හිනා මල

අපූර්වා උත්සව ශාලාවේ දොරෙන් ඇතුලු උනේ පුරුදු හිනාවෙන් සැරසිලාමයි. ඒ හිනාව නිසාම ඇගේ සුන්දරත්වය ඕනෑවටත් වඩා කැපිලා පෙනුනා.ඒ වෙනකොට ඇගේ මිතුරියන් හැම දෙනාම වගේ ඒ උපන්දින සාදයට ඇවිල්ලයි හිටියේ. 

” හැපි බර්ත්ඩේ මීනූ ” 

අපූර්වා ඇය අරගෙන ආපු තෑග්ග මිතුරියට පිරිනමන ගමන් සුභ පැතුවා

” birthday girl වෙච්ච මට වඩා ඔයානෙ අනේ අද ලස්සන ” 

මීනූ කිව්වේ අපූර්වා ව වැළඳගන්න ගමන්. කාර්‍යාලයට ඇවිල්ලා කෙටි කාලයක් උනත් ඕනම කෙනෙකුට පන්ති බේදයක් නැතුව සලකන ගමන් ආදරය ඕනෑවටත් වඩා බෙදන අපූර්වා ගැන කා අතරත් තිබුනේ හොඳ පැහැදීමක්.

ඉතාම ලස්සනට සංවිධානය කරලා තිබුන උපන්දින සාදය කෑමෙන් බීමෙන් සංගීතයෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තිබුණා. ඕනෑම සාදයක දී දකින්න තියෙනවා වගේම අපූර්වා තමන්ගේ මිතුරු මිතුරියන් එක්ක සතුටින් හිනා වෙවී හරි හරියට නර්තනයේ යෙදෙන හැටි බොහෝ දෙනෙකුගේ ඡායාරූප වල සටහන් වෙලා තිබුනා. 

” අපූර්වා නම් මාර කෙල්ලෙක් තමයි ” 

” අපිට තියෙන ප්‍රශ්නත් එක්ක බලන්නකෝ අනේ එයා,  කිසිම ප්‍රශ්නයක් නැතිව සන්තෝසෙන් ඉන්න හැටි ” 

” කොහොමද අනේ එහෙම ඉන්නේ ” 

” සිරියාවන්ත කෙල්ල නේද හැබැයි ” 

කාර්යාලයේ මිතුරු මිතුරියෝ හැම සාදයකින්ම පස්සේ කතා වෙනවා වගේම කතා උනේ එහෙම

” හායි ළමායි ” 

අපූර්වාගේ දෙදරා යන හිනාව කාර්යාලයේ දොරෙන් ඇතුළු වුණේ එතකොටමයි

” හපෝ මේකිගේ ටකරං හිනාව ” 

විනෝද් සුපුරුදු විදියට විහිළුවකින් ම අපූර්වාව පිළිගත්තා 

” උඹලට මම නැති දවසක තේරෙයි මගේ හිනාවේ අගේ. මම නැත්තං මේ ඔෆිස් එක අමු සොහොනක් වගේ  “

අපූර්වා හිනා වෙවීම තමන්ගේ ආසනයට ගියේ එහෙම කියන ගමන්. 

” ඔව් ඔව්ව්. අපි දන්නවා උඹව මේකෙන් එලවන්න බෑ කියල දුම්මල ගහලවත්  ” 

ඒකටත් අපූර්වා ගේ උත්තරය උනේ ලස්සන හිනාවක් 

” හැබැයි උඹලගේ අම්මලට තිබ්බේ අපූර්වා කියලා නම දාන්න නෙමෙයි උඹට. හිනා මල  කියලා ” 

විනෝද් ආයෙම කිව්වා. තමන්ගෙ වැඩ නොපිරිහෙලා ඉටු කරන ගමන් ජීවිතයේ හැම මොහොතක්ම විඳින්න උත්සහ කරන තරුණියක් විදියට අපූර්වාට හැමෝම ආදරය කලා.තවත් වෙලාවකට ඇය වගේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න ඇගේ මිතුරියන් ආස කලා.

ගෙවුනු සති අන්තයේ අපූර්වා , ඇය තනිවම දුම්රියේ නැගිලා ගාල්ලේ ගියපු ගමන ගැන තබා තිබ්බ ෆේස්බුක් සටහන් දැකලා හැමෝම හිටියේ ඒ ගැන විස්තර දැනගන්න නොයිවසිල්ලෙන් 

” කොහොමද බං එච්චර දුරක් තනියෙම ගියේ ? ” 

පලවෙනි ප්‍රශ්නය මීනුගෙන් 

” ඇයි ? කෙල්ලෙකුට එහෙම තනියම යන්න බැරිද මීනූ ? ” 

අපූර්වා අහන්නේ සැහැල්ලුවෙන් 

” නෑ ඉතින් බැරි නෑ. කොල්ලෙක් වෙලත් මට බෑ හැබැයි ඔහොම ගමනක් තනියම යන්න ” 

ඊලගට කතාවට එකතු උනේ විනෝද් 

” තනියම ඉපදිලා තනියෙම මැරෙන ජීවිතේ ඇයි අපිට තනියම කෝච්චියේ නැගලා ගාල්ලට යන්න බැරි ? ” 

අපූර්වා ඒ උත්තරේ දුන්නේ හිනා වෙවී උනත්, ඒ උත්තරේ ඇතුලේ හැංගිච්ච මොකක්ද කතාවක් තියෙනවා කියලා මීනුට හිතුනා. 

” අපූර්වා බඳින කොල්ලා මාර වාසනාවන්තයි ” 

ඒ එක්කම විනෝද් තවත් කතාවක් පටන් ගත්තා 

” ඇයි ? ” 

අපූර්වා බැලුවේ පුදුමෙන් 

” නෑ ඉතින් ඕන දේකට ඔට්ටු කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ජීවිතේ පට්ට නේ ” 

විනෝද් එහෙම කියනකොට අපූර්වාගේ මූණ වෙනස් උනා.ඒ වෙනස හංගගෙන ඇය හිනාවෙන්න උත්සාහ කළා කියලා විනෝද්ට වගේම මීනුටත් දැනුනා

” නැව ගිලෙන්න ගියත් නැවේ ගැට්ටේ වාඩිවෙලා හිනා වෙන උඹට කසාදයක් ගැන කිව්වම මොකද බං උනේ ? ” 

” අනේ අනේ මේ. මම නම් දැම්ම කසාදයක් ගැන හිතන්නෙවත් නෑ ” 

ආයෙ පුරුදු හිනාවෙන්ම අපූර්වා වැඩ පටන් ගත්තා. 

කාර්යාලයේ වෙනත් අංශයක වැඩ කරපු චාමික , අපූර්වා කියන අපූරු තරුණිය ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ මේ අතරෙදි 

” එකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ චාමික , මගෙන් උඹ ගැන ඇහුවා ” 

දවල් කෑම වෙලාව අතරතුරදී විනෝද් අපූර්වාට හෙමින් සැරේ කියද්දි අපූර්වා මහ හඬින් හිනාවුනා

” යකෝ කොල්ලෙක් උඹ ගැන ඇහුවා කිව්වමත්  උඹේ ඔය කැත හිනාව දාන්නේ නැතුව ඉන්න බැරිද ? ” 

” කැතද ලස්සනද දන්නෙ නෑ මට තියෙන්නෙ මේ හිනාව විතරයි අනේ ” 

අපූර්වා කිව්වේ බත් කටක් අනන ගමන්

” හරි දැන් කතාව මග අරින්නේ නැතුව උඹ මොකද හිතන්නේ කියපන්කො ” 

” ඕවා හිතන්න තව කල් තියෙනවා ” 

අපූර්වා නැගිට්ටේ කෑම කාල අවසන් බව අඟවමින්

” සමහර වෙලාවට එයාව තේරුම් ගන්න ටිකක් අමාරුයි ” 

මීනූ කිව්වේ අත හෝදන ගමන් ජනේලයෙන් ඈත බලාගෙන ඉන්න අපූර්වා දිහා බලාගෙන 

” කොච්චර හිනාවෙලා ජොලියේ හිටියත් එයා ටිකක් ගුප්තයි කියලා මටත් වෙලාවකට හිතෙනවා. ඇත්තටම එයාගේ පර්සනල් කිසිම දෙයක් අපි දන්නේ නෑනේ මීනු “

” පර්සනල් දේවල් අපිට වැඩක් නැති වුනත් අඩුම ගානේ එයාගේ අම්මා තාත්තා ගැනවත් එයා අපි එක්ක කියලා නෑ නේද  ? ” 

අපූර්වා කියන්නේ මිත්‍රශීලී තරුණියක් වුණත් ඇය ගැන නොදන්නා දේවල් බොහොමයි කියලා විනෝද්ට වගේම මීනූටත් මතක් උනේ ඒ වෙලාවේ 

කවදාවත් නිවාඩුවක් නොගන්න අපූර්වා ඊලග සතියේ දින දෙකක් පුරාවට කාර්යාලයට නෑවිත් ඉන්නකොට ඒක කාගේත් කතා බහට හේතු වුණා. අපූර්වාගේ තුන් වෙනි නිවාඩු දිනයත් එළඹෙනකොට ඇය ගැන හොයන්න කාර්‍යාලයේ ඇයගේ ළඟම හිතවතුන් උන මීනුයි විනෝද් යි උනන්දු උනා

” අපූර්වා ගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ නේ. බොසාගෙන් අහමු. අපට කිව්වෙ නැති වුණාට නිවාඩු දාන්න බොසාට කතා කරන්න එපැයි “

විනෝද්ගේ යෝජනාව අනුව මීනූ ඔහු එක්ක ආයතන ප්‍රධානියා මුණගැහෙන්න ගියා 

” එයාට අසනීපයි කියල ගෙදර කෙනෙක් ඉන්ෆෝම් කලා ” 

ආයතන ප්‍රධානියා එහෙම උත්තරයක් දෙන කොට විනෝද් සහ මීනූ මුහුණට මුහුණ බලා ගත්තා

” බොස් අපිට ඒ contact number එක දෙනවා නම් අපිට ගිහින් එයාව බලන්න තිබුනා ” 

මීනුගෙයි විනෝද්ගෙයි ඊළඟ මෙහෙයුම උනේ අපූර්වා ව බලන්න යන එක.හරි විස්තරයක් දැන ගන්නකන් ඒ දේ කාටවත් නොකියා ඉන්නත් ඔවුන් දෙදෙනාම වගබලාගත්තා. දුරකථන අංකයට කථා කරලා විස්තර අහගත්ත මීනූ , කාර්යාලය අවසන් වුණ ගමන්ම විනෝද් එක්ක ගියේ අපූර්වා ගේ ගෙදරට. 

” දූව හොයාගෙන යාලුවෙක් ගෙදරට ආවාමයි සෑහෙන කාලෙකින් ” 

අපූර්වා වගේම සුන්දර අපූර්වාගේ අම්මා මීනුවයි විනෝද්වයි පිළි ගත්‍තේ එහෙම. 

” අපූර්වා ඉන්නේ දුකෙන් ” 

අපූර්වා ගේ අම්මා එහෙම කියනකොට මීනූට ඉබේටම විනෝද් දිහා බැලුනා

” දුක කියන්නේ මොකද්ද කියලාවත් අපූර්වා දන්නවද ” 

මීනුගේ හිතට ආපු පලවෙනි ප්‍රශ්නය ඒක. කොයි වෙලාවෙත් හිනාවෙලා ඉන්න අපූර්වා දුකෙන් ඉන්නත් දන්නවද ? 

” අපූර්වා යාළුවෙලා හිටපු ළමයාට තව කෙනෙක් ඉඳලා අහු වෙලා ඒ සම්බන්ධේ නැවතුනා. අවුරුදු දෙකක් විතර වෙනවා දැන්. එයා ඒ ගැන සෑහෙන දුක් වුණා. එයා අවුරුද්දක විතර ඉඳන් ඩිප්‍රෙශන් වලට බෙහෙතුත් බොනවා ” 

අපූර්වාගේ අම්මා කතා කරන්නේ හංගගත්ත ලොකු දුකකින් කියලා ඇගේ මුහුනෙන්ම පේන්න තිබුණා 

” ගිය සතියේ ඒ ළමයා කසාද බැඳලා. අපූර්වා ඒක දැනගෙන. එයා යන්තමින් ගොඩ එන්න පටන් ගත්තා විතරයි. ආයෙම හිටපු තැනටම ඇදගෙන වැටිලා . ඕනම දේකට ඇරෙන්න එයා කාමරයෙන් එළියට වත් එන්නේ නැහැ. බැරිම තැනයි මම ඔෆිස් එකට කෝල් කරල එයාට අසනීපයි කිව්වේ ” 

අපූර්වාගේ අම්මාගේ දෑස් වලින් කඳුළු බින්දු එක දෙක කඩාගෙන වැටෙනකොට මීනූ ඇගේ අතකින් අල්ල ගත්තා.

” හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න නෑ කියලා අපි හිතන්න හොඳ නෑ. අපි අපූර්වා වගේ හිනා වෙලා සතුටින් ඉන්න ආස කලාට , එයා හිත ඇතුලෙන් මොනතරම් දුකෙන් ඉදලා ද කියලා ඇත්තටම තේරුම් ගන්න අපිට බැරි වුණා ” 

මීනූ කිව්වේ සුසුමක් හෙළමින්.

ඡායාරූප අයිතිය – Mr Delon Facebook page

More Stories

Don't Miss


Latest Articles