Unfinished

උදේ හතයි තිහ වෙද්දී අපේ කුස්සිය හරියට යුද්ධ පිටියක් වගේ. 

දූගේ ලන්ච් බොක්ස් එක වහන ගමන්, අනිත් අතින් එයාගේ වෝටර් බොට්ල් එක පුරවනවා. ඒ අස්සේ ලයිට් බිල් එක ගෙවන්න ඔෆිස් යන ගමන් බෑන්ක් එකට යන්න ඕනේ, රෑට උයන්න බඩු ලිස්ට් එක ලියන්න ඕනේ, ගෑස් සිලින්ඩරේ ඉවර වෙන්න ළඟයිද බලන්න ඕනේ. මේ හැම මඟුලක්ම තියෙන්නෙ මගේ ඔළුව ඇතුළේ. මට කියලත් තියෙන්නෙ ඉතින් එක ඔළුවයි නෙ නේද? එක ඔළුවකින් මේ ඔක්කොම වැඩ මතක තියන් කරනෙ කොහොමද කියලා කල්පනා කරන්නකො.හුස්ම ගන්නවත් වෙලාවක් නැතිව, අවුල් වෙලා නලල දිහාවට පැන්න කොණ්ඩ ගස් කණ පිටිපස්සට කරන ගමන් මං කෑම කාමරේ ඉඳලා සාලෙ දිහාවට දුවද්දී තමයි මගේ ඇහැ ගියේ සින්ක් එක පැත්තට.

එතැන තියෙනවා අර ලා නිල් පාට සෙරමික් කෝප්පෙ. හරියටම නොදැක්කට මං දන්නවා දැන් ඔය කෝප්පෙ ඇතුලෙ තේ උගුරක් දෙකක් ඉතුරුවෙලා තියෙන විත්තිය.  ආය අවුරුදු ගාණක් තිස්සෙ එක දිගටම වෙච්ච දේ අදත් වෙනවය කියලා තේරුං ගන්න ඉතින් ඕක මං ඇස් දෙකෙන් දකින්නම ඕන කියලා එකක් නෑනෙ.

රමේෂ් හැමදාම වගේ එයාගේ තේ කෝප්පෙ සින්ක් එකට අත ඇරලා දාලා ලෑස්ති වෙන්න ගිහින්. හැමදාම ඔය මිනිහා ඕකම කරනවනෙ අනේ. මං කොච්චර කියනවද “තේක බිව්වා නම් කෝප්පෙ හෝදලා තියන්න නැත්තම් අර කහට පැල්ලම් බැඳෙනවා කොච්චර මැද්දත් යවන්න බෑ” කියලා මේ මිනිහා නෙවෙයිනෙ කණකට ගන්නෙ. ඔය ලස්සන ලස්සන කෝප්ප මං ඉස්සර බැඳපු මුල් කාලෙ ඉඳන් එකතු කරපුවා. මං කොච්චර ආසාවෙන්ද ඕවා එක්කහු කරේ කියන එක දන්නෙ මම තමයි. එහෙමෙකේ මේ රමේෂ්ට කිසි ගාණක් නැතුව ඒ කෝප්ප වල කහට පැල්ලං එක්කහු වෙනකම් සින්ක් එකේ දාලා යන එකට මට මල පනින එක සාධාරණයිනෙ අනේ.

සමහරවිට පිට කෙනෙක්ට, නැත්නම් රමේෂ්ට ඒක නිකම්ම නිකන් කෝප්පයක් විතරක් වෙන්න ඇති. ඒ වුණාට මට ඒක එහෙම නෑනෙ. මං ආසාවෙන් ඕව එක්කහු කරේ. ඒකත් මම සෝබනේට එක්කහු කරපු එකක් නෙවිනෙ මං ඒවා පාවිච්චියට ගන්නවත් එක්ක. අනික මං උදේ පාන්දර ඉඳලා නැගිටගෙන වැඩ කොච්චර නම් කරනවා කියලද? එහෙමෙකේ මේ බීල ඉවර වෙච්ච තේ කෝප්පෙ හෝදන්න, අඩුම ඒක වතුර ටිකක් එක්කහු කරලා තියන්නවත් මේ මනුස්සයට බැහැයි කියන්නෙ යකෝ හරි කතාවක්නෙ මේක. මට කතරගම දෙයියන්ට වගේ අත් සෙට් එකක් තියෙනවා කියලා හිතන් ඉන්නවද දන්නෙ නෑ ඔක්කොම් වැඩ එකපාර කරන්න.

“කෝප්පයක් නේ අනේ මං හවසට ඇවිත් හෝදන්නම්.” රමේෂ් ඕක කියන්නේ හරිම සැහැල්ලුවෙන්, ටයි එක ගැටගහන ගමන්.

ඒත් එයාට කවදාවත් තේරෙන්නේ නෑ. ඒ කෝප්ඔඑ හෝදන්න මට යන්නේ තත්පර තිහක් වෙන්න ඇති.  අනික ඔය “මං ඇවිච් හෝදන්නං” කිව්වට අන්තිමේ මං ගෙදර ඇවිත් හෝදනකම්ම කෝප්පෙ තියෙන්නෙ සින්ක් එකේමයි. මට වෙලාවකට මළ පනිනවා. එතකොට නං මට හිතෙනවා මේ කෝප්පෙ හෝදන්නෙ නැතුව මේකටම මම හෙටත් තේ හදලා දෙනවා කියලා. ඒ උනාට බෑ අප්පා එක කරන්න. රමේෂ් එක්ක තියෙන තරහට වඩා වැඩියි මගෙ හිතේ කෝප්පෙට තියෙන ආසාව. තරහා පිරිමහගන්න කියලා මං කොහොමද කෝප්පෙ කහට බැඳෙන්න අරින්නෙ. 

අනික් එක මිනිහෙක් උනාම තේරුං ගන්න ඕන නේද “මං කියන්නෙත් මනුස්සයෙක්. උන්දැ වගේම මාත් උදේ රස්සාවට යනවා හැබැයි ඒ යන්න කලින් මං ගෙදර රස්සාවත් අකුරටම කරලය යන්නෙ” කියන එක. ඒවා හිතන්නෙ නෑ. හිතන්නෙ නෑ නෙවෙයි හිතෙන්නෙ නෑ. මං උදේ හතර විතර ඉඳන් ඇහැරං උදේ කෑමයි දවල් කෑමයි හදලා, තාත්තටයි දූටයි එව්වා ගෙනියන්න පැක් කරලා, මාත් වොශ් දාන් ඔෆිස් යන්න රෙඩි වෙන්නෙ කොච්චර යුද්ධයක් කරලද කියලා දන්නෙ මං විතරනෙ. මිනිහට තියෙන්නෙ ඉතින් පුක උඩ දාන් නිදියන එක තමයි.

මෙච්චර දවසක් මං මේක ඉවසුව එක ඇත්ත ඒ වුනාට එදා නං මට එපාම වෙලා උන්නෙ. සමහරවිට මට පීරියඩ්ස් හැදිලා උන්න හන්දද මන්දා මට වෙනදා වගේ දහ ගුණයක් යකා නැග්ගා. අන්න ඒ හන්දා තමයි මං හිතුවෙ  “නෑ… මං අද ඕක හෝදන්නේ නෑ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.”

හවස ඔෆිස් ඇරිලා, බස් එකේ තෙරපිලා, දාඩිය පෙරාගෙන මං මහන්සි වෙලා ගෙදර එද්දීත්, අර කෝප්පෙ එතැනමයි. රමේෂ් මට කලින් ගෙදර ඇවිත් තිබුණත් ඒක අල්ලලාවත් තිබ්බෙ නෑ. රෑ කෑම වෙලාවෙත් ඒක සින්ක් එකේ ඔහේ තිබ්බා. මං උන්නෙ එපාම වෙලා. වෙනදා නම් කෝප්පෙට තියෙන ආසාවට මං ඕක හොදලා තිබ්බට මොකෝ මං එදා නම් හිතුවෙම කෝප්පෙට කෙලවුනත් කමක් නෑ මං නෙවෙයි ඔය පක්කලි වැඩ කරන්නෙ කියලා. ඇයි යකෝ තමන් තේ බීපු කෝප්පෙ හෝදන්න බැරි තරං මොකද්ද ගහලා තියෙන හෙණේ?

ඊළඟ දවසේ උදෙත් ඒක එතැනම එහෙමම තිබ්බා. රමේෂ් උදේ කුස්සියට ඇවිත්, ඒ පරණ කෝප්පෙ දිහා ඇහැ කොණකින් බලන ගමන්, වෙන කෝප්පයක් අරගෙන ඒකට ෆ්ලාස්ක් එකෙන් තේ වක්කරගන්නවා මම දැක්කෙ ලිපේ තිබ්බ කැරට් හොද්ද හැඳි ගාන අතරවාරෙ. 

“ඔච්චර පොඩි දෙයක් කරගන්න බැරිද අනුත්තරා?”

ඒ වචනේ මගේ හිත පසාරු කරගෙන ගියේ පිහියකින් ඇන්නා වගේ. මට හිතුණා අර හොද්ද අරන් පොළොවෙ ගහන්න. මගේ හිත මාර විදියට රිද්දුවා ඒ වචන. “මිනිහෝ මං අවුරුදු ගාණක් තිස්සෙ ඕක කරා. මේ ගෙදර ඔක්කොම ලොකු පොඩි වැඩ කරේ මං තමයි” කියන එක කෑගහලා බෙරිහං දීලා කියන්න මට කොච්චර උවමනා උනත් මං ඉගෙන ගෙන තිබ්බ ඒ වෙද්දි අම්මලා තාත්තලගෙ රණ්ඩු පොඩි දරුවන්ව බිඳුණු දරුවො කරන්න හේතු වෙන විත්තිය. මං කට පියන් උන්නෙ දරුවා ඇහැරෙයි කියන බයට. නැත්තං මං පෙන්නනවා මිනිහට ලොකු මොකද්ද පොඩි මොකද්ද කියලා.

මගේ අතේ තිබ්බ හැන්ද මං සින්ක් එක ඇතුළට අතහැරියේ සද්දෙත් එක්කමයි. ඒ සද්දෙ අස්සෙ මට වචනවලින් කියන්න බැරිවෙච්ච කතන්දර මහ ගොඩක් තිබුණා.

“මට කෝප්පෙ හෝදන්න බැරිකමක් නෑ රමේෂ්. හැමදාම ඔයා වෙනුවෙන් මං මේ හැම කුණු ගොඩක්ම අස් කරයි, ලොකු වැඩයි පොඩි වැඩයි ඔක්කොම කරන්න මං ඉන්නවා කියලා ඔයා නිකම්ම assume කරන එකයි මට දරාගන්න බැරි. මාත් මනුස්සයෙක්. මටත් මහන්සි දැනෙනවා කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? මේ ගෙදර අපි දෙන්නගෙම මිසක් මගෙ විතරක් නෙවෙයි ඒ හන්දා ඔයත් මට ගෙදර වැඩවලට උදව් වෙන්නෝන කියලා ඔයාට පොඩ්ඩක් හිතෙන්නෙ නැද්ද?” මං කෑගැහුවෙ නැ හැබැයි මං ඇහුවා.  මං කවදාවත් එහෙම කතා කරලා නැති හන්දද මන්දා රමේෂ් ටිකක් පුදුම වෙලා වගේ තමයි මං දිහාව බලාගෙන හිටියෙ. හැබැයි ඒ ඇස්වල තිබුණේ වැරැද්ද පිළිගැනීමක් නෙවෙයි; “මේ ගෑනිට පිස්සු හැදීගෙන එනවාද” වගේ බැල්මක්. එයාට ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, නිකන් ගෑනුන්ගේ බොරු රණ්ඩුවක් විතරයි.

“ඔයාලා ඔය ඉන්න ලේඩීස් ගෘප් වලින් ඔලුවට දාන කුණු දහජරාව විසබීජ තමයි ඔය වචන වෙලා කටෙන් පිටවෙන්නෙ” කියලා කිව්ව රමේෂ්  කිසිම දෙයක් නොකියා සයිලන්ට් වුණා.

“ඔයා සන්තෝස වෙන්න මම ඔයා ගැන ලේඩීස් ගෘප් වල එහෙම දාන්නෙ නැති එක” කියල මං කිව්ව නෙවෙයි මගෙ කටින් පිටවුණා. ඇත්තනෙ කොච්චර ගෑනු ඉන්නවා ඇද්ද මං වගේ ඉවසගෙන. කියවන ඔයාලට උනත් හිතෙන්න පුළුවන් “ඔය මේ කෝප්පයක් හෝදන එක මොකද්ද?” කියලා. ඒ වුණාට කරලා බලන්නකො ආස හිතෙයි!

කොහොමහරි ඔය සිද්දියෙන් පස්සෙ අපි අතරෙ තිබ්බ මොකක් හරි සැනසීමක් නැතිවෙච්ච විත්තිය මට තේරුණා. වෙනදට නම් මං රණ්ඩු උනාම රමේෂ් මොනවාහරි කියලා මාව යාලුකරගන්න ට්‍රයි කරාට මොකෝ මේ ප්‍රශ්නෙන් පස්සෙ එහෙම දෙයක් වුණේ නෑ. අපි අතරෙ මොකක් හරි තාප්පයක් බිල්ඩ් වෙන ගමන් තිබ්බෙ. අපි එකම ඇඳේ නිදාගත්තත්, අපිටම නොදැනි අපේ අතර දුර අහසට පොළොව වගේ ටික ටික වැඩි වෙන්න ගත්තා.

දවස් සති වෙලා ගෙවිලා ගියේ අපේ හිත් අස්සේ ලොකු පාළුවක් ඉතිරි කරලා. රමේෂ් එක්ක තිබ්බ ඒ සීතල යුද්ධෙ මටත් මහා වදයක් වුණා. හැබැයි මගේ ආත්මගරුත්වය නිසාම මං ඉස්සර වෙලා කතා කරන්න ගියේ නෑ.

හැබැයි ටික දවසක් යද්දී මං රමේෂ්ගේ පොඩි වෙනසක් දැක්කා. එයා වෙනදා වගේ තේ කෝප්පය සින්ක් එකට දාලා යන්නේ නැතිව, සමහර දවස්වලට ඒක හෝදලා තියන්න පටන් ගත්තා. තවත් සමහර දවස්වලට ඉතින් වෙනදා වගේම අමතක වෙලා දාලා යනවා. හැබැයි මට පෙනුණා එයා උත්සාහ කරනවා කියලා. මගේ හිත ඇතුළෙන් මට රමේෂ් ගැන පොඩි ආදරයක්, අනුකම්පාවක් නොදැනුණාම නෙවෙයි.

“දැක්කනේ කෑගැහුවට පස්සේ තමයි හැදෙන්නේ,” මං මගේ හිතටම කියාගත්තෙ රමේෂ් ඔහොම වෙනස් වෙනවා දකිද්දි..

හැබැයි අපි දෙන්නා මුහුණට මුහුණ බලාගෙන ඒ ප්‍රශ්නය ගැන ආයෙත් කවදාවත් හරියට කතා කළේ නෑ. මගේ හිතේ තිබ්බ ආඩම්බරකමයි, එයාගේ හිතේ තිබ්බ ලැජ්ජාවයි නිසා අපේ අතරේ තිබ්බ පරණ ආදරණීය කතාබහ ආයෙත් මතු වුණේ නෑ. අපි ජීවත් වුණේ නිකන් එකම වහලක් යට ඉන්න නන්නාදුනන මිනිස්සු දෙන්නෙක් වගේ. අනික් අතට සමහර වෙලාවට මමම හිතුවා “කතාකරන්න තරං ප්‍රශ්නයක් ඉතින් මෙතන නෑනෙ” කියලත්. ඇත්තනෙ මේ කෝප්පයක් හේදුවෙ නෑ කියන එක මහ දෙයක් කරගෙන ඩිස්කශන් වලට යන්නෝන නෑනෙ. මං හිතුවෙ රමේෂ් චුට්ට චුට්ට එයාගෙන් වෙච්ච වරද තේරුං අරගෙන හැදෙන්න පටන් අරගෙන කියලා.

හැබැයි දෛවය අපිට අපේ වැරදි හදාගන්න, ආයෙත් එකතු වෙලා හිනාවෙන්න කාලයක් ඉතුරු කරලා තිබ්බේ නෑ. මටත් ඒක තේරුණේ පස්සෙ.

එදා බ්‍රහස්පතින්දා හැන්දෑවක්. මං ඔෆිස් එකේ වැඩ වගයක් ඉවර කරලා ගෙදර එන්න ලෑස්ති වෙද්දීමයි මගේ ෆෝන් එක රින්ග් වුණේ. ස්ක්‍රීන් එකේ වැටුණේ රමේෂ්ගේ ඔෆිස් එකේ යාළුවෙක්ගේ නමක්. මගේ පපුව එකපාරටම ගැස්සුණා. මොකෝ හදිසියකට ඇරෙන්න සිතුම් කවදාවත් මට එහෙම කතා කරලා තිබ්බෙ නෑ මේ අවුරුදු ගාණටම. එයා එකම එක පාරයි කෝල් කරේ ඒ රමේශ්ගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක.

“අනුත්තරා රමේෂ්ට ඔෆිස් එකේදී එකපාර හාර්ට් ඇටෑක් එකක් ආවා. අපි හොස්පිට්ල් එකට අරන් යද්දීම”

එතනින් එහාට මට කිසිම දෙයක් ඇහුණේ නෑ. මගේ කන් දෙක බ්ලොක් වුණා වගේ මට දැනුණෙ. මගේ අතින් ෆෝන් එක බිමට වැටුණා. මුළු ලෝකයම මාවත් වට කරගෙන කැරකෙනවා වගේ දැනෙද්දී මං එතැනම බිම ඉඳගත්තා. මට අඬන්නවත් සිහියක් තිබ්බේ නෑ.

 රමේෂ් සදහටම යන්න ගිහින් තිබුණා.

මළගෙදර වැඩකටයුතු ඔක්කොම ඉවර වුණේ හීනයක් වගේ. නෑදෑයෝ, යාළුවෝ හැමෝම එකින් එකා එයාලගේ ගෙවල්වලට යන්න ගියා. අන්තිමට දූව අපේ අම්මලාගේ ගෙදර නතර කරලා, මං විතරක් අපේ පාලු ගෙදරට ආවා.

ගෙට ඇතුල් වෙද්දීම මට දැනුණේ මහා මූසල නිශ්ශබ්දතාවයක්. මං හෙමින් කුස්සිය පැත්තට ගියා.

කුස්සිය පුදුම විදිහට පිරිසිදුයි. හැමදේම පිළිවෙළකට, තියෙන්න ඕන තැන්වල තිබුණා. මං සින්ක් එක දිහා බැලුවා. සින්ක් එක දිලිසෙනවා. එකම එක අපිරිසිදු පිඟානක්, එකම එක හැන්දක්වත් එතැන තිබ්බෙ නෑ.

හැබැයි මට ඒක දරාගන්න පුළුවන් වුණේ නෑ. හැමදාම උදේට මාව තරහ ගස්සපු, මාව රිද්දවපු හේතුව දැන් එතැන නැති උනත් මට සන්තෝසයක් දැනුනෙ නෑ.

අන්න එවෙලෙ තමයි මට තේරුණේ මෙච්චර දවසක් සින්ක් එකේ ඉතුරුවෙලා තිබ්බ කහට බැඳිච්ච තේ කෝප්පෙ කියන්නෙ තවදුරටත් නිකන්ම නිකන් තේ කෝප්පයක් නෙවෙයි කියන එක. ඒක තමයි රමේෂ් මේ ගෙදර පණ පිටින් ඉන්නවා කියන්න තිබ්බ ලොකුම සාක්කිය. එයාගේ සද්දෙ, එයාගේ හුස්ම, එයාගේ නොසැලකිලිමත්කම අස්සේ හැංගිලා තිබ්බ ආදරේ ඒ හැමදේම තිබ්බේ ඒ කෝප්පෙ අස්සේ කියලා මට තේරුණේ එවෙලෙ.

කාමරේ පුරාම රමේෂ්ගේ සුවඳ තිබ්බත්, කුස්සියේ සින්ක් එක ළඟ තිබ්බ හිස්කම මට දරාගන්න බැරි වුණා. මං සින්ක් එක අල්ලගෙන මහ හයියෙන් අඬන්න ගත්තා. මට ඇත්තටම හිතාගන්න බැරි විදියට ඇඬුණා. මට ඕන වුණා එකම එක පාරක් හරි රමේෂ් ආයෙත් ඇවිත් ඒ කෝප්පය සින්ක් එකට දාලා යනවා දකින්න. මං එදා කරපු රණ්ඩුව ගැන මට දැනුණේ මහා පසුතැවීමක්.

අඬලා අඬලා හති වැටිලා, මං හෙමින් මගේ ඇස් පිසදාගෙන පැන්ට්‍රිය පැත්ත බැලුවා.

පැන්ට්‍රියේ ඈතම කොනක, මයික්‍රොවේව් එකට පිටිපස්සෙන් මං දැක්කා ලා නිල් පාට මොකක් හරි දෙයක්

මං හෙමින් පැන්ට්‍රි කවුන්ටරේ ළඟට කිට්ටු වුණා. මයික්‍රොවේව් එකට පිටිපස්සේ හැංගිලා තිබ්බෙ රමේෂ්ගෙ තේ කෝප්පෙ.

ඒක රමේෂ් මැරෙන්න කලින් දවසේ උදේ බීලා, මට අහුනොවෙන්න පැන්ට්‍රියේ කොනකින් තියලා ගිය තේ කෝප්පෙ. දවස් කිහිපයක්ම ගත වෙච්ච නිසාද මන්දා කෝප්පෙ වටේටම ලා දුඹුරු පාට තේ පැල්ලම් වේලිලා, කළු ගැහිලා තිබුණා.

මට ඕන වුණා ඒ කෝප්පෙ හෝදලා අරන් තියන්න. 

ඒත් මට ඒක කරන්න හිත ඉඩ දුන්නෙ නෑ.

“අපි හැමදාම හිතන්නේ අපේ ජීවිත වල ඉන්න මිනිස්සුන්ව අගේ කරන්න අපිට ඕනතරං කාලෙ තියෙනවා කියලා. හැබැයි දෛවය අපිට ඉතිරි කරලා යන්නේ, කවදාවත් සෝදා හරින්න බැරි සදාකාලික පසුතැවීමේ පැල්ලම් විතරයි” කියන එක මට තේරුණේ අන්න එවෙලෙ.

More Stories

Don't Miss


Latest Articles