මතක දිගහැරුම 32 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් දෙවන දිගහැරුම ,

මාස ගණනාවකට පසුව හෝ Emirates ආයතනයෙන් මට ලිපියක් පැමිණ තිබීම සතුටට කරුණක් විය.එම ලිපියෙහි සඳහන් වී තිබුණේ ඔවුන්ගේ ආයතනය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සඳහා තීරණය කර ඇති බවත් , අවුරුදු ගණනාවකට පසුව පුරප්පාඩු 12ක් සඳහා ශ්‍රී ලාංකික ගුවන් සේවිකාවන් දොළොස් දෙනෙක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් ය.එමිරේට්ස් ආයතනය සඳහා ගුවන් සේවිකාවන් බදවා ගන්නා එම සම්මුඛ පරීක්ෂණය කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර එය පැවැත්වෙන දිනය සහ වේලාව ද එම ලිපියෙහි සඳහන් කර තිබුණි.එම ලිපිය මා අතට ලැබීමම මගේ සතුට උතුරා යාමට හේතුවක් විය.

ලිපියෙහි සඳහන් කර තිබූ දින නියමිත වේලාවටම මම ,සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගිවීමට අදාල හෝටලය වෙත ගියෙමි.මා බලාපොරොත්තු වූවාටත් වඩා අති විශාල පිරිසක් එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීම සඳහා පැමිණ සිටියහ.එමිරේට්ස් ආයතනය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නේ වසර ගණනාවකට පසුව බැවින් ඔවුන් ඒ පිළිබඳ දැන්වීමක් පුවත්පත්වල පළකර තිබුණි.වසර ගණනාවකට පසුව පැමිණෙන එම අවස්ථාවට Air Lanka ආයතනයේ සේවය කරන විශාල පිරිසක් සහභාගී වී සිටියහ.ඊට අමතරව වෙනත් ගුවන් සමාගම් වල සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන් පවා මේ සඳහා අයදුම් කර තිබුණි. සිතාගත නොහැකි තරම් විශාල පිරිසක් සහභාගි වී සිටීම නිසා මා හට අවස්ථාවක් නොලැබේ යැයි කියාද වරෙක මට සිතුනි.මන්ද , Emirates ආයතනයෙන් දන්වා තිබූ ආකාරයට කෙතරම් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුවද එයින් තෝරා ගන්නේ දොළොස් දෙනෙකු පමණක් නිසාය.

සුපුරුදු පරිදි මා පූර්ණ ආත්ම විශ්වාසය සහිතව එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නෙමි .ඉන්පසුව සුදු ජාතික කාන්තාවක් පැමිණ විශාල එළියක් සහිත විදුලි පන්දමක් වැනි උපකරණයක් මුහුණට එල්ල කරමින් කුරුලෑ හෝ වෙනත් කැලැල් තිබෙනවාදැයි බලමින්, මුහුණෙහි සම හොඳින් පරික්ෂා කරන්නට විය. මා ද නොදුටු මගේ මුහුණෙහි තිබූ ඉතාම කුඩා ලපයක් පෙන්වූ ඇය ඒ පිළිබඳව සැලකිලිමත් වන්න යැයි ද මට පැවසීය.සියලු දෙනාගේම සම ඔවුන් එසේ පරීක්ෂා කළ අතර ඉන්පසුව උස සහ බර ද පරික්ෂා කර බැලූහ. එතරම්ම ඔවුන් , Emirates ආයතනයට සේවකයන් බඳවා ගැනීමේදී සෑම කාරණාවක් පිළිබඳව ම ඉතා හොඳින් සැලකිලිමත් වන බව කිව යුතුය.

එදින සවස ම ලිඛිත පරීක්ෂණයකට සහභාගී වීමට අපට සිදු වූ අතර ඉන් පසුව තෝරා ගන්නා පිරිසට දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලැබෙන බව ඔවුන් පැවසූහ.එම ලිඛිත පරීක්ෂණය සඳහා අතිශය විශ්වාසයෙන් යුතුව මා ඉතා සාර්ථකව මුහුණ දුන්නෙමි.

මා බලාපොරොත්තු වූ පරිදිම දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා මා තේරී පත්වී තිබුණි.එම සම්මුඛ පරීක්ෂණය සඳහා ද බොහෝ පිරිසකට අවස්ථාව හිමිවී තිබුණු අතර පලවන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසෙන් මේ සඳහා තෝරාගෙන තිබුණේ යම් කොටසක් පමණි.මේ තරම් විශාල පිරිසක් අතුරින් තෝරා පත් කරගන්නා දෙනා අතරට එක් වීමට මට හැකි වේදැයි සිතේ යම් චකිතයක් තිබුනු අතර කෙසේ හෝ මා සාර්ථකව එම සම්මුඛ පරීක්ෂණ සදහා ද මුහුණ දුන්නෙමි. මට වඩා බොහෝ අත්දැකීම් ඇති ජේෂ්ඨ ගුවන් සේවිකාවන් රැසක් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වී තිබුණු නිසා මට අවස්ථාව අහිමි වේ දැයි බියක් ද මා සිත තුල තිබුණි.එයට හේතුව වූයේ එමිරේට්ස් ආයතනය විසින් ගුවන් සේවිකාවන් සතු අත්දැකීම් පිළිබඳව ද සලකා බලන බැවිනි.

ඉන්පසුව නැවතත් මා සුපුරුදු පරිදි මගේ රැකියාවෙහි කටයුතු වල නිරත වෙමින් සිටියෙමි.නමුත් එමිරේට්ස් ආයතනය හා සම්බන්ධ වීමේ බලාපොරොත්තුව මා වෙතින් ගිලිහී ගියේ නැත.සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී දින එකින් එක ගත වී යන විට , බලාපොරොත්තු සුන් වූ අවස්ථාවද නැතුවා නොවේ

මා රාජකාරියේ යෙදෙන අතරතුර මගේ මිතුරියන් Emirates ආයතනය පිළිබඳව සහ පසුගිය දිනක පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණය පිළිබඳව කතාබහ කල අතර ඔවුන්ගෙන් ලිපියක් ලැබුණා දැයි ඇතැම් අය මගෙන් විමසා සිටියහ.බොහෝ දෙනාට Emirates ආයතනයෙන් ලිපි ලැබී තිබුණු අතර ඔවුන් දන්වා ඇත්තේ ආයතනය සලකා බලන සුදුසුකම් වලට අනුව ශ්‍රී ලංකාවෙන් මෙවර කිසිවෙකු තෝරා ගෙන නැති බවයි.මගේ මිතුරියන් පැවසූ දේවල් වලට පසුව ,Emirates ආයතනය හා සම්බන්ධ වී සේවය කිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටි මගේ සියලු බලාපොරොත්තු කඩ වීමට පටන් ගත්තේය.ඔවුන්ගෙන් මා හට ලිපියක් ලැබුණේ දැයි දිගින් දිගටම මගේ මිතුරියන් විමසුවත් ඒ වන විට මට කිසිදු ලිපියක් Emirates ආයතනය මගින් ලැබී තිබුණේ නැත.එම නිසා මට සිතුනේ ඔවුන් විසින් මා හට ලිපිය තැපැල් කිරීමේ දී යම් ගැටලුවක් ඇති වී එය නැති වී ඇත කියාය.කෙසේ වුවත් අවසානයේ දී Emirates ආයතනයට සම්බන්ධ වීමට සිහින දැකි මගේ සිහින බොඳ වන බව පමණක් පෙනෙන්නට තිබුණි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles