වසන්තය

වර්ෂා හිටියේ කාර්ය බහුල ඉරිදා දවසක් නිමාකරමින්.තනියම ජීවත් වෙන පුංචි ගෙදර උයන පිහන වැඩවල ඉඳලා හැම වැඩක්ම තනියම කරන නිසා ගෙදර අස් කරන එක, ගෙදර වෙනස් කරන එක වගේ හිත සැනසෙන හුඟක් දේවල් වර්ෂා යොදාගෙන හිටියේ ඉරිදා දවසට. 

රෑ හතට විතර කෝපි එකක් හදාගත්ත වර්ෂා ගිය සතියේ ගත්ත අලුත්ම පොත අරගෙන බැල්කනියට ඇවිල්ලා වාඩි වුනේ තවත් පැය දෙකක් විතර ගත කරන්න හිතාගෙන. පැත්තක තිබුණු ජංගම දුරකථනය නාදවුනේ ඒ වෙලාවේ.ඇමතුම කාර්යාලයේ මිතුරිය වුණු උපේක්ෂාගෙන්.

” ඔයා වැඩකද හිටියේ වර්ෂා ? ” 

” පොතක් කියවන්න හැදුවේ ” 

” ඔයාට පණිවිඩයක් කියන්න ගත්තේ”

වර්ෂා පොත පැත්තකින් තියලා බැල්කනියෙන් ඈත පේන විදුලි එළි දැල්වෙන ගොඩනැගිලි දිහා බලාගෙන හිටියා.

” මොකක්ද උපේක්ෂා පණිවිඩේ? ” 

” අපේ සෙට් එක වැලන්ටයින්ස් එකට පාටි එකක් දානවා. අනිද්දට. මේක ඕගනයිස් කරන්නේ මමයි සාගරයි. මම දැන් මේ එක එක්කෙනාට කෝල් කරලා ඉන්වයිට් කරන ගමන් “

වර්ෂා උපේක්ෂාට නෑහෙන්න සුසුමක් හෙළුවා. ආදරවන්තයන්ගේ දිනය මීට අවුරුදු කීපයකට කලින් සැමරුවත් , අවුරුදු තුනක ඉඳලා ඒ දිනය සමරන්න වර්ෂාගේ කැමැත්තක්වත් අදහසක්වත් තිබුනේ නැහැ.

” ඇයි ඔයා සද්දයක් නැත්තේ ? පරණ දේවල් අමතක කරලා අපි අනිද්දට එන්ජෝයි කරමු අනේ ” 

” බලමුකෝ උපේක්ෂා “

මිතුරියගේ ඇවිටිල්ලෙන් බේරෙන්න බැරිම තැන ඒ වගේ උත්තරයක් දීපු දුරකථන ඇමතුම අවසන් කරා.

පොත කියවන්න කියලා බැල්කනියට ආවත් කොහේදෝ තිබුණ මතක ටිකක් හිතේ හැප්පුන නිසා වර්ෂා බැල්කනිය පහු කරගෙන යන සීතල සුළං පහර විඳගෙන පුටුවට බර වුණා.

පහුගිය අවුරුදු තුනක් තමන් තනියම එකම මතකයක් එක්ක කොහොම ගෙව්වද කියලා ඒ වෙලාවෙදිත් වර්ෂාට හිතාගන්න බැරි වුණා.ජීවිතය කියන්නේ ඒ තරම්ම අනපේක්ෂිත දෙයක් කියලා හිතන්න උත්සාහ කරපු වර්ෂා හෙමින් සීරුවේ දෑස් පියා ගත්තා.

” උවිඳු ” 

වර්ෂාට උවිඳුව මුණගැහෙන්නේ තවත් ආයතනයක් එක්ක රැස්වීමකට ගිය වෙලාවක.ඒ ආයතනයේ කළමනාකරුවෙකුගේ තනතුර දරපු උවිදු ඊට පස්සේ වරින් වර වර්ෂා එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණේ වර්ෂා සේවය කරපු ආයතනයේ විශේෂ උත්සවයක් සම්බන්ධයෙන්. ඒ උත්සවයේ සියලුම සැලසුම් කටයුතු දැරුවේ උවිඳු සේවය කරන ආයතනයෙන්.

මේ විදියට පටන් ගත්ත හිතවත්කම ආදරයකට පෙරළෙන්න ගත වුණේ මාස පහක් හයක් වගේ කාලයක්. වර්ෂා රත්නපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා නිවාස සංකීර්ණයක පුංචි ගෙයක් කුලියට අරගෙන ගෙවපු සැහැල්ලු ජීවිතේ තවත් සැහැල්ලු වෙන්න පටන් ගත්තේ උවිඳුව මුණ ගැහුනාට පස්සේ.

තනියම ගෙවුණු හැම හවසක්ම ආදරයෙන් පිරෙන්න පටන් ගත්තේ නොහිතපු විදිහට. උවිඳුත් එක්ක ලස්සන අනාගතයක් ගැන වර්ෂා හැම වෙලාවෙම හීන දැක්කා. වෙනදාට වඩා ජීවිතය ගැන වගකීමෙන් හිතපු වර්ෂා අනාගතය වෙනුවෙන් සැලකිල්ලෙන් මුදල් ඉතිරි කළා. 

” මේ පාර ගමේ ගියාම මං අම්මටයි තාත්තටයි හොයා ගැන කියන්න හිතන් ඉන්නේ උවිඳු “

එක හවසක ගෝල්ෆේස් එක අයිනේ වාඩිවෙලා ඉන්නකොට වර්ෂා කිව්වේ දෑස් වල බලාපොරොත්තුවක් දල්වගෙන.ඒත් ඇය හිතපු තරම් සතුටක් උවිඳු ගෙන් දකින්න තිබුණෙ නැහැ.

” අපි තව ටික කාලයක් ඉමු වර්ෂා. අම්මලාට කියන්න තරං දැම්ම හදිසි වෙන්න ඕනේ නැහැ.අපි තාම දන්නෙ නෑනෙ අපි දෙන්නා ගැලපෙනවද කියලවත් හරියට ” 

උවිඳු එහෙම උත්තරයක් දුන්නේ ඈතින් පේන මුහුද දිහා බලාගෙන.

” මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු නෑ උවිඳු. නොගැලපෙන දේවල් අපි ගලපගන්න ඕනේ.ඒකටයි තේරුම් ගැනීම කියන්නේ ” 

වර්ෂා ජීවිතය දිහා බැලුවෙ වෙනස්ම විදිහකට. ඒ ජීවිතය ඇතුළෙ තිබුණෙම අනාගතය ගැන හීනයි බලාපොරොත්තුයි. ඒ හීන බලාපොරොත්තු හැම එකකම අගිස්සේ උවිඳු හිටියා.

” ඒ වුණාට මං කියන්නේ ඔයා ඕකට කලබල වෙන්න එපා. අපිට තව කොච්චර දුර යන්න තියෙනවද ” 

වර්ෂා ඒ කතාව එතනින් නතර කරා. ඒත් ඇය ගෙදර ආවේ පුංචි හිත් රිදීමක් එක්ක.ඒ උවිඳු ගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් හිටපු නිසා. 

මාස කීපයක් ගෙවිලා ගියා. වර්ෂා සතියට කීප සැරයක්ම හවස්වරුවල උවිඳුව මුණගැහුනා. වර්ෂගේ කාර්යාලයේ මිතුරු මිතුරියන් හුඟ දෙනෙක් උවිඳුව දැනගෙන හිටියා වගේම මිතුරු හමුවීම් වලට උවිඳුටත් ආරාධනා ලැබුණා.

ඒ අතරතුර කාලයේදී වර්ෂා කීප සැරයක්ම උවිඳු ගැන දෙමව්පියන් ඒක කතාබහ කරන්න සූදානම් වෙනකොට උවිඳු ඒක වැළැක්වුවා.ඒ හැම පාරකම හිත හදාගත්ත වර්ෂාට ඒකට හරියටම හේතුව දැන ගන්න ලැබුණේ තවත් ටික දවසකට පස්සේ. ඒ දුරකථන ඇමතුමක් මාර්ගයෙන්.

” උවිඳුගෙයි මගෙයි එෆෙයාර් එකට දැන් අවුරුද්දක් වෙනවා.එයා ලබන සතියේ මගේ අම්මලව හම්බවෙන්න අපේ ගෙදරත් එනවා. අනික අම්මලා එයා ගැන දන්නවා.ඒ නිසා මං ඉන්නේ මේක නතර කරන්න පුලුවන් තැනක නෙමෙයි වර්ෂා.ඒක කරන්න ලේසිම ඔයාට ” 

පූජා කියන නමකින් තරුණියකගෙන් ආපු ඇමතුමක් වර්ෂාගේ ලෝකය උඩු යටිකුරු කළේ එහෙම. කාර්යාලයෙන් නිවාඩුවක් දාපු වර්ෂා ගෙදර ආවේ දහසකුත් බලාපොරොත්තු දෙපා මුලට කඩා වැටෙන ශෝකය දරා ගන්න බැරුව. 

වර්ෂාව රැවටීම ගැන උවිඳු ට තිබුණෙ හරිම සරල පිළිතුරක්.

” මං ඒකනේ ඔයාට කිව්වේ අපි ගැලපෙනවද කියලා බලන්න ඕනේ කියලා.අනික මං කොතනකදිවත් කිව්වෙ නෑනෙ අපි කසාද බඳිනවාමයි කියලා. ඔයාටනේ හදිසි වුණේ ගෙදරට කියන්න. අපි දෙන්නගෙ සමහර දේවල් ගැලපෙන්නෙ නෑ කියලා හිතුන නිසා තමයි මං කිව්වේ දැම්ම ගෙදරට කියන්න එපා කියලා “

” ඒත් ඔයා මාව රැවැට්ටුවා උවිඳු. ඔයා ඒක පිලිගන්නවද ? “

පිළිතුරක් නොදීම දුරකථන ඇමතුම අවසන් කරපු උවිඳු හරිම අකාරුණික විදිහට භාෂාට ඔහු එක්ක සම්බන්ධ වෙන්න තියෙන හැම මාර්ගයක්ම වහලා දැම්මා. තමන් කරපු වැරැද්ද මොකද්ද කියලවත් නොදැන වර්ෂා දවස් ගානක් ම කාර්යාලයේ නිවාඩු අරගෙන ගේ ඇතුලට වෙලා හඬා වැටුනා.

සමු ගැනීමක් වත් , තමන් කරපු වරද මොකක්ද කියලවත් නොදන්න සම්බන්ධයක අවසානය වුනේ ඒක.

අවුරුදු තුනකුත් පහු වෙනකන් වර්ෂා එතනම නැවතිලා හිටියේ ජීවිතයට තව කෙනෙක් විශ්වාස කරන්න බැහැ කියන කාරණාව හින්දා.දෛවය ඇයට අකාරුණික වුනා කියලා විතරක් ඇය හිතන්න පටන් ගත්තා.

පෙම්වතුන්ගේ දිනය සැලසුම් කරපු සාදයට වර්ෂා සහභාගී උනේ මිතුරු මිතුරියන්ගේ ඉල්ලීම අහක දාන්න බැරිම තැන. හැමෝම තමන්ගේ පෙම්වතා එක්ක පෙම්වතිය එක්ක සාදයට සහභාගි වෙලා ඉන්නකොට වර්ෂා සහ තවත් කීපදෙනෙක් විතරක් තනි තනිවම සාදයට සහභාගි වෙලා හිටියා.

” මං ඔයාට මේකට මෙච්චර එන්නම කිව්ව හේතුවක් ඇතුවයි වර්ෂා ” 

බීම වීදුරුවක් අතේ තියාගෙන පැත්තක වාඩි වෙලා ඉන්න වර්ෂා ළඟට ආපු උපේක්ෂා එහෙම කිව්වේ හිනාවකින් මූණ සරසගෙන.

” ඔයා වගේම රැවටිච්ච කෙනෙක් ඉන්නවා. ඔයාටත් වැඩිය කාලයක් තනියම හිටපු “

වර්ෂාගේ ඇස් පුදුමයෙන් මහත් වුණා. ඊට පස්සේ උපේක්ෂා වර්ෂාට පෙන්නුවේ ඔවුන් වාඩිවෙලා හිටපු තැනට මදක් නුදුරින් වාඩිවෙලා දුරකථනය දිහා බලාගෙන හිටපු කඩවසම් තරුණයෙක්ව.

” මාධව ” 

උපේක්ෂා කිව්වා වගේම අවුරුදු ගණනාවකට කලින් රැවටීමකට ලක්වෙච්ච මාධව ඊට පස්සේ තමන්ගෙ උපාධිය අවසන් කරලා ඉහළ පෙළේ රැකියාවකුත් කරන ගමන් විදේශ රටක උපාධියක් හදාරන්න සූදානම් වෙමින් හිටියා. දෙමව්පියන්ගේ පෙරැත්තය නිසාම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් මාධවට ඒකට සුදුසු කෙනෙක් මුණගැහිලා තිබුනෙ නැහැ.

බොහොම සරල කතා බහකින් පස්සේ දුරකථන අංක හුවමාරු කරගෙන වර්ෂා ගෙදර ආවෙ ඒ තරම් බලාපොරොත්තුවක් නැතිව. අවුරුදු ගානකට කලින් උවිඳු හිතේ ඉතිරි කරලා ගිය බය වර්ෂාට ඒ වෙනකොටත් දැනෙමින් තිබුණා.

ඒත් හැම කෙනෙක්ම උවිඳු වගේ අකාරුණික නෑ කියලා වර්ෂා ඉදිරියේ ඔප්පු කරන්න මාධවට ඒ තරම් කාලයක් ගියේ නැහැ. එකිනෙකා තුළ තිබුණු වේදනාව බර මතකයන් අමතක වෙන්න තවත් ටික කාලයක් ගියේ ජීවිතයේ හැමදාම දෛවය අකාරුණික වෙන්නෙ නෑ කියලා දෙන්නටම මතක් කරලා දෙන ගමන්.

නිස්කාරණේ කාලය නාස්ති කරනවා වෙනුවට මාධවට උවමනා වුනේ කෙලින්ම වර්ෂාගේ දෙමාපියන් මුණගැහිලා ඇයව විවාහ කර ගෙන විදෙස් ගත වෙන්න. 

වර්ෂාට දුන්න හැම පොරොන්දුවක්ම මාධව ඒ විදිහටම ඉෂ්ට කළේ ආදරණීය හදවත් තවමත් මේ ලෝකයේ ඉතිරි වෙලා තියෙනවා කියලා පෙන්නලයි.

More Stories

Don't Miss


Latest Articles