඇයට වසර ගණනාවක් පළපුරුදු ශිල්පීන් සමඟ වුණත් තරග කරන හැකියාවක් ලැබී අවසන්.

මහනුවර කලම්බු ඉන්ටර්නැෂනල් කොලේජ් එකේ ඉගෙන ගන්න මෙනුගිට නර්තනයටත් හොඳ හැකියාවක් තිබෙනවා.ඉගෙනීමටත් ඈ හපනියක්.පුංචි දියණියක් .එකිනෙකට වෙනස් අංශ තුනක් සමබරව ගෙන යන අතර ඒ සියල්ලටම දක්ෂතා පෙන්වන්න ඇය සමත්.අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණත් මෙනුගි අම්මාගෙන් මේ කිසිවක් ඉගෙන ගෙන නැහැ.ඇය ඒ සියල්ල අන්තර්ජාලය හරහා උකහා ගත් දැනුම බවයි ඉන්දුමාලා මහත්මිය පවසන්නේ.

මෙනුගිට Menugi Manulya’s makeup නමින් රූපලාවණ්‍ය සම්බන්ධ යූ ටියුබ් චැනලයක් තිබෙන අතර එහි 100K subscribes ප්‍රමාණය සම්පූර්ණ කර ගන්නට ඇය පසුගියදා සමත් වුණා.ලංකාවේ ළාබලතම රූපලාවණ්‍ය ශිල්පිනිය හැටියට මෙනුගි දැන් නමක් දිනාගෙන අවසන්.

දරුවන් සංගීතයට නැටුමට හෝ ක්‍රීඩාවට අප්‍රමාණ ඇල්මක් පෙන්වන විට ඔවුන්ට ඒ පුහුණුවීම් සඳහා යාම තහනම් කරන දෙමාපියන් අපේ රටේ අල්ප නැහැ.සුලභයි.තමන්ට මෝටර් රථ කාර්මික ශිල්පියෙකු,බේකරිකරුවෙකු වැනි රැකියාවක් කරන්නට උවමනා බව පාසල් රචනාවල ලියන දරුවන්ට ටොකු ඇන ඒ සිහිනය මකන්නට අණ කර වෛද්‍ය ඉංජිනේරු වැනි සාම්ප්‍රදායික සිහින හදවතට කාවද්දන දෙමාපියන් ඕනෑ තරම් ඉන්නවා.මෙනුගිගේ අම්මා ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක්.ඇගේ මාවතේ යන්නට ඉඩ නොදී මෙනුගිට හොඳින් ඉගෙන ගන්නැයි වෛද්‍යවරියක වන්නැයි බල කරන්නට ඉන්දුමාලාට නොසිතීම ම මේ දැරිය ලැබූ ලොකුම ජයග්‍රහණය බව නොකියාම බැහැ.ඇය දියණිය සතු උපන් හැකියාව බලහත්කාරයෙන් යටපත් නොකර එයට ඉස්මතු වන්නට ඉඩ දෙන්නේ සාම්ප්‍රදායික සිහින හඹා යන්නියක වන්නට මෙනුගිට කිසිම බලපෑමක් නොකරන නිසා.මෙනුගි මුලින්ම රූපලාවණ්‍ය උපකරණ වලට අත තැබු දවසේ හොඳ ගුටියක් සමඟ පොතපත බලන්නට උපදෙස් ලැබුණානම් “ලංකාවේ ළාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනිය” බිහි නොවන්නට ඉඩ තිබුණා.

අන්තර්ජාල ඇබ්බැහිය දරුවන්ගේ විනාශයට හේතු වන බව කියැවෙන ලෝකයක මෙනුගි තමන්ගේ සිහිනයට ඇවිද යන මාවත වඩා ආලෝකමත් කරගන්නට අන්තර්ජාලයේ උදව් ලබා ගන්නවා. Online අධ්‍යාපනය නිසා දරුවන් අන්තර්ජාලයට වැරදි ලෙස ඇබ්බැහි වූ බව කියන ඔබට එය නව සිහින හඹා යාමට යොදා ගත හැකි බව යළි යළිත් සිහි කරන්නියක තමයි පුංචි මෙනුගි.

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවලින් බැහැරව දරුවන්ට වෘත්තිය අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයක් ගැන අපේ රටේ අධ්‍යාපනවේදීන් වෙහෙසෙන කාලයක් මේ.එවැනි කාලයක තමන්ගේ සිහින කරා යන්නට ඉඩ දුන් විට දරුවන් වඩා සුන්දර දෑ කරන බව සිහි කරන්නිය පුංචි මෙනුගි.ඇය ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියන් තම දෑතින් හැඩ ගන්වා තිබෙනවා.විවිධ ක්‍රමයට මනාලියන් හැඩ ගන්වන්නට සමත්කම් පළ කර තිබෙනවා.

මේ දෙදහස් විසි එකේ අවසන් දෙමාසයයි.තව වසර පහකින් අපිට මෙනුගි ගැන බොහෝ විශිෂ්ට කතා ලියන්නට හැකි විය යුතුමයි.

හැම දියණියකටම ඇගේ සිහින කරා ඇවිද යන්නට ඉඩ දෙන දෙමාපියන් ලැබේවා!!

Related Articles

Don't Miss


Latest Articles