සස්මිත නිහඬවම වාහනයෙන් බැස ඉවතට ඇවිද ගියේය. චරක ආපස්සට හැරී චායා දෙස් බැලුවාය. ඕ සිටින්නේ අතිශය දැඩි විශ්වාසයකින් බව පෙනෙයි. සස්මිතගේ හමුවීම නිසා ඕ දින දෙකක් තිස්සේ විඳි වේදනා අවසන් ව ඇති බවද චරකට පෙනෙය්. එහෙත්, තවත් විනාඩි කිහිපයකට පසුව ඇරඹෙන්නේ චායාගේ ජීවිතය යළි ඕ මෙතෙක් කල් දරා උන් වේදනාව දෝර ගලා යන විනාඩි බවද ඔහුට දැනෙයි. එහෙත්, එය එසේ වූවායැයි කියා සස්මිත වැනි මිනිසෙකුගේ දෑත මත චායා තනි කරන්නට තමාට නොහැකි බවද, පෙම් කල මිනිසෙකු වු පමණින් චායාගේ අනාගතය බාර ගැනීමට සස්මිත සියලු සුදුසුමක් සපුරන්නෙකු නොවන බවද චරක තමා සමඟම වාද කරමින් තීරණය කලේය.
චායා චරක දෙස බලා උන්නාය.
එහෙත් චරක, චායා තමා දෙස අවධානයෙන් සිටින බව නොපෙනෙන්නාක් මෙන් උන්නේය.
” අයියේ ..”
අවසානයේ චායා එලෙස විමසුවාය.
” ගිහිල්ලා කතා කරගන්න . මං එන්නම් .. මම මොන දේ කලත්, ඒ කලේ තමුසේ එක්ක තරහකින් නෙවෙයි කියලා තේරුම් ගන්නවා…. මම අයියා වුනේ, නිකම්ම නෙවෙයි කියලා තේරුම් ගන්නවා..”
” මං දන්නවා අයියේ .”
චායා ඉතා පහත් හඬින් කීවාය. එහෙත් සස්මිතගේ මුවෙහි වූයේ සරදම් සිනහවකි. චායා එය නොතකා බැස්සාය. සස්මිත අවන්හල තුලට ඇතුලු වනු දුටු ඕ සස්මිත හා සමඟින්ම අවන්හල තුලට ඇතූලු වන්නට සිතමින්, වේගයෙන් ඇවිද ගියාය. එහෙත් සස්මිත ඒ වෙද්දීද උන්නේ අවන්හල තුල වූ මේසයක් අසල වූ පුටුවක හිඳ ගනිමිනි.
චායා දිව ගොස් අසුනේ හිඳගන්නා සස්මිතගේ ගෙල වටා දෑතම යවා ඔහුගේ කොපුලක් සිම්බාය. තම කොපුල සස්මිතගේ කොපුල මත තබා උන්නාය. අහිමි වෙන්නට යන සෙනෙහසක් යළි රැක ගැනීම වෙනුවෙන් මිනිසුන්ට කල නොහැකි දෙයක් නොමැත. එහෙත්, ඇතැම් පොරොන්දු මිනිසුන් දුර්වල කර දමන්නේය. ජීවිතය සෙනෙහස අයැදීම පරයා, පොරොන්දු රැකීම ඉස්මතු වීම පහසු නොවේ.
සස්මිත නොසෙල්වීම උන්නේය. චායා ඔහු අත් නොහැරම අසල වූ අසුනෙන් හිඳගත්තාය. සස්මිත දෙස විමසිල්ලෙන් බැලුවාය. ඔහු සිටින්නේ සැහැල්ලුවෙන් නොවේ. වත පුරා දැඩි වෙහෙසක් තැවරී ඇත. එලෙසම ඔහු සිටින්නේ තමා හමුවීමේ ප්‍රහර්ෂය විදිමින්ද නොවේ. සියල්ලටම හේතුව පසුගිය දින දෙක ගෙවුණු ආකාරය විය යුතුය.
” අයියා ඔයාට බැන්නාද සස්මිත .. ගණන් ගන්නෙපා .. එයා මෙච්චර කූල් වෙලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න ට්‍රයි කරනෙක ගැන අපි සතුටු වෙමු .. අයියා මේකට කොහොම රියැක්ට් කරාවිද කියලා මට හිතාගන්න බැරිව උන්නේ… ඇත්තටම මම බයෙන් හිටියේ අයියා ඔයාට කරදරයක් කරාවිද කියලා . එයා ඒ දවස් දෙක හැසිරුනේ ඒ තරම් ආවේගෙකින් .. ඒත් අද එයා වෙනස් … දැන් එයා ඔක්කොම තේරුම් ගනීවි සස්මිත … එයාට තේරෙයි ඔයා මෙච්චර කාලයක් මං වෙනුවෙන්ම බලාගෙන උන්නේ ඇයි කියලා එයා තේරුම් ගන්නෙපැයි … එයා තේරුම් ගනීවි … අනෙක, මොන දේ වුනත් මම ඉන්නවානේ ඔයා එක්ක …. අයියා ඔයාට ගැහුවා බැන්නා උනත් ඒ දවස් දෙක තුනේ ඉවසන්න අනේ චුට්ටක් සස්මිත .. එයා එක්ක තරහ ගන්නෙපා මං වෙනුවෙන් ….. ඔයාට පුලුවන් නේද සමිත එහෙම ..”
” මට තේරෙන්නේ නෑ චායා … මට දැන් මේ මුකුත්ම තේරෙන්නේ නෑ ..”
සස්මිත චායාගේ අතින් තම අත මුදා ගන්නා අතරේ පවසද්දී, චායා සස්මිත දෙස විමතියෙන් බලා උන්නාය. සස්මිත උන්නේ චායා දෙස නොබලන්නට හෝ පරෙස්සම් වෙමිනි අවන්හලේ සේවකයෙක් පැමින ආහාර ඇණවුම් විමසද්දී, චායාගෙන් විමසන ලෙස සස්මිත කීවේද ඇය දෙස හෝ නොබලමිනි.
චායා එය වටහා ගත්තේ අයියා හා සමඟ වන කෝපය තමා මතින් මුදා හරිනවාය කියාය. එහෙත්, සස්මිත සූදානමින් උන්නේ පුපුරා යන්නට නියමිත බෝම්බයක පාලනය තමා අතින් මුදා හැරීමේ මෙහෙයුමටය.
” එලියේ සුදු පාට කැබ් එකක මහත්තයෙක් ඉන්නවා.. චුට්ටක් එයාගෙනුත් අහලා සර්ව් එකක් යවන්න ..”
චායා එලෙසින්ද පවසනු සස්මිතට ඇසුණි. සස්මිත කෙල පිඬක් ගිල දැම්මේය. තවත් මොහොතකින් කුමක් සිදුවන්නේදැයි ඔහු දනී.
” සස්මිත … ඔයා ඉස්සෙල්ලම සුප් එකක් බීලා ඉමු නේද ?.. මම ලයිට් චිකන් සුප් දෙකක් ඕර්ඩර් කලේ හොඳේ … අපි වැඩි වෙලා මෙහෙම ඉන්නේ නැතුව ගෙදර යමු .. එතකොට අයියා වුනත් තව කූල් වේවි .. හෙට දවසේ ඉඳන් අපට කල් තියෙනවානේ.. අපි හෙමි හෙමින්, ටිකෙන් ටික මේ හැමදේම විසඳගමු … අපේ අම්මලාට වැඩිය වටින්නේ අපේ සතුට … අම්මයි තාත්තයි දෙන්නා මාව තේරුම් ගනිවී … විහඟි වුනත් අම්මලට තේරුම් කරාවි …”
චායා බලෙන්ම සස්මිතගේ නිකටෙන් අල්ලා තමා වෙත හරවා ගනිමින් කීවාය.
සස්මිත මෙලෙසින් මඟ හරින්නේ ඇයිදැයි වැටහෙන්නේ නැත. අයියා කුමක් කලා වුවද, එය තමාගේ අනුදැනුමෙන් තොරව බව ඔහුට වැටහිය යුතුය. අනෙක් අතට, ඒ කුමක් වුවද, මේ මොහොත වන විට අයියා තම දෙදෙනා හා සමග සිටගෙන සිටින්නේය. ඉදිරි තීරන සහ සැලසුම් වෙනුවෙන් එය මහා ශක්තියකි.
” චායා .. මට සමාවෙන්න …”
සස්මිත යළි චායාගෙන් ඉවත බලා කිවේය.
” හේතුව ?..”
” මං .. මං .. ඇත්තටම ඔයාට ආදරෙයි චායා..”
” ඉතින් ඒක මම දන්නවානේ රත්තරන් .. ආයේ ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ඔයා..”
” ඒ නිසයි මම මොන දේ වුනත් කලේ කිවේ..”
” ඔව් මම දන්නවා..”
” චායා මම හිරේ ගියේ ඩ්‍රග් ඩීල් කේස් එකකට .. ඒ වගේම .. ඒ වගේම මම මැරි කරලා දරුවෙක් ඉන්නවා මට …”
සස්මිත බෝම්බය පුපුරා යන්නට හැරියේය. චායාට බෝම්බයක් පුපුරා ගියේද කියාවත් නොදැනෙන තරමටම ඕ හිස්ව ගියාය.
” අවුරුදු තුනක් දරුවාට … මං.. මං ඒ ජීවිතේට ඇතුල් වුනේ මට ජීවත් වෙන්න වෙන කිසිම විදියක් නොතිබුන නිසා චායා .. ඉන්පස්සේ මට විජේසිරි අංකල්ව මුන ගැහුනා.. එයා මට ඔයා ගැන කිව්වා. මට ආයෙම ඔයාව ඕනි වුනා.. මං ඇත්තටම ඔයාට ආදරේ කලා චායා…”
සස්මිත එවර චායා දෙස බලාගෙනම කිවේය. චායාගේ දෑස් විසල්ව ගොස් තිබුණි. මුව අයාගෙන ඕ බලා උන්නේ මහා භීතියක් දෑස් අභිමුව ඇති ලෙසය.
” බොරූ ..”
ඕ අසීරුවෙන් එලෙස පවසා ගත්තාය.


