ගෙදර වැඩ ඉතා පහසු කරන මේ ක්‍රමය අත්හදා බලන්න ඔබටත් පුළුවන්

කාර්යබහුල රැකියාවන් කරන කාන්තාවන් බොහෝවිට තමන්ගෙ වැඩ පහසු කරගැනීම සඳහා විවිධ වූ උපක්‍රමයන් භාවිතා කරනවා. Bulk cooking කියන්නෙත් එවැනි වූ උපක්‍රමයක්.විදෙස් රටවල බොහෝ කාන්තාවන් අතර මෙම ක්‍රමය ඉතා ජනප්‍රියයි. නමුත් අප රටේ බොහෝ දෙනාට මේ bulk cooking කියන දේ ගැන හරි අවබෝධයක් සහ පැහැදීමක් නැහැ. ඔබේ වැඩ බොහෝ දුරට පහසු කරන සහ ඔබේ කාලය ඉතිරි කරන bulk cooking ගැනයි මේ ලිපිය…..


මොකක්ද මේ bulk cooking කියන්නේ? 


Bulk cooking ,එහෙමත් නැත්නම් තොග වශයෙන් ආහාර පිසීම යනු අන්තයේ එක් දිනකදී හෝ සතියේ දිනකදි ,ඉදිරි සතිය පුරාවටම ප්‍රයෝජනයට ගැනීම සඳහා  ආහාර පිස ශීතකරණයේ ගබඩා කර තැබීමයි . මෙසේ ආහාර පිස ගබඩාකර තැබීම නිසා එම සතියේ දී ඔබට කාලය වැය වන්නේ අවශ්‍ය වේලාවේදී අදාල ආහාර ප්‍රමාණය රත් කර ගැනීමට වැයවන කාලය පමණයි.

Bulk cooking මගින් ලැබෙන  ප්‍රයෝජන මොනවද ? 

මුදල් ඉතිරි වේ


දිනපතා ආහාර පිසීම සඳහා ඔබට වරින්වර එළවලු මිල දී ගන්නට සිදු වුණත්, ඔබ bulk cooking කරනවා නම් මුළු සතිය සඳහාම අවශ්‍ය එළවළු එකවර තොග වශයෙන් මිලදී ගැනීම ඔබ අතින් සිදු වේ. සුපිරි වෙළඳසැල්වල බොහෝවිට වට්ටම් සහිතව එළවළු මිලදී ගැනීම කළ හැකි නිසා මෙසේ තොග වශයෙන් ඔබ එළවළු මිල දී ගන්නා විට ඔබේ මුදල් ඉතිරි කරගත හැකි වේ 

කාලය ඉතිරි වේ 


සතියේ එක් දවසකදී පැය දෙක තුනක් වැයකර ඔබ ආහාර පිසීම සිදු කරන නිසා දිනපතාම ආහාර පිසීමට ගතවන කාලය ඔබට සම්පූර්ණයෙන්ම ඉතිරි වනවා වගේම නිතර නිතර ඔබට නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීමට වැය වන කාලය ද ඉතිරි කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා .

සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනයට ඉඩ ලැබෙනවා 


කාර්ය බහුල ජීවන රටාවකට හුරු වෙලා ඉන්න ඔබට සමහර දිනයන් වලදී ව්‍යංජන කිහිපයක් සමග බත් පිසීමට කාලයක් නැති වෙන්නට පුළුවන් . එවිට අවන්හලකින් ආහාර ඇනවුම් කිරීමට හෝ ක්ෂණික ආහාර වේලක රස විඳීමට ඔබට සිදු වෙනවා . නමුත් ඔබ bulk cooking කරන කෙනෙක් නම් කාර්‍යබහුල දිනක වුවත් ඔබ සතුව දැනටමත් ඔබ විසින්ම පිසූ පෝශ්‍යදායි ආහාර තිබෙනවා.

එළවළු අපතේ යෑම වැලැක්වීම 


සමහර කාර්යබහුල දිනයන් වලදී ඔබට ආහාර පිසීම සඳහා කාලයක් වෙන්කර ගැනීමට නොහැකි වෙන්නට පුළුවන් . එම නිසා ඔබ මිලදී ගෙන ශීතකරණයේ ගබඩා කර තබන එළවළු ඇතැම් විට අපතේ යාමක් සිදු වෙනවා. bulk cooking වලදී ඔබ එළවළු වර්ග සියල්ලම පිසින නිසා එවැනි අපතේ යාමක් සිදු වන්නේ නැහැ .එයින් සිදුවන්නේ ඔබ අතින් සිදුවිය හැකි නාස්තිය අවම වීමයි 

කොහොමද bulk cooking කරන්නේ ? 

ඔබේ සතිය සැලසුම් කරන්න 


ඉදිරි සතිය ඇතුලත ඔබේ සැලසුම් මොනවද ?  රාත්‍රී ආහාර වේලක් සඳහා පිටතට යෑමට ඔබ අදහස් කරගෙන සිටිනවා ද ? නැතිනම් උපන්දින සාදයක් හෝ මිතුරු හමුවක් තිබෙනවාද ? උදෑසන ,දහවල් සහ රාත්‍රී ආහාර වේල් සඳහා කොපමණ ආහාර ප්‍රමාණයක් ඔබට අවශ්‍ය ද ? මේ සියලු කරුණු ගැන ඔබේ සතිය සැලසුම් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි. 

ඔබේ ආහාර වට්ටෝරු ගැන සැලසුම් කරන්න 


ඔබ ඔබේ සතිය සැලසුම් කිරීමෙන් පසුව අවධානය දිය යුත්තේ ඔබේ ආහාර වට්ටෝරු වලටයි . විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ඇතුළත් කිරීමට ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ .එළවළු සහ පලතුරු ,ධාන්‍ය වර්ග , මස් සහ මාළු වර්ග ,කිරි නිෂ්පාදන යන සියල්ල මෙයට ඇතුළත් විය යුතුයි . රාත්‍රී ආහාර වේල් සඳහා සුප් වර්ග , විශේෂ බත් සහ නූඩ්ල්ස් වර්ග , සැන්විච් ආදිය ඇතුළත් කිරීමට ඔබට හැකිය. ඒ වගේම එක් එක් දින වලට විවිධ වූ ආහාර වර්ග මාරු කරමින් ගැලපෙන ලෙස ආහාර වට්ටෝරු සකස් කිරීමට ඔබ නිර්මාණශීලී විය යුතුය .

බඩු ලැයිස්තුවක් සකස් කිරීම 


ඔබ සකස්කළ ආහාර වට්ටෝරු වලට අනුව , නිවසේ දැනට ඔබ සතුව නැති අමුද්‍රව්‍ය, එනම් එළවළු හා පලතුරු වර්ගවල සිට සියල්ල ඔබ ඔබේ බඩු ලයිස්තුවට ඇතුළත් කළ යුතුය. ඒ වගේම ඒවා කුමන ප්‍රමාණවලින් අවශ්‍ය වේ දැයි සටහන් කර ගැනීමත් ඔබට වඩාත් පහසු වනු ඇත 

පෙර සූදානම 


ඉදිරි සතිය සදහා ආහාර පිසීමට ඔබ සූදානම් විය යුත්තේ සති අන්තයේ දිනයක හෝ ඔබට පැය කිහිපයක් වැය කළ හැකි විවේකී දිනයකය. ඔබට අවශ්‍ය සියලු සියලු අමුද්‍රව්‍ය සහ උපකරණ සූදානම් කරගෙන ආහාර වට්ටෝරු වලට අනුව එක් එක් වෑංජනය පිළියෙල කළ යුතුය.ඒ වගේම ව්‍යාංජන සඳහා අවශ්‍ය පොදු අමුද්‍රව්‍ය ,එනම් ළූනු , සුදු ළුනු , අමුමිරිස් සහ කරපිංචා වැනි අමුද්‍රව්‍ය එකවර කපා සූදානම් කර ගැනීමෙන්ද ඔබට කාලය ඉතිරි කර ගත හැකිය .

ආහාර බෙදීම සහ ගබඩා කිරීම


ආහාර තොග වශයෙන් පිසීම පමණක් නොව ඒවා නිසි ලෙස බෙදා වෙන් කිරීම සහ ගබඩා කිරීමද වැදගත්. ආහාර ගබඩා කිරීම සඳහා ඔබ තෝරා ගත යුත්තේ වාතය ඇතුළු නොවන ලෙස පියනකින් වැසිය හැකි  වීදුරු භාජනයි. එම වීදුරු භාජන හොඳින් පිරිසිදු කර පිස දා සූදානම් කර තබා ගත යුතුයි.
ඔබ ආහාර පිසූ පසු ඒවා හොඳින් සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසුව එක වේලකට අවශ්‍ය වේ යැයි සිතෙන ප්‍රමාණය භාජන වලට අසුරන්න .එසේ ඇසිරීමෙන් එකම භාජනයෙන් වරින් වර ව්‍යාංජන ගැනීමට ඔබට සිදු නොවේ. ඉන්පසුව ඔබ කැමතිනම් ව්‍යංජනයේ නම සඳහන් කළ ලේබල් භාජනයේ ඇලවීමට ද ඔබට පුළුවන්
වෑංජන ඇසිරූ භාජන ශීතකරණයේ ගබඩා කිරීමේදී  ඒවා එළියට එළියට ගැනීමට පහසු වන ආකාරයට පිලිවලින් අසුරන්න 

Bulk cooking කිරීම මුල් දිනවලදී ඔබට වෙහෙසකර එකක් වෙන්නට පුළුවන් . ඒ වගේම කලින් දිනක පිසූ ආහාර රත් කර ආහාරයට ගැනීමත් ඔබට තරමක් අපහසු වෙන්නට පුළුවන් . නමුත් ටික දිනක් ගත වන විට ඔබේ කාලය මෙන්ම ශ්‍රමය බොහෝ සේ ඉතිරි වන බව ඔබට දැනේවි . එවිට ඔබට දැනුන වෙහෙසකර බවත් අපහසුවත් ගිලිහී යනු නොඅනුමානය.

Related Articles

Don't Miss


Latest Articles