මතක දිගහැරුම 29 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි නවවන දිගහැරුම,

තාත්තාට සැත්කම කෙරෙන දින උදෑසන මා තාත්තා බැලීමට ගොස් මුළු හදවතින් ම ඔහුට ආශිර්වාද කළෙමි.වෛද්‍ය ශිවම් පැවසූ ආකාරයට තාත්තාගේ සැත්කම සඳහා ගත වන්නේ විනාඩි 45ක කාලයක් නිසා මා තාත්තා වෙනුවෙන් සූදානම් කළ නව ග්‍රහ පූජාව සිදු කිරීම සඳහා කෝවිලට ගියෙමි. මගේ අම්මා සහ නංගී ඇතුළු නෑදෑ හිත මිතුරන් කිහිපදෙනෙක් ශල්‍යාගාරය ඉදිරිපිට ඉතා නොඉවසිල්ලෙන් රැඳී සිටියේ ඔවුන්ගේ සිත් වලින් තාත්තාට සෙත් ප්‍රාර්ථනා කරමිනි.

ඉතා සාර්ථක අයුරින් තාත්තා වෙනුවෙන් මා නවග්‍රහ පූජාව සිදුකළ අතර එය අවසන් වූ සැනින් මා රෝහල වෙත ගියෙමි.නමුත් මා එහි යන විටත් තාත්තාගේ සැත්කම අවසන් වී තිබුණේ නැත.විනාඩි 45 ක කාලයකින් අවසන් වෙනවා යැයි කියූ සැත්කම සිදු කෙරෙන කාලය කෙමෙන් කෙමෙන් දීර්ඝ වෙද්දී අප සියලු දෙනාගේම හදගැස්ම ද ඒ හා සමානව වේගවත් විය. සිදුවන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව මගේ අම්මා ද වරින් වර සිහිමුර්ජා තත්ත්වයට පත් වූ අතර මා ද පසු වූයේ ඉතාම බියෙනි.

පැය පහමාරක කාලයකට පසුව , තාත්තාගේ සැත්කම සිදු කිරීම සඳහා පිළිකා රෝහලෙන් පැමිණි වෛද්‍යවරයා ශල්‍යාගාරයේ එළියට පැමිණියේය.මා වහාම ඔහු ළඟට ගොස් මගේ තාත්තා ගේ තත්ත්වය තත්ත්වය කෙසේ දැයි විමසුවෙමි. මගේ පිටට කුඩා තට්ටුවක් දැමූ වෛද්‍යවරයා , තාත්තා වාසනාවන්ත නම්, මාස හයක පමණ කාලයක් ඔහු ජීවත් වේ යැයි පැවසුවේය.මගේ සිතට ඒ මොහොතේ ඇති වූ කම්පනය මා කිසිවෙකුටත් පෙන්වූයේ නැති නමුත් තාත්තගේ ජීවිතයට කිසිදු අනතුරක් නොවන බවට මා දැඩි විශ්වාසයකින් පසු වුනෙමි.

වෛද්‍ය ශිවම් ඇතුළු පිරිස ශල්‍යාගාර යෙන් පිටතට පැමිණියේ ඉන් පසුවය.එතරම් සතුටුදායක මුහුණකින් පසු නොවුණු වෛද්‍ය ශිවම් මා හට පැවසුවේ තාත්තා වෙනුවෙන් කළ හැකි උපරිමය තමා සිදුකළ බවයි.සැත්කම සාර්ථක බවත් කී ඔහු වෛද්‍ය වාර්තා පැමිණෙනතුරු ඉවසීමෙන් බලා සිටිමු යැයි ද පවසා, එතැන සිටි හෙදියට තාත්තා ගේ බඩවැලේ කපා ඉවත් කළ කොටස මට පෙන්වන්න යැයි නියම කර ඔහුගේ කාර්‍යාලයට ගියේය.

මා එම හෙදිය සමග ශල්‍යාගාරය තුළට යන විට මගේ ඥාති සහෝදරියද ඒ තුළ සිටියාය.වෛද්‍ය පරීක්ෂණය සඳහා යැවීමට සූදානම්කර තිබූ තාත්තගේ උදරයෙන් ඉවත් කළ ගෙඩිය ඇය විසින් මට පෙන්වූවාය. අලු පැහැයෙන් යුතු , ටෙනිස් බෝලයක හැඩය ගත් එම ගෙඩිය ප්‍රමාණයෙන් තරමක් විශාල එකක් විය. එය සුළු වේලාවකින් වෛද්‍ය පරීක්ෂණය සඳහා යවන බවත් වාර්තාව ලැබීමට සතියක පමණ කාලයක් ගත වන බවත් මගේ ඥාති සහෝදරිය පැවසුවාය.

තාත්තගේ උදරයේ විශාල කැපුමක් වූ අතර එයට මැහුම් විසි ගණනක් යොදා තිබුණි.නැවත පියවි සිහිය ලැබුණු විට තාත්තා විශාල වේදනාවක් විඳි අතර ඔහු දිගින් දිගටම වමනය කරන්නට විය.එක් අතකට වත් හැරෙන්නට නොහැකි තරම් විශාල වේදනාවකින් සහ දැවිල්ලකින් ඔහු පීඩා වින්දේය.

තාත්තා රෝහල් ගතවුණු නිසා මා එයාර් ලංකා ආයතනයෙන් වාර්ෂික නිවාඩු ලබා ගත් අතර තාත්තාව නතර කල රෝහල් කාමරයේම නැවතුනු මා දින ගණනාවක් පුරාවට නැවත නිවසට ගියේ නැත. තාත්තාව රැකබලා ගැනීම සඳහා ඔහුගේ ළඟම මිතුරෙකු වූ ” ඉද්දගොඩ අංකල් ” තාත්තගේ රෝහල් කාමරයේම නැවතී සිටීම මට විශාල පහසුවක් විය. තාත්තාගේ සහෝදරයෙකු සේ ඔහුව රැකබලා ගෙන ඔහු වෙනුවෙන් විශාල වශයෙන් වෙහෙසුනු ඉද්දගොඩ අංකල් මේ වන විට ජීවතුන් අතර නැති අතර මා ඔහුව ඉතාම ආදර ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

තාත්තාගේ සැත්කම සඳහා වෛද්‍යවරයා පැවසූ කාලයට වඩා විශාල කාලයක් ගතවීම නිසා අපගේ නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනා සිටියේ තාත්තාගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් නොමැතිවය. ඔහුගේ ජීවිතයට යම් අනතුරක් වේ යැයි සිතූ බොහෝ දෙනා මට පැවසුවේ මින් ඉදිරියට පවුලේ සියලු වගකීම් මා පිට පැටවෙන බවත් , පවුලේ සියලු යුතුකම් මා විසින් සිදු කල යුතුව ඇති බවත් යනුවෙන් ය. මා හට එසේ පැවසූ ඇතැමුන් සමග මට දැනුණේ විශාල කෝපයකි .ඒ සියලු දෙනාටම පාහේ මා පැවසුවේ තාත්තා ගේ ජීවිතයට අනතුරක් වීමට මා කිසිදු අයුරකින් ඉඩ නොතබන බවයි.

තාත්තගේ කේන්දරය බැලූ බොහෝ නැකැත්කරුවන් කීවේ තාත්තගේ ආයුෂ මෙතකින් අවසන් වන බව නිසා ඒ ගැන කියමින් පවා ඇතැමුන් මට පැවසුවේ තාත්තාගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු තබා නොගන්නා ලෙසයි. මා කේන්දරය මතම යැපෙන්නෙක් නොවෙන බවත් , විශ්වයේ ‍පවතින්නා වූ යහපත් ශක්තියේ බෙලෙන් තාත්තාට කිසිවක් නොවන බැව් ඔප්පු කර පෙන්වන බවත් ඒ සියලු දෙනාට මා තරයේම කීවෙමි.

වෛද්‍ය ශිවම් සැත්කමට පෙර සූදානම් කර තබා ගන්න යැයි කී , තාත්තාගේ බඩවැලට සම්බන්ධ කිරීමට අවශ්‍ය බෑග් සැත්කම අතරතුර දී ප්‍රයෝජනයට නොගෙන තිබුණු අතර , ඔහු සිතූ තරම් බඩවැල කැපීමට අවශ්‍ය වී තිබුණේ නැත.එය ඉමහත් වාසනාවක් බව ද ඔහු පැවසුවේය.එම බෑග් ගෙන්වාගැනීමට එංගලන්තයේ ගුවන් ගමන් වාර වල යෙදෙන මගේ මිතුරියන් මට උපකාර කළ අතර ඕනෑම මොහොතක මගේ තාත්තා වෙනුවෙන් බෙහෙත් වර්ග පවා ගෙනවිත් දීමට ඔවුන් සූදානම් වී සිටියහ.ඒ වගේම එම දිනවලදී මට මුදල් අඩුපාඩුවක් පැවති විට නිලන්ති නැමැති මගේ මිතුරිය වහාම ඉදිරිපත් වී මට මුදල්වලින් උපකාර කළාය.ඒ මොහොතේ ඇය කළ එම උපකාරය මට විශාල ශක්තියක් වූ බව මා ආදරයෙන් සිහිපත් කරමි.

මතු සම්බන්ධයි.

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...