Misunderstand (Short Story)

රශ්මි වැඩ ඇරිලා ඉවර වෙලා කාර්යාලය ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට ගිහින් දුරකථනයේ සටහන් කරගෙන තිබුණු බඩු ලැයිස්තුවට අනුව බඩු තෝරන්න පටන් ගත්තා. රාක්ක අතරින් ඇවිදගෙන යනකොට තරමක් මිල අධික චොකලට් වර්ගයක් දැක්ක රශ්මි ඒක බඩු වලින් පිරුණු කරත්තයට එකතු කර ගත්තා.

රශ්මි ගෙදර ආවෙ තවත් පැය භාගයකට විතර පස්සේ.ඒ වෙනකොටත් මාධවී ගෙදර ඇවිල්ලයි හිටියේ. මාධවී කියන්නේ රශ්මිගේ පාසල් මිතුරියක්. ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ ආපහු ගමට ගිය මාධවී රැකියාවකට කොළඹ ඇවිල්ලා මාස ගානකට පස්සේ දවසක් රෑක රශ්මිට ඇමතුමක් දුන්නා. 

”  මං නැවතිලා ඉන්න බෝඩිමෙන් මට යන්න වෙනවා රශ්මි.අනේ ඔයාට පුළුවන්ද මට තැනක් හොයලා දෙන්න ? ” 

මාධවී ඒ උදව්ව රශ්මිගෙන් ඉල්ලුවේ රශ්මි කොළඹ හැම තැනක්ම හැම දෙයක්ම වගේ හොඳින් දන්න නිසා. රශ්මි අධ්‍යාපනය අවසන් කරලා ඉවර උනාට පස්සේ ඇගේ දෙමව්පියන් විදෙස් ගතවුණේ රශ්මි විදෙස් ගත වෙන්න අකමැති වුන නිසාත්, ඇය රැකියාවක් කරලා බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නත් කැමති වුන නිසායි. රශ්මිට උවමනා වුන ස්වාධීන ජීවිතය ගෙවන්න වගේ දෙමව්පියන් ඇයට ඉඩ දුන්නේ ඇය ඒ වෙනකොට හිටියේ තමන් පිළිබඳව තීරණ ගන්න පුළුවන් වයසක නිසා.

” වෙන කොහෙවත් යන්නේ මොකටද? අපේ ගෙදර මං විතරයිනේ ඉන්නෙ මාධවී ඔයා මෙහෙ එන්න ” 

රශ්මි තමන් විතරක් ඉන්න ඒ ගෙදරට මාධවීට ආරාධනා කරේ බොහොම කැමැත්තෙන්. මාධවී තරමක් ආර්ථික අපහසුතා මධ්‍යයේ කල්ගෙවන බව දන්න නිසා බෝඩිම් කාමරයකට ගෙවන කුලිය ඉතුරු කර ගන්න එක ඇයට තරමක් දුරට හරි සහනයක් වෙයි කියලා රශ්මි හිතුවා.

මාධවී රශ්මිගේ ගෙදර පදිංචියට ආවේ එහෙම.  ඇගේ ගෙදර බොහොම සුවපහසු කාමරයක් මාධවී වෙනුවෙන් වෙන් කරද්දී මාධවී උදේ හවා ඒ ගැන රශ්මිට ස්තුතිවන්ත උනා.

රසට කෑම උයන්න හැකියාව තිබුණ රශ්මි හැමදාම උදේට මාධවීටත් එක්ක කෑම හැදුවා. හම්බ වෙන පුංචි වැටුපෙන් ජීවත්වීම එක්ක විශාල අරගලයක් කරපු මාධවී ඊට පස්සේ ගෙව්වේ බොහොම සුවපහසු ජීවිතයක්. ඒ වගේම රශ්මි හොඳ යාළුවෙක් විදිහට මාධවීගෙ ජීවිතය හැම වෙලාවෙම සතුටින් තියන්න උත්සහ කරා.

” මේක ගෙනාවේ ඔයාට ” 

රශ්මි තමන් අරගෙන ආපු චොකලට් එක මාධවීට දිගු කරේ සැබෑම ආදරයකින්. සාලයේ පුටුවක් උඩ වැතිරිලා දුරකථනය දිහාවට ඇස් යොමු කරගෙන හිටපු මාධවී ගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.

” අනේ.. මේක ගොඩක් ගණන් නේ රශ්මි ” 

” ඒ වුනාට ඉතිං ඔයා ආස නිසා මං ගෙනාවා”

රශ්මි අතේ තිබුණු බඩු ටිකත් අරගෙන කුස්සියේ පැත්තට යනකොට මාධවී එහෙමම ආයෙත් පුටුවෙ දිගා වුණේ රශ්මි ඊලඟට කරන්නේ රෑට කෑම හදන එක බව දන්න නිසාමයි. ගෙදර පිරිසිදු කරන වැඩක් හැරුණු කොට රැකියාව ඉවර වෙලා ඇවිත් කරන්න ඒ හැටි වැඩක් මාධවීට තිබුනෙ නැහැ.බෝඩිම් ජීවිතයේදී තමන්ගේ ඇඳුම් අතින් හෝදගන්න උනත් රශ්මිගේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රයක් තියෙන නිසා මාධවීට ඒ ප්‍රශ්නෙනුත් මිදෙන්න පුළුවන් වුණා.

තමන් ගන්න වැටුපෙන් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙන්න පටන් ගත්ත නිසා රුපියලක් පවා අරපිරිමැස්මෙන් වියදම් කරපු මාධවී ඒ අරපරිස්සම අමතක කරලා තමන් ආස කරන විදිහේ ඇඳුම් පැළඳුම් ඇතුළු විවිධාකාරයේ දේවල් වලට වියදම් කරන්න පටන් ගත්තා.

” ඕනම කරන දේවල් විතරක් අරගෙන සල්ලි ටිකක් ඉතුරු කරගන්න මාධවී “

වැටුපක් ලැබුණු දවසක මාධවී ලොකු මුදලක් වියදම් කරලා අරගෙන ආපු ඇඳුම් ගොඩ දැක්කම රශ්මි එහෙම කියද්දී මාධවීගේ හිතේ ඇති වුණේ නොරිස්සුමක්. ඕන තරම් සැප සම්පත් සහිතව ජීවත් වුන රශ්මි කවදාවත් ඕනෑවට වඩා මුදල් වියදම් කරන්නේ නැති එක ලෝභකම කියලාත්, තමන් ලස්සනට ඉන්න ඒක ගැන රශ්මි ඉරිසියාවකින් ඉන්නවා කියලත් මාධවී හිතන්න පටන් ගත්තා. 

වෙනදට රශ්මිටත් කලින් වැඩ ඉවර වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න මාධවී එන්න එන්නම ගෙදර එන්න රෑ වෙනකොට ඒක ඇගේ පෞද්ගලික කාරණාවක් නිසා රශ්මි නිහඬව හිටියත් මාධවී රෑ වෙන දවස් වැඩි වුනා මිසක් අඩු වුණේ නැහැ.

” ඔයා ඉන්න රෑ වෙනවනං මට කලින් කියන්න මාධවී ” 

දවසක් මාධවී එනකන් ඇහැරිලා හිටපු රශ්මි එහෙම කියද්දී මාධවී ගේ මූණ අඳුරු උනා.

” ඇයි ? ” 

” ගොඩක් දවස් වලට ඔයා රෑට කන්නෙ නෑ නේ.ඔයා කන්නෑ කිව්වොත් මට ඔය මොන හරි කාලා ඉන්න පුළුවන්.අලුතෙන් කෑම හදන්න ඕන නෑනේ ” 

රශ්මි සිනාමුසු මූණෙන් උත්තර දුන්නට මාධවී ඒක සිනාමසුව පිළිගත්තේ නැහැ.

මාධවී නිවසට එන්න ප්‍රමාද වෙන හේතුව පෙම්වතෙක් බව රශ්මිට ආරංචි වෙන්නේ මිතුරියක මාර්ගයෙන්. 

” මාධවී ඔහොම ගිහින් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ රශ්මි. එයා යාළු වෙලා ඉන්න ඔය අනුෂ්කව මං හොඳට දන්නවා.එයාට හැම තැනම ගෑණු ළමයි ” 

කොළඹ ගැන තාමත් හයක් හතරක් නොදැන ජීවත් වෙන තමන්ගේ මිතුරිය ගැන රශ්මිට ඒ වෙලාවේ ඇති වුණේ කම්පාවක්. ඒත් ඇගේ පෞද්ගලික ජීවිතයට එබෙන්න රශ්මිට ඕන වුනේ නැහැ.

ඒත් තමන් එක්ක එක ගෙදරක ජීවත් වෙන පාසල් කාලයේ ඉඳලම දන්න හඳුනන මිතුරියට අවැඩක් වෙන්න ඇරලා බලාගෙන ඉන්න රශ්මිට ඕන වුණේ නැහැ.ඒ නිසා ඇගේ හිත රිදෙන්නෙ නැති වෙන්න යමක් කියන්න රශ්මි කල් බැලුවා.ඒකට වෙලාවක් ආවේ තවත් දවස් දෙකකට විතර පස්සේ දීර්ඝ සති අන්තයක් ආරම්භ වෙන්න යනකොට.

” මම මේ වීකෙන්ඩ් එකේ ගෙදර නෑ රශ්මි. සෙනසුරාද උදේ ගියාම මං එන්නේ ආපහු සඳුදා රෑට “

මාධවී කිව්වේ වේලෙන්න දාලා තිබුන රෙදි ටිකක් උකුලේ තියාගෙන නවන ගමන්.

” ගමේ යනවද? ” 

රශ්මි මාධවී ගාවට ඇවිල්ලා වාඩිවුණා.

” නෑ. යාළුවො ටිකක් එක්ක ට්‍රිප් එකක් යනව “

මාධවී රශ්මිගේ ඇස් මඟ ඇරලා උත්තර දෙනකොට ඒ යන ගමන මොකක්ද කියලා තේරුම් ගන්න රශ්මිට අපහසු වුණේ නැහැ.

” මේ කොළඹ ජීවිතේ අපි හිතන තරම් සුන්දර නෑ මාධවී. විශේෂයෙන්ම ඔයා වගේ ගමක ඉඳලා කොළඹට ආපු ගෑණු ළමයෙකුට. ඒ නැතත් ගෑණු ළමයෙකුට වරදින්න තියෙන ඉඩ හරිම වැඩියි. මොන දේ කරත් පරිස්සමෙන් කරන්න “

රශ්මි ඒ වචන ටික කියලා ඉවර වෙනවත් එක්කම මාධවී වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ කෝපයෙන්.

” ඔයාට මං ගැන මාර ඉරිසියාවක් නේද තියෙන්නේ ? ඔයාගේ ගෙදර හිටියා කියලා මං ඔයාට ඕන විදියට ජීවත් වෙන්න ඕනේ ? ” 

රශ්මි තිගැස්සුනා.ඒ , මාධවීගෙන් ඒ විදිහ දෙයක් බලාපොරොත්තු නොවුන හින්දා.

” ඔයා මං කියපු දේ වැරදියට තේරුම් ගත්තා නේද ? ” 

රශ්මි සන්සුන්ව ඇහුවා.ඒත් මාධවීගේ ඇස් වල තිබුණ කෝපය ටිකක් වත් අඩුවුණ බවක් පේන්න තිබුනේ නැහැ.

” දැන් තමයි මං හරියට තේරුම් ගත්තේ.මං පොඩ්ඩක් හොඳට අඳිනකොට, මං පොඩ්ඩක් දියුණු වෙනකොට ඔයාට බලාගෙන ඉන්න බෑ නේද ? මං ගොඩක් දවස් ඉඳලා බලාගෙන හිටියේ. මං ට්‍රිප් එකක් යන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්  එක්ක. ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති නිසා ඔයාට ඒ ගැන ඉරිසියයිද ? “

මාධවී එක එල්ලේම වචන වලින් පහර දුන්නා. ඒත් තමන් ඇගේ තත්ත්වයට වැටෙන්න අවශ්‍ය නැති නිසා රශ්මි තවදුරටත් සන්සුන් වුණා.

” මං අනුෂ්ක ගැන දන්නවා.මං විතරක් නෙමෙයි මගේ ගොඩක් යාළුවොත් දන්නවා.ඔයා ඔය පැටලිලා ඉන්නෙ ඒ තරම් හොඳ තැනක නෙමෙයි “

” මං කිව්වේ බොරුද?අනුෂ්ක වගේ කෙනෙක් මට හම්බුනාට ඔයාට මාර ඉරිසියාවක් තියෙන්නේ” 

අතේ තිබුණ ඇඳුම් ටිකත් අරගෙන මාධවී කෝපයෙන් කාමරයට ගිහිල්ලා දොර වහගත්තා. රශ්මි මොහොතක් නිසොල්මනේ ඒ දිහා බලාගෙන හිටියේ තමන්ගේ මිතුරිය ගැන උපන්න අනුකම්පාවෙන්.

රශ්මිගේ මූණවත් නොබලා දවස් දෙකක් විතර ඇගේම නිවසේ හිටපු මාධවී විනෝද චාරිකාව යන දවසේ ඇයට අයත් දේවල් සියල්ලම අරගෙන ගෙදරින් පිට වුණේ රශ්මිටත් නොකියාමයි. 

මාධවී ඒ ගියේ කොහෙද කියලා රශ්මි දැනගෙන හිටියේ නැහැ. තවත් ටික දවසකට පස්සේ වෙළෙඳ සැලකදීී රශ්මිට මාධවී තමන්ගේ නිවසට එන්න ඉස්සෙල්ලා හිටපු බෝඩිමේ හිමිකාරියව මුණගැහුනා.

” මාධවීව එදා මට බෝඩිමෙන් යවන්න වුණේ එයා එතනට පිරිමි ළමයෙක්ව ගෙන්න ගත්ත හින්දා.තව ගෑණු ළමයි ටිකක් ඉන්න තැනක එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්න බෑනේ. මට ඒ ළමයි ගැන වගකීමක් තියෙනවා.ඒ නිසා වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ “

මාධවී නිස්කාරනේ ජීවිතේ නාස්ති කර ගෙන කියලා තේරුම් ගන්න රශ්මිට වැඩි වෙලාවක් ගියේ නෑ.

” කොහේ හරි ගමකින් කොළඹට ඇවිල්ලා තමන්ට ඕන ඕන හැටියට ජීවත් වෙන එක නෙමෙයි ළමයෝ වීරකම. තමන්ව රැකගෙන ජීවත් වෙන එක. මාධවීට ඒ ගැන තේරුමක් නෑ. ඔයාව මෙහෙම හරි අහම්බෙන් හම්බුන එක හොඳයි. ඔයාවත් එයාට කියලා දෙන්න”

එහෙම කියපු බෝඩිමේ හිමිකාරිය රශ්මිට සමු දීල ගියාට පස්සේ රශ්මි ගෙදර ආවෙ හිතේ ලොකු බරකින්. ඒ වෙලාවෙම දුරකථන ඇමතුමක් ආවේ ළඟම මිතුරියකගෙන්.

” මාධවී පහුගිය ටිකේ ඉඳලා තියෙන්නේ අනුෂ්කත් එක්ක. අනුෂ්කගේ වෙන ගෑණු ළමයෙක්ගේ ප්‍රශ්නයක් මාධවීට අහුවෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා. මාධවී ජොබ් එකෙනුත් අයින් වෙලා ගමට ගිහින් ” 

තමන්ව වැරදියට තේරුම් නොගෙන හරි පාරක යන්න පුළුවන්කම තියෙද්දි තමන්ගේ මිතුරිය ජීවිතය වරද්ද ගත්ත කණගාටුව රශ්මිට නොනවත්වාම දැණුනා.

” මේ කොළඹ ජීවිතේ අපි හිතන තරම් සුන්දර නෑ මාධවී. විශේෂයෙන්ම ඔයා වගේ ගමක ඉඳලා කොළඹට ආපු ගෑණු ළමයෙකුට. ඒ නැතත් ගෑණු ළමයෙකුට වරදින්න තියෙන ඉඩ හරිම වැඩියි. මොන දේ කරත් පරිස්සමෙන් කරන්න “

දවස් කීපයකට කලින් තමන් මාධවීට කියපු වචන මාධවී තේරුම් ගත්තනම් අද වෙනකොට ඇයට මේ වගේ විපතකට මුහුණ දෙන්න වෙන්නේ නෑ කියලා රශ්මිට ආයෙ ආයෙමත් හිතුනා. 

More Stories

Don't Miss


Latest Articles