හතලිස් හතරවන දිගහැරුම ,

මගේ නවාතැනෙහි තිබූ අනෙක් කාමර දෙකෙහි නවාතැන් ගැනීමට පැමිණියේ ඉන්දියන් ජාතික තරුණියන් දෙදෙනෙක් ය.” ආර්ති ” නැමැති තරුණිය පැමිණියේ දිල්ලි වල සිටය.ඇය ඉතාම සාමාන්‍ය ඉන්දියානු තරුණියක වූවාය.අංජලී නැමැති තරුණිය පැමිණියේ බොම්බේ වල සිට වන අතර ඇය නිරූපිකාවක් මෙන් සුරූපී ,බටහිර පන්නයේ තරුණියක් වූවාය.ඇය ජීවිතය ඉතා සතුටින් ගත කරන, සෑම දෙයක් දෙසම සැහැල්ලුවෙන් බලන විනෝදකාමී තරුණියක් වූවාය. ඔවුන් දෙදෙනා මගේ නවාතැනට පැමිණි දින සිට සෑම දිනක්ම අප ඉතාම විනෝදයෙන් ගත කළෙමු.අප තිදෙනාම එක්ව බොහෝ වෙලාවට හින්දි චිත්‍රපට නැරඹූ අතර ඔවුන් දෙදෙනා එක්ව මට හින්දි ගීත සහ හින්දි වචන උච්චාරණය කරන ආකාරයද කියා දුන්හ.ඇතැම් දිනවල ආර්තීගෙ මව්පියන් ඇය බැලීම සඳහා අප නවාතැනට පැමිණෙන අතර විටෙක ඔවුන් ද ආර්තීගෙ කාමරයේ නතර වී සිටියි.ඔවුන් මට ඉතා ආදරය කළ අතර අප සියලු දෙනාම ජීවත් වූයේ එකම පවුලක අය මෙනි.ආර්තීගේ සහෝදරයා සහ නෑදෑයන් ද විටෙක ඇයව බැලීම සඳහා අපගේ නවාතැනට පැමිණියහ.ඩුබායිහි ජීවත්වූ ආර්තීගේ නෑදෑයන්ගේ ඇතැම් සාදවලට සහ විවිධ උත්සව අවස්ථාවලට අප ද සහභාගි වූ අතර අප සියලු දෙනාම එකම පවුලක අය යන හැඟීම තව තවත් අප හට දැනෙන්නට විය.ආර්තිගේ අම්මා පැමිණෙන දිනවලට ඇය අපට විවිධ වර්ගයේ ඉන්දියානු කෑම වර්ග සකස් කර දෙන අතර අදටත් මා පරිප්පු සකස් කරන්නේ ආර්තීගේ අම්මා මට කියා දුන් ආකාරයට ය.ඔවුන් දෙදෙනා පැමිණි පසු ජීවිතය තවත් විනෝදකාමී ලෙස ගත කළ හැකි වූවා මෙන්ම ඔවුන්ගේ කණ්ඩායමේ සිටි පාකිස්තානු මිතුරියන් පවා විනෝද වීම සඳහා පැමිණියේ අපගේ නවාතැනට ය.ඇතැම් දිනවලට ගීත වලට සවන් දෙමින් ඒවාට අනුව නර්තනයේ යෙදෙන අප ඉතා සතුටින් කාලය ගත කළෙමු.

මා දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන විට මගේ දුරකථනයෙ පිළිතුරු දෙන යන්ත්‍රය ක්‍රියාත්මක කර තබා යාම මගේ පුරුද්දක් ව තිබුණි.වරක් එවැනි දීර්ඝ ගුවන් ගමනක යෙදෙමින් රාජකාරි අවසන් කර මා නැවත පැමිණි විට එශාන්ත නැමැති මගේ මිතුරා ” සඳ ඔයා ඉන්නවාද ? ” යනුවෙන් පණිවිඩ කිහිපයක් ම තබා තිබුණි.ඔහු කීප වරක්ම මා ඇමතීමට හේතුව කුමක්දැයි දැනගැනීමට කුතුහලයෙන් යුතුව මා ඔහු ඇමතුවෙමි.මා දීර්ඝ ගුවන් ගමනක යෙදී පැමිණියේ ඒ මොහොතේ බව පවසමින්, මා හට ඇමතුවේ ඇයි දැයි මම එශාන්ත ගෙන් විමසුවෙමි.ඒ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායි රාජ්‍යයට පැමිණ සිටින බවත් , ඔවුන් හට මා මුණ ගැස්වීමට කැමති බවත් ඔහු පැවසීය.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව එතරම් උනන්දුවක් නොමැති, ක්‍රිකට් තරග නරඹන්නේ වත් නොමැති මා, ඔවුන්ට මුණගස්වන්නේ ඇයි දැයි මම එවිට ඔහුගෙන් විමසුවෙමි.ක්‍රිකට් කණ්ඩායමේ සිටින ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ පසුගිය දින කිහිපයේ දී ම අප නිතරම යන එන Novotel Hotel වෙත ආහාර ගැනීම සඳහා ගිය බවත් ,එහිදී මා නොදුටු නිසා ඒ පිළිබඳව සොයා බැලූ බවත් ඔහු පැවසීය.ඒ වගේම ක්‍රිකට් කණ්ඩායමේ සිටින ඔහුගේ හොඳම මිතුරෙකුව මා හට හඳුන්වා දීමට කැමැත්තෙන් සිටින බවත් එශාන්ත වැඩිදුරටත් පැවසීය.

Novotel Hotel නැමැති හෝටලය යනු මම සහ මගේ කණ්ඩායමේ මිතුරන් නිතරම යන එන ස්ථානයක් ය.මෙක්සිකානු ආහාර වර්ග වල රස බැලීමට තදබල කැමැත්තක් දැක්වූ මා නිතරම පාහේ මගේ මිතුරියන් සමග එහි යාම පුරුද්දක් කරගෙන සිටියෙමි. එම හෝටලයෙහි ” මිරාජ් ” නැමති ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් විසින් සංගීතය සැපයු අතර ඔවුන් අප හා ඉතා හිතවත් අය විය.සිංහල ගීත වලට සවන්දීමට ඉතා ප්‍රිය කළ මා ඒවාට සවන් දෙමින් ආහාර ගැනීම සඳහාම එම හෝටලයට මගේ කණ්ඩායමේ මිතුරු මිතුරියන් සමග ගියෙමි.එශාන්ත නැමති මගේ මිතුරාව මට මුණ ගැසුණේ ද එම හෝටලයේ දී ය.මා නිතරම එහි යන එන අයෙකු නිසා ක්‍රිකට් කණ්ඩායමේ මිතුරන් කිහිප දෙනෙකු සමග ආහාර ගැනීමට පැමිණි එශාන්ත මා එහි නොසිටි දිනවල ඔවුන්ට මුණගැස්වීම සඳහා මා සොයා ඇත.ඒ ආකාරයට ඔහු මා සෙවුයේ කිමදැයි මා නැවත අසන විට ඔහු පැවසුවේ ඔහුගේ හොඳම මිතුරෙකුව මට හඳුන්වා දීමට විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය වූ බවයි.එම මිතුරා කවුදැයි මා එශාන්ත ගෙන් විමසුවෙමි.ඒ ” හශාන් තිලකරත්න ” නැමැති ඔහුගේ මිතුරා බව එශාන්ත පැවසූ විට ඔහු හට මා හඳුන්වා දෙන්නේ කුමකටදැයි මා විහිළුවට මෙන් ඔහුගෙන් ඇසුවෙමි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles