මතක දිගහැරුම 27 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි හත්වන දිගහැරුම ,

තාත්තාව කෙසේ හෝ සුව කර ගැනීම මා ඉදිරියේ තිබූ විශාලම අභියෝගය විය.අපගේ පවුලට හිතවත් වූ පවුලක් සිටි අතර ඔවුන්ද තාත්තාගේ කේන්දරය පරික්ෂා කරවා ගැනීමට ගොස් තිබුණි.කේන්දරය පරීක්ෂා කළ තැනැත්තා, තාත්තා ගේ ආයුෂ අවසන් බවත් , ඔහුව ශල්‍යාගාරයේ පිටතට ගෙන ඒමට වත් නොහැකි වන බවත් පවසා ඇත. එවැනි සිදුවීම් ද දරුණු මානසික පසුබෑම් වලට ලක් වීමට හේතු විය.

වර්තමානයේ තරම් එකල පෞද්ගලික රෝහල් නොතිබුණු නිසා අපට හිතවත් බොහෝ දෙනා පැවසුවේ ලංකාවේ හොදම වෛද්‍යවරුන් සහ හොදම පහසුකම් පවතින්නේ පිළිකා රෝහලේ නිසා තාත්තාව පිළිකා රෝහලට රැගෙන යන ලෙසය.නමුත් මා තරයේම කියා සිටියේ කිසි ලෙසකින්වත් තාත්තාව එහි රැගෙන නොයන ලෙසයි.එයට හේතුව වූයේ තාත්තාව පිළිකා රෝහලට රැගෙන ගියහොත් ඔහු තමන්ට ඇති අසනීපය පිළිබඳව දැන ගන්නා නිසාය.ඉතා පිරිසිදු අයෙකු වූ මගේ තාත්තා කුමන ස්ථානයකට ගියත් ඔහුට භාවිතා කිරීමට ඇති වැසිකිලිය ඉතා පිරිසිදු එකක් දැයි සොයා බලයි.එම නිසා පෞද්ගලික රෝහලක හොඳ පහසුකම් යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදීමට මට අවැසි විය.එම අවස්ථාවේ දී බොහෝ දෙනා පැවසුවේ තාත්තාගේ අසනීපයට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරනවා නම් ඉතා විශාල මුදලක් වැය කළ යුතු බවයි.නමුත් මා හට මුදල් පිළිබඳව බිය වීමට කිසිදු හේතුවක් තිබුනේ නැත.මා ඉතා හොඳ රැකියාවක නියුතු වූ නිසා මට අවශ්‍ය වූයේ කවර ප්‍රමාණයක මුදලක් වුවද වැයකර තාත්තාව සුවකර ගැනීම පමණි.

ඇත්ත වශයෙන්ම මා ඉපයූ මුදල් ඒ වන විට මා ඉතිරි කර තිබුණේ නැත.ඊට හේතුව වූයේ මා ඉපැයූ මුදල් ඒ වන විට අපගේ නිවස සෑදීම සඳහා සහ කාර් රථය මිලදී ගැනීම සඳහා මා ආයෝජනය කර තිබීමයි.නමුත් මා කළ රැකියාව නිසා ණය පහසුකමක් හෝ ලබා ගෙන මුදල් සොයා ගැනීමට මට හැකියාව තිබුණි.

මගේ මහප්පාගේ දියණිය හෙදියක් වූ අතර ඇය සේවය කලේ බොරැල්ලේ පිහිටි රත්නම්ස් නැමති පෞද්ගලික රෝහලේය.අම්මාගෙන් එම ඥාති සහෝදරියගේ තොරතුරු දැනගත් පසු මා ඉක්මනින් ඇය ඇමතුවෙමි. එම රෝහලේ ශිවම් නැමැති දමිළ වෛද්‍යවරයෙක් සේවය කරන බවත් , ඔහු ඉතා කරුණාවන්ත ,යහපත් ගතිගුණවලින් හෙබි සහ ඉතා හොඳ අත් ගුණයක් සහිත කෙනෙකු බව මගේ ඥාති සහෝදරිය පැවසීය. ඔහු සැත්කම් ද කරන බැවින් තාත්තාට ප්‍රරතිකාර කිරීම සඳහා ඔහුව සම්බන්ධ කරගනිමු යැයි ඇය යෝජනා කළාය.ඒ අනුව මම එම ඥාති සහෝදරිය සමග වෛද්‍ය ශිවම් ව මුණ ගැසීමට ගියෙමි.ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙක් වූ අතර ඔහු මා ඇමතුවේ ” දුව” කියාය. මා තාත්තාගේ අසනීපය සම්බන්ධ සියලු විස්තරය ඔහු හා පැවසුවෙමි. මට මගේ පවුලේ අයව ඉතා වටිනා බවත් , මගේ තාත්තාට කුමන හෝ කරදරයක් සිදුවුවහොත් මටද ජීවත් වී පලක් නැති බවත් මම ඔහුට කීවෙමි. මා තාත්තාට අසීමිතව ආදරය කරන දියණියක බව හඳුනාගත් ඔහු මගෙන්, තාත්තාව පිළිකා රෝහලට රැගෙන නොගියේ මන්දැයි විමසුවේය. මේ වනවිටත් තාත්තා ඔහුට ඇති අසනීපය පිළිබඳව නොදන්නා බවත් , මට හැකි උපරිමයෙන් ඔහුට සලකා ඔහුව සුව කර ගැනීමට අවශ්‍ය බවත් මම වෛද්‍ය ශිවම් හා පැවසුවෙමි.

මා පැවසූ සියලු කාරණා වලට ඉතා සාවධානව සවන්දුන් වෛද්‍යවරයා පැවසුවේ සැත්කම ඔහු විසින් සිදු කළත් ඒ සඳහා පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන්විය යුතු බවයි.නිර්වින්දනය කිරීමේ වෛද්‍යවරයා ඇතුළු සියලු දෙනාවම තමන් සූදානම් කරවන බවත් පිළිකා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්ව මා හට සම්බන්ධ කර දී ඔහුව මුණගැසීමට යන ලෙසත් ඔහු මට පැවසීය .වාසනාවකට මෙන් එකී වෛද්‍යවරයා මා රාජකාරි කර ගුවන් ගමන් වාරය ක ගමන් කර ඇති අතර මා ඔහු සමග කතා බස් කර ද ඇත්තෙමි .සාමාන්‍යයෙන් එම වෛද්‍යවරයා පිට රෝහල්වල සැත්කම් සඳහා දායක වන්නේ කලාතුරකින් බවත් පිළිකා රෝහලේ සැත්කම් සඳහා පමණක් ඔහු දායක වන බවත් වෛද්‍ය ශිවම් තවදුරටත් මට පැවසීය. එම නිසා ඔහුව තාත්තගේ සැත්කම සඳහා කැමති කරවා ගැනීමේ වගකීම මා සතු විය.

තාත්තගේ සැත්කම අතරතුර දී ඔහුගේ බඩවැලෙන් අඟල් 10 ක ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වුවහොත් එයට සම්බන්ධ කිරීම සඳහා විශේෂ බෑගයක් අවශ්‍ය වන බව වෛද්‍ය ශිවම් විසින් මට දැනුම් දුනි.එම බෑගය සම්බන්ධ ක්‍රියාවලිය පවා ඔහු විසින් මට විස්තර කළේය. එංගලන්තය වැනි රටවල් වල ඉතා ගුණාත්මකභාවයෙන් යුතු එම වර්ගයේ බෑග් තිබෙන බැවින් මා හඳුනන කිසිවකු හෝ එවැනි රටක සිටිනවා නම් ඒවා ගෙන්වාගැනීමට සූදානම් කරගෙන තබන්න යැයි ද වෛද්‍යවරයා මට පැවසුවේය.හදිස්සියේ දී හෝ සැත්කම අතරතුර දී තාත්තගේ බඩවැලෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදු වුවහොත් එම බෑගයන් අවශ්‍ය වන නිසා ගුවන් සේවිකාවන් ලෙස සේවය කරන මගේ මිතුරියන් ලවා ඒවා ගෙන්වා ගැනීමට මම කටයුතු සූදානම් කළෙමි.

ඉන්පසුව මා පිළිකා රෝහලේ වෛද්‍යවරයාව මුණගැසීමට ගියෙමි. වෛද්‍ය ශිවම් මා පිළිබඳව කලින්ම පවසා තිබූ නිසා මා පිළිබඳව හඳුන්වා දීමට මට සිදුවූයේ නැත.ඒ වගේම එම වෛද්‍යවරයාට මා ගැන කුඩා මතකයක් ද තිබුණි.නමුත් තාත්තගේ සැත්කම සඳහා පැමිණීමට ඔහු කැමැති වූයේ ම නැත. පිළිකා රෝගියෙකුට කිසිවිටකත් ඔවුන් රෝගය නොසඟවන බවත් , තමන්ට ඇති රෝගය පිළිබඳව රෝගියාට පැවසූ විට අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ප්‍රවේශම් වන බවත් වෛද්‍යවරයා පැවසුවේ ය.තාත්තගේ තත්ත්වයද , අප ඔහුට ඇති රෝගය ඔහුගෙන් සඟවන හේතුවද වෛද්‍යවරයාට පවසා සැත්කම සඳහා අදාල පෞද්ගලික රෝහලට පැමිණෙන්නයැයි මම ඔහුට බැගෑ පත් වුණෙමි. අවසානයේ දී මා ගැන අනුකම්පා සිතී ගම කිරීම සඳහා වෛද්‍යවරයා එකඟ විය.අදාල කටයුතු සියල්ල සූදානම් කර දිනය සහ වේලාව දන්වන්න යැයි ඔහු මට පැවසීය .

ඉන්පසු මට පැවරුන රාජකාරිය වූයේ පිළිකාව ගැන සඟවා ,සැත්කම පිළිබඳව තාත්තාට කීමයි.වෛද්‍ය වාර්තා වලට අනුව තාත්තගේ බඩ වැලේ කුඩා ගෙඩියක් ඇති බවත් ,එය ඉවත් කිරීම හොඳ බව වෛද්‍යවරයා පැවසුවා යැයි මා තාත්තාට කීවෙමි.එය තිබුණා යැයි කියා ගැටළුවක් නැති නම් සැත්කම නොකර ඉන්නට බැරි දැයි තාත්තා මගෙන් විමසුවේ ය. එය එසේ තිබීමෙන් පසුකාලීනව ගැටලුවක් ඇති වේ දැයි අපට කිව නොහැකි බැවින් මා ඇවිටිලි කල පසුව සැත්කම කර ගැනීමට තාත්තා අවසානයේදී ඔහු එකඟ විය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles