Sacrifice

ප්‍රේමලතාට උදේ ඇහැරුණේ කුස්සිය පැත්තෙන් එන පරිප්පු තෙම්පරාදුවක සුවඳට.ලහි ලහියේ ඇඳෙන් බැස්ස ප්‍රේමලතා යන්තම් මූණ හෝදගෙන කුස්සියට ආවේ තමන්ට කලින් අවදි වුණ ලේලි කෑම හදනවා කියලා දැනගෙනමයි.

” මට කලින් ඇහැරුනෙ ඇයි ? ” 

ප්‍රේමලතා ඇහුවේ ලිප උඩ ඉදෙන පරිප්පුව දිහා බලන ගමන්. 

” අද සමීර ටිකක් කලින් යන්න ඕන කිව්වා අම්මේ. මොකක්ද මීටින් එකක් තියෙනවලු ” 

හසිනි නොවෙනස් හිනාවකින් උත්තර දුන්නා.

” ඉතිං ඕක ඊයෙ රෑ කියන්න තිබ්බනේ. එහෙනම් මං නැගිටලා උයනවනේ ” 

ප්‍රේමලතා නොරිස්සමෙන් වගේ කියන ගමන් උයන්න ලෑස්ති කරලා තිබුන මාළු ටික හෝදන්න පටන් ගත්තා.

” කලින් යන්න ඕනේ කියලා සමීර මට කියනකොට අම්ම නිදි. උයන එක ඉතින් මහ දෙයක් නෙමේ හින්දා මං අම්මට කරදර නොකළේ ” 

” උයන එක නම් මහ දෙයක් නෙමෙයි තමයි.ඒ වුණාට ඉතින් කන්න පුළුවන් වෙන්න උයන්න හැමෝටම බෑනේ “

ප්‍රේමලතා ඇනුම් පදයක් කියාගෙන දවස පටන් ගත්තත් හසිනි ඒ තරම් ගණන් ගත්තෙ නැහැ.

සමීර හසිනි එක්ක විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරපු සමීර ඒ හා සමානම ආදායමක් ලබන online ව්‍යාපාරයක  හිමිකාරියක් වෙච්ච හසිනිව අඳුරගත්තේ ෆේස්බුක් එක හරහා. 

සමීරගේ ගම වුණේ නුවර වුණත් සමීර රැකියාව කලේ කොළඹ. හසිනිගේ ගම කොළඹ නිසා සමීරට ඇයව මුණගැහෙන්න හරිම පහසු උනා. දෙපාර්ශවයේම අකැමැත්තක් නොතිබුණ නිසා අවුරුදු දෙකකට විතර පස්සේ පුංචි විවාහ මංගල උත්සවයකින් පස්සෙ සමීර හසිනි එක්ක කුලී ගෙදරකට ආවා.

විවාහ වෙලා මාස තුනකට විතර පස්සේ ප්‍රේමලතා අසනීප වන නිසා කාර්යාලයේ නුවර ශාඛාවට මාරුවක් හදාගත්ත සමීර හසිනි එක්ක නුවර ගෙදර පදිංචියට ආවා.ප්‍රේමලතා ජීවත් වුණේ තනියම නිසා හසිනි කොළඹ දාලා නුවර ගෙදර පදිංචියට ආවේ බොහොම කැමැත්තෙන්.

හසිනි ගෙදර හැම වැඩක්ම හොයලා බලලා ව්‍යාපාර කටයුත්තත් සාර්ථකව කරගෙන යනකොට ප්‍රේමලතා ඒ දිහා බැලුවෙම වපර ඇහැකින්. පුංචි පුංචි සුකුරුත්තන් බඩු ලස්සනට පාර්සල් කරලා ඒවා එක පෙට්ටියකට දාලා කුරියර් එකේ ලොරිය එනකන් හසිනි ගේට්ටුව ගාවට වෙලා ඉන්නකොට ප්‍රේමලතා හෙමින් සීරුවේ ඒ දිහාට ආවේ හංග ගත්ත කේන්තියකින්.

” ඔය හැමදාම එන ලොරියේ මිනිහව ඔයා දන්නෙ කොහොමද ? ” 

ප්‍රේමලතා සැකෙන් වගේ පාර දිහා බලලා එහෙම ඇහුවා. හසිනි ඒකට බොහොම සාමාන්‍ය හිනාවක් පෑවා.

” ඒ මම දන්න කවුරුත් නෙමෙයි අම්මේ.මගේ මේ බඩු කුරියර් කරන කම්පැනි එකේ කෙනෙක්.එයාලා එවන කෙනාට තමයි මම බඩු ටික බාර දෙන්නේ.ඊට පස්සේ එයාලා කරන්න ඕන ටික කරලා මගෙන් බඩු ගත්ත අයගේ ගෙවල් වලට බඩු ටික ගිහින් දෙනවා ” 

අසන තමන්ගේ ව්‍යාපාරයේ කොටසක් බොහොම සරලව ප්‍රේමලතාට තේරුම් කරන්න උත්සාහ කරා. දියුණු වෙච්ච ලෝකෙ සමහර දේවල් ගැන ප්‍රේමලතාට ඒ තරම් දැනුමක් තිබුණෙ නැති නිසා තමන්ගේ ලේලි හම්බ කරන්න කරන දේ ගැන ප්‍රේමලතා හිටියේ පැහැදීමකින් නෙමෙයි.

” හැමදාම ලොරියක් ගේට්ටුව ගාවට එනවා.මෙයා හොඳට හිනා වෙවී කතා කරනවා.පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි පුතා ” 

වැඩ ඇරිලා ඇවිල්ලා බිබී හිටපු සමීර ගේ ළඟින් වාඩි වුන ප්‍රේමලතා එහෙම කිව්වේ හසිනි නාන්න යනකං ඉඳලා.

” මං ඔය වැඩේ කෙරෙන හැටි නොදන්නවා නෙමේයි අම්මේ. අනික හසිනි කියන්නේ වැරදි කරන ළමයෙක් නෙමෙයි. එයා ඔහොම බිස්නස් එකක් කළාට මටත් වඩා හොඳට ඉගෙන ගෙනත් තියෙනවා “

සමීර කොහොම කිව්වත් ප්‍රේමලතා හැම වෙලාවෙම උත්සාහ කරේ හසිනි ගේ වැරැද්දක් හොයා ගන්න. හසිනි ඒ හැම පොඩි දෙයක්ම බොහොම ඉවසීමෙන් මග ඇරියා. ගෙදර වැඩ වලට උනත් හසිනි පුලුවන් හැම වෙලාවකම උදව් කරා. ඒත් ප්‍රේමලතාට කිසිම දේක අඩු පාඩුවක් හොයන්නෙ නැතුව ඉන්න බැරි උනා.

” අපේ පුතාට හොඳ හොඳ තැන් වලින් යෝජනා ආවා.මෙයා ඒ එකකට වත් කැමති වුණේ නැහැ. දෑවැද්දට වාහන පවා දෙන්න බලන් හිටපු පවුල් තිබුණා.කොහෙද ඉතින් කරුමයක් තියෙනවා නම් ගෙවන්න එපැයි. උදේ හවස බයිසිකල් කට්ටක නැගගෙන මොකට දුක් විඳිනවද මන්දා “

එක දවල් වරුවක සාලෙ වාඩි වෙලා ලැප්ටොප් එක තියාගෙන හසිනි ඇණවුම් වගයක් පිළිවෙලක් කරන ගමන් ඉන්නකොට සාලෙ අතු ගාන ගමන් ප්‍රේමලතා එහෙම කිව්වා. ඒ කතාවට හසිනි ගේ හිත අසීමිත විදිහට රිදුනත් හසිනි වචනයක් වත් නොකියා තමන්ගේ වැඩේ නිරත වෙලා හිටියා. 

හුඟක් දේවල් වෙනස් කරපු දුරකථන ඇමතුමක් හවස හයට විතර හසිනිට ආවේ නොහිතපු විදිහට. වැඩ ඇරිලා එන ගමන් දරුණු රිය අනතුරකට මුහුණ දීපු සමීරව රෝහල් ගත කරලා තිබුණේ අතිශය බරපතල තත්ත්වයකින්. ආරංචිය ආපු වෙලාවේ මහා හඬින් හඬා වැටිච්ච හසිනි ප්‍රේමලතාවත් එක්කගෙන හිත හයිය කරගෙන රෝහලට ගියා. දැඩිසත්කාර ඒකකයේ හිටපු සමීරව බලන්න පැය ගණනාවක් යනකං අවසර නොලැබෙන කොට හසිනිගේ වගේම ප්‍රේමලතාගේ හිතත් බයෙන් ගැහුනා.

දැඩිසත්කාර ඒකකයෙන් එළියට ආපු වෛද්‍යවරයා අඳුරු කරගත්ත මූණකින් හසිනි ළඟට ආවේ ඊට පස්සේ.

” එයාගේ කකුලට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණේ. ජීවිතය බේරගන්න කකුල කපන්න වෙනවා “

ප්‍රේමලතා සිහිය නැතුව ඇදගෙන වැටෙනකොට සමීරගේ කකුල කපන්න අදාළ ලියකියවිලි වලට අත්සන් කරන්න හසිනි හිත හදා ගත්තේ අඩුම තරමේ සමීරගේ ජීවිතය වත් ඉතිරි වුනා නේද කියලා හිතලා.

සතියකට පස්සෙ සමීර රෝහලෙන් ගෙදර ආවේ ඒක පාදයක් අහිමි වෙච්ච තරුණයෙක් විදිහට. තමන්ගේ එකම පුතාට වෙච්ච විපත දරා ගන්න බැරුව ප්‍රේමලතා හැඬූ කඳුළෙන් දවස ගෙවනකොට සියලුම වගකීම් කරට අරගෙන හරි හරියට වැඩ කරන හසිනි දිහා සමීර බලාගෙන හිටියේ කම්පාවෙන්.

” ඔයා ගෙදර යන්න හසිනි. අපේ වත්තෙන් එන ආදායමෙන් අම්මයි මායි පුළුවන් විදිහට ජීවත් වෙන්නම්. මං නිසා ඔයාගේ මේ ලස්සන තරුණ කාලේ නැති නාස්ති කරගන්න එපා.” 

සමීර කිව්වෙ ඇස් වල කඳුළු පුරෝගෙන.ඒත් හසිනි ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ.ව්‍යාපාර වැඩ කටයුතු මහන්සි වෙලා කරන ගමන් සමීරගේ වැඩ කටයුතු වගේම ගෙදර වැඩ කටයුතුත් හසිනි අඩුවක් නැතුව කළා.

” පුතාට මේ හැමදේම උනේ ඒකිගේ කරුමේ නිසා ” 

එක පාදයක් අහිමි වෙලා ඇඳට වෙලා ඉන්න තමන්ගේ එකම පුතා දිහා බලාගෙන ප්‍රේමලතා වේදනාව පිට කරා.

” කොච්චර හොඳ තැනකින් කසාදයක් කරගන්න තිබ්බ ඔයා ද අද මේ දුක් විඳින්නේ? මං ඔයාගේ කැමැත්තට ඉඩ දුන්නා මිසක් ඔය ළමයට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. සල්ලි තියන හොඳ පවුලකින් කසාදයක් කර ගත්තනම් ඔයාට හොඳ වාහනයකුත් ගන්න තිබුණා.එහෙමනම් මෙහෙම වෙන්නේ නෑනේ”

තමන්ගේ අම්මගෙ අසාධාරණ කතාව අහගෙන ඉන්න බැරිම තැන සමීර අමාරුවෙන් ඇඳේ වාඩි වුණා.

” අම්මේ. ඔයා සැරින් සැරේ හසිනිට කියන කතා මට ඇහිලා නැතුව නෙවෙයි. මට හසිනිව හම්බ වෙනකොට මට ඔය බයික් එකවත් තිබුණේ නැහැ. මම කෝච්චි වල බස් වල ගිහින් දුක් විඳිනවා බලන් ඉන්න බැරිම තැන තමයි හසිනි එයා අමාරුවෙන් ඉතුරු කරගත්ත සල්ලි වලින් මට ඔය බයික් එක අරන් දුන්නේ.අම්මට නොකිව්වට ඒ ඔක්කොම සල්ලි හසිනිගේ. අනිත් එක අම්මා ඔය කියන සල්ලිකාර පවුලකින් කසාදයක් කරගෙන තිබ්බනම් මට මේ වගේ කරදරයක් වුණාම මං තනිවෙන්න තිබුණා. දැන් මේ මුළු පවුලම බලාගන්නේ හසිනි නෙමෙයිද ? හසිනි මට කරුමයක් නෙමෙයි. වාසනාවක්. එයාට ඕන තරම් අවස්ථාව තිබුණා මාව දාලා යන්න. ඒත් මං හොඳට හිටපු කාලෙට වඩා හසිනි මාව දැන් ආදරෙන් බලා ගන්නවා. වෙන මොනවද අම්මේ මනුස්සයෙකුට ඕනේ ? “

දෙන්න ඕන පිළිතුරු මොකක්ද කියලා හිතාගන්න බැරුව ප්‍රේමලතා ඇසිපිය නොහෙලා සමීර දිහා බලාගෙන හිටියා.

” හසිනි කරන්නේ එසේ මෙසේ ගෑණියෙකුට කරන්න පුළුවන් කැප කිරීමක් නෙමෙයි. මට මෙහෙම වෙච්ච වෙලාවේ මාව දාලා ගිහින් එයාට ඕන විදියට ලස්සනට ජීවිතේ හදාගන්න ඕන තරම් අවස්ථාව තියෙද්දි එයා මෙතන වැටිලා ඔයාගේ කතන්දරත් අහගෙන හැමදේම කරන්නේ මට තියෙන ආදරේ හින්ද නෙමෙයිද? “

සමීරගේ කටහඬ බිඳිලා යනකොට ප්‍රේමලතා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා කාමරයෙන් පිටවුණා.

More Stories

Don't Miss


Latest Articles