කෙතරම් කාර්යබහුල වුවත් ඔබේ දරුවන් ප්‍රථම රාජකාරිය කර ගන්න.

අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතුවක්.

ජසින්ඩා ආර්ඩන් ෆේස්බුක් සමාජ ජාලයේ live ඔප්ෂන් එක හරහා තමන්ගේ රට වැසියන් සමඟ සාකච්ඡා කරනවා.නොවැම්බර් අටවෙනිදා රාත්‍රියේ ඇය ලයිව් ඔප්ෂන් එක හරහා ජනතාව සමඟ සම්බන්ධ වන්නේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් කතා කරන්නටයි.

නමුත් අගමැතිනියට එය සාර්ථකව කරන්නට ඉඩ ලැබෙන්නෙ නෑ.ඇය වෙත අමුත්තෙක් පැමිණෙන්නේ අනපේක්ෂිත අයුරින්.

“අම්මේ..”

අමුත්තිය ඇය අමතනවා.ඒ වෙන කිසිවෙකුත් නෙවෙයි.අගමැතිනියගේ දියණිය වූ නීව්.

“ඔයා මේ වෙලාවේ ඉන්න ඕන ඇඳේ පැටියෝ..මේ ඔයා නිදා ගන්න වෙලාව.ඇඳට යන්න.මං තත්පරෙන් ඔයා ගාවට එන්නම්.”

අගමැති අම්මා එසේ කියන අතර දියණිය බලා ගන්නා කාන්තාවට ඇය ඇඳට රැගෙන යන ලෙස පවසනවා.එසේ කියා ඇය නැවත ජනතා හමුව පවත්වනවා.

“මෙච්චර වෙලා යන්නේ ඇයි?”

තමන්ගේ අම්මා තමන්ට හිමි වන රාත්‍රී කාලය තුළ ඇගේ රාජකාරියේ යෙදෙන්නට ඉඩ දෙන්නට නීව් සූදානම් නැහැ.

“සොරි පැටියෝ වෙලා යනවා තමයි..”

අගමැතිනිය ඇය දෙස සජීවිව ලෝකයක් බලා සිටියදී දියණියගෙන් සමාව ඉල්ලා සිටිනවා.අනතුරුව ඇය සමාව ගන්නේ ඇය අසා හිඳින රටේ ජනතාවගෙන්.ඇයගේ ලයිව් වීඩියෝව නරඹන ලෝකවාසී සියල්ලන්ගෙන්ම.

“සමාවෙන්න.මං ගිහින් නීව් නිදි කරලා එන්නම්.එයා නිදා ගන්න වෙලාව ගොඩාක් පහුවෙලා.”

විනාඩි අටයි තත්පර පහක් තුළ ඇගේ සජීවි හමුව අවසන් වන්නේ එහෙමයි.මේ දිනවල ලෝකය පුරා විවිධ ගැටළු පැන නැගෙමින් තිබෙනවා.ජසින්ඩා ආර්ඩන් ද සජීවි ෆේස්බුක් විකාශයකට එන්නට ඇත්තේ එවැනි යමක් ගැන කතාබහකටයි.නමුත් ඇගේ පුංචි නීව්ගේ ඉල්ලීම ඉවත නොදා ඈ සමඟ රැඳෙන්නට තරම් අගමැතිනිය මව්වත් ගුණයෙන් පිරී හිඳිනවා.

මේ අපි work from home ලෙස රැකියාවේ යෙදෙන කාලයක්.වසංගතය නිසා අම්මා ගෙදර සිට රැකියාව කරන බවට කුඩා දරුවන්ට වැටහීමක් නැහැ.ඔවුන් සිතන්නේ අම්මා දැන් ගෙදර බව පමණයි.ඉතින් ඔබේ කුඩා දියණිය හෝ පුතු ඔබ රාජකාරි කරමින් හිඳින තැනට,ඔබේ කාර්යාලීය ඔන්ලයින් හමුවක් මැදට කඩා වදින අවස්ථා නැති වෙන්නට බැහැ.එවැනි මොහොතක ඔබ ජසින්ඩා ආර්ඩන් තරම් ආදරණීය හැසිරීමක් ප්‍රකට කරන්නට තරම් ඉවසිලිවන්ත වුණාද?

“මගෙන් හොඳ ගුටියක් නොකා යනව යන්න මෙතනින්..”

ඔබ එවැන්නක් පවසා ඒ ළපටි සිත තලා දැමුවා නම් මේ වීඩියෝව කිහිප වාරයක් නරඹන්න.

දරුවෙකුට වඩා වැදගත් අම්මාගේ ආදරයයි.ඔබ අතිශය වැදගත් හමුවක,හෙට පැවැත්වෙන ඔබේ උපාධිය සම්බන්ධ විභාග කටයුත්තක,අත්‍යවශ්‍ය කාර්යාලීය රාජකාරියක නිරතව හිඳින මොහොතක ඔබේ දරුවා ඔබ වෙත පැමිණිය හැකියි.

“අම්මා මට දොයිමතයි.අම්මා මට බඩගිනියි.අම්මා මට ඔයා ඕනෑ..”

ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න එපා.ඉවත් වන්නැයි දොස් තබන්නට එපා.

“මං ඉක්මනට එනවා පැටියෝ.අම්මට පුංචි වෙලාවක් දෙන්න.”

ආදරයෙන් ඉල්ලන දෙයක් පිළිගන්නට දරුවන් සූදානම්.නමුත් ඔවුන්ට අපහසුවක් දැනෙනවා නම් ඔවුන් ළඟ ඒ මොහොතේ රැඳිය යුත්තේ ඔබ පමණයි. අත්තම්මා,පුංචි හෝ නැනීට ඔබ වන්නට නොහැකියි.

ප්‍රකට වෙළඳ දැන්වීමක තිබු පරිදි ඔබේ ආදරණීය දරුවාට ඔබේ ප්‍රථම රාජකාරිය වන්නට ඉඩ හරින්න.රටක් පාලනය කරන ජසින්ඩා රට වැසියන්ගෙන් “මොහොතක් ඉල්ලාගෙන” නීව් වෙතට ගිය අන්දම ඔබ සදා මතකයේ තබා ගත යුතු දෙයක්.ඒ දරුවන් සම්බන්ධ ගෙවී යන මොහොතක් යළි නොපැමිණෙන නිසා.ඔවුන්ට ඔබව වඩාත් තදින් අවශ්‍ය මොහොතක ඔබ දරුවන් වෙත රැඳිය යුතු නිසා.

ගෙවී යන මොහොතක සිදු වූ අත්වැරදි සහ මඟ හැර ගැනීම් නිවැරදි කර ගන්න අපහසුයි.එනිසා රාජකාරිය සහ දරුවා හැම විටම සමබර කරගන්නට සමත් ස්මාර්ට් අම්මා කෙනෙකු වන්නට ඔබට ශක්තිය ලැබේවා!

Related Articles

Don't Miss


Latest Articles