එකම වැරද්ද

ලක්ෂිකා ගේට්ටුවෙන් ඇතුළු වෙලා කළුවරේ ගිලිලා තිබුණු නිවසේ දොරකඩට ඇවිල්ලා දොර ඇරල ගෙට ඇතුළු වුණා. ඊට පස්සේ ලොකු සුසුමක් හෙලලා විදුලි පහන් පත්තු කරලා සෝෆාවෙන් වාඩි වුනේ කම්පාවෙන්. ඉස්සර තමන් කාර්යාලය නිමා වෙලා එනකන් බලාගෙන ඉන්න සජිත් තමන්ව එක්කගෙන නිවසට එන හැටි ලක්ෂිකාට මතක් වුණා. මාසෙක දෙකක ඉඳලා ඒ පුරුදු වෙනස් වෙච්ච හැටි හිතාගන්න බැරුව ලක්ෂිකා නිවසේ දොර වහලා නිදන කාමරයට ගිහින් නාන කාමරයට වැදුනේ සජිත් වැඩ ඇරිලා එන්න තවත් පැයක් දෙකක් ගත වෙනවා කියලා දන්න නිසායි.

එහෙම රෑ වෙලා නිවසට එන සජිත් නොකාම නින්දට වැටෙන එක පුරුද්දක් කරගෙන තිබුණ නිසා ලක්ෂිකා රෑට කෑම හදන්න මහන්සි වුණේ නැහැ. දොරේ අගුල නොදමාම ලක්ෂිකා ඇඳට වැටුනා.

ලක්ෂිකාගේත් සජිත් ගෙත් විවාහයට ඒ වෙනකොට ගතවෙලා තිබුණේ අවුරුදු දෙකක් විතර. කාර්යාලයට යන එන අතරේ මුණගැහුනු සජිත් ලක්ෂිකාගේ මුණගැහීමෙන් පස්සේ ජීවිතය ඇත්තටම පිළිවෙලක් කරගන්න හැටි ඉගෙන ගත්තා. කෝච්චියෙන් යන්න එන්න පුරුදු වෙලා හිටපු සජිත් උවමනාවෙන්ම සල්ලි එකතු කරලා පුංචි වාහනයක් ගත්තේ ඔවුන් දෙන්නගේ ආදර කතාවට අවුරුද්දක් විතර පිරෙනකොට. ඊට පස්සේ සජිත් ගේ අරමුණ වුණේ නිවසක් හදා ගෙන ලක්ෂිකා එක්ක විවාහ වෙන එක.

” මේ ඔක්කොම හදාගෙන ඉවර උනාට පස්සේ ඔයාලගේ ගෙදරින් මට අකමැති උනොත් තමයි වැඩේ ” 

සජිත් දවසක් හවසක එහෙම කිව්වේ ලක්ෂිකා සර්ව සම්පූර්ණ හොඳට මුදල් හදල තියෙන පවුලක එකම දරුවා උන එක මතක් කරන ගමන්.

” එහෙම අකමැති වෙන්නේ නෑ සජිත් ” 

” ඔයා දන්නවනෙ ලක්ෂිකා අපේ පවුලේ තියෙන ප්‍රශ්න. අපේ තාත්තා අම්මවයි මාවයි අක්කවයි දාලා වෙන ගෑනියෙක් එක්ක ගියා. අම්මා නොහිටින්න අක්කයි මායි පාරට වැටෙන්න තිබුණා. ඒ කාලේ අපි මිනිස්සු ඉස්සරහා කොච්චර ලැජ්ජ වුනාද? ඕවා දැනගත්තොත් එහෙම ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද?” 

දහසක් බලාපොරොත්තු තියාගෙන ලක්ෂිකාට ආදරය කරාට ඇයව අහිමි වෙයි කියලා සජිත් හැම වෙලාවේම කම්පා වුණා. ඒත් ලක්ෂිකා කිසිම විදිහකින් පසුබට වුණේ නැහැ. තමන් ගත්තේ නිවැරදිම තීරණයක් කියලා ඇය තදින්ම විශ්වාස කරා. ඒ නිසාම සජිත් ගේ තත්ත්වය ගැන දෙමව්පියන්ට පහදලා දෙන්න ලක්ෂිකා දෙපාරක් හිතුවේ නැහැ.

ලක්ෂිකා බලාපොරොත්තු වෙච්ච විදිහටම ඇගේ දෙමව්පියන් සජිත් ගැන පැහැදුණා. උගත්කමයි උත්සාහවන්තකමයි ගුණ යහපත්කමයි ගැන ලක්ෂිකාගේ දෙමාපියන්ට ඇතිවුණේ ලොකු විශ්වාසයක්. සජිත් ගේ අම්මා මුණගැහිලා කතා කරාට පස්සේ ඒ විශ්වාසය තවත් වැඩි වුනා.

” ඒ අම්ම නම් හරි හොඳ මනුස්සයෙක්. තාත්තා මොනව කරත් මොකද පුතේ? අම්ම ඒ ළමයාව හොඳට හදලා තියෙනවා. අර අක්ක උනත් බලන්නකෝ ” 

ලක්ෂිකාගේ දෙමව්පියන් සජිත් ගැනයි ඔහුගේ පවුලේ ගැනයි කතා උනේ එහෙම. එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නොවුන නිසා සරල විවාහ මංගල උත්සවයකින් ලක්ෂිකාවයි සජිත්වයි පිළිවෙලක් කරන්න දෙපාර්ශ්වයම එකඟ වුණා.

ලක්ෂිකායි සජිතුයි ඉතිරි කරපු සල්ලි වලින් බාගෙට ඉදිකරපු නිවසක් මිලදී ගෙන විවාහයෙන් පස්සේ ඒ නිවසේ පදිංචි වෙන්නයි ලක්ෂිකාගෙයි සජිත් ගෙයි සැලසුම උනේ. හිතපු හැමදේම ඒ විදිහට වෙනකොට ලක්ෂිකා තමන්ගේ ජීවිතය ගැන හුඟක් බලාපොරොත්තු තියා ගත්තා.

විවාහයෙන් අවුරුද්දක් විතර ගත වෙනකොට නිවසේ ඉදිරි වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න ලක්ෂිකාටයි සජිත්ටයි පුළුවන් වුණා. රැකියාවල් වලින් උසස් වීම් ලබාගන්නත් වැටුප් වැඩි කිරීම් ලබා ගන්නත් දෙන්නටම පුළුවන් වුණේ ජීවිතය හරිම ලස්සනට ඉදිරියට ගලාගෙන යනකොට.

ලක්ෂිකා සජිත් එක්ක ලස්සන අනාගතයක් ගැන හීන දකිනකොට සජිත් ගේ මොකක්දෝ වෙනසක් ලක්ෂිකාට දැනෙන්න පටන් ගත්තේ විවාහයෙන් දෙවැනි අවුරුද්ද පහුවෙන්න පටන් ගන්න කොටමයි. වෙනදට තමන් කාර්යාලයේ වැඩ ඉවර වෙනකොට තමන්ව නිවසට එක්කගෙන යන්න ඇවිල්ලා ඉන්න සජිත් ඒක එක හේතු නිසා එන්න පරක්කු වෙන බව කියමින් ලක්ෂිකාව තනියම ගෙදර යැව්වා. උසස් වීමෙන් පස්සෙ කාර්යාලයේ වගකීම් වැඩි වුණා කියලයි පරක්කු වෙලා ගෙදර එන්න හැම රෑකම සජිත් කියන්න පුරුදු වුණේ.

ඒත් ඒ වගකීම් වලට වැඩිය සජිත් ගේ ලොකු වෙනස්කමක් ලක්ෂිකාට දැණුනත් ඒක තමන්ගේ මනස්ගාතයක් කියලා හිතාගෙන ලක්ෂිකා ඉවසුවා.ඒත් එන්න එන්නම තමන් දුක් මහන්සියෙන් ගොඩනඟා ගත්ත කැදැල්ල ඇතුලේ තමන් තනිවෙලා කියලා ලක්ෂිකාට දැනෙන්න පටන් ගත්තා.

වෙනදා තිබුනු සතුට සැහැල්ලූව ලක්ෂිකාගේ හිතෙන් පලා යනකොට සජිත් වෙනදා නැති සතුටකින් ඉන්නවා ලක්ෂිකා දැක්කා. 

ඒකට හේතුව කාර්යාලයේම ඉන්න ලාබාල තරුණියක් එක්ක තියෙන සම්බන්ධයක් කියලා ලක්ෂිකා දැනගත්තේ තවත් සතියකට විතර පස්සේ.

ලක්ෂිකාගේ ලෝකයම දෙපාමුල කඩාගෙන වැටුණා. බලාපොරොත්තු, හීන දහස් ගාණක් එක්ක සජිත් ගැන තිබුණ විශ්වාසය බිඳිලා යනකොට ලක්ෂිකා කෑ ගහලා ඇඬුවා. සජිත් සමාව ඉල්ලුවත් ඇගේ හිත හදන්න බැරි උනා. විශ්වාසය කඩවීම සහ තමන් ආදරය කරපු කෙනාගෙන් සිද්ධවෙච්ච රැවටීම දරා ගන්න බැරුව ලක්ෂිකා එන්න එන්නම නිහඬ වුනා.

හැම සති අන්තයකම දෙමව්පියන් බලන්න යන්න පුරුද්දක් කරගෙන හිටපු ලක්ෂිකා සහ සජිත් සති ගානක් නෑවිත් ඉන්නකොට ඒක ලක්ෂිකාගේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් උනා. දෙන්නම හරිම කාර්ය බහුල නිසා විවේකයක් නැහැ කියලා ලක්ෂිකා තමන්ගේ දෙමව්පියන්ට කිව්වත් සජිත් ගේ අම්මා ඒ පිළිතුර භාර ගත්තේ නැහැ.

” මේ දෙන්න අපිට නොකියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නිලූකා ” 

සජිත්ගේ අම්මා තමන්ගේ වැඩිමල් දියණියට කිව්වේ මොකද්දෝ නපුරක පෙරනිමිත්තක්  හදවතට දැනුනු නිසා.

” අපි සෙනසුරාදාට එහෙ ගිහින් බලමුද අම්මා ?”

සැලසුම් කරගත්ත විදිහට හදිසි අම්මා තමන්ගේ වැඩිමල් දියණියත් එක්ක සජිත් ජීවත්වෙන නිවසට ගියේ ඊළඟ සතියේ සෙනසුරාදා උදේ පාන්දරින්මයි.සිකුරාද රෑ දොළහත් පහුවෙලා නිවසට ආපු සජිත් ඒ වන විට තද නින්දේ පහුවෙද්දී ලක්ෂිකා ගහක් යට වාඩිවෙලා කල්පනා කර කර හිටියා.

අනපේක්ෂිතව නිවසට ගොඩ වෙච්ච සජිත් ගේ අම්මවයි අක්කවයි ලක්ෂිකා පිළිගත්තේ ආයාසයෙන් මවාගත්ත හිනාවකින්.ඒත් ඇයව දැක්කම අම්මා වගේම අක්කත් සෑහෙන්න පුදුම වුණා.

ලස්සනට පිළිවෙලට ඇඳලා කරලා හිටපු ලක්ෂිකා ඇදිලා ගිය ශරීරයකින් සහ මලානික මූණකින් ඉන්න ලොකු හේතුවක් තියෙන්න ඕන කියලා සජිත් ගෙ අම්මා වගේම අක්කත් අනුමාන කරා.

” මං ඔයාට කිව්වා නේද නිලූකා මෙතන මොකක් හරි තියෙනවා කියලා ? ලක්ෂිකා කොච්චර පිළිවෙලට ලස්සනට හිටපු ළමයෙක්ද?”

සජිත්ගේ අම්මා එහෙම කිව්වේ ලක්ෂිකා තේ හදන්න මුළුතැන්ගෙයට ගියාට පස්සේ. 

සජිත් අවදි වුණේ දවල් 12ට කිට්ටු කරලා.ඒ වෙනකොට ලක්ෂිකා සජිත්ගේ අම්මයි අක්කයි වෙනුවෙන් දවල් කෑම පිළියෙල කරන්න සූදානම් වෙමින් හිටියා. 

නිලූකා හෙමින් සීරුවේ ලක්ෂිකාට කිට්ටු උනේ ඒ අතරෙදි.

” මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි නොදන්නවා නෙවෙයි නංගී.අම්මයි මමයි මේ ගමන ආවෙ ඒ හින්දමයි.කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉඳලා ඔය දෙන්නට මොකක්ද මේ වෙලා තියෙන්නේ ? ” 

ලක්ෂිකා උගුරේ හිර කරගෙන හිටපු පිට වුණේ නිලූකා ඒ වචන ටික කියලා ඉවර කරනකොටමයි. සෑහෙන වෙලාවක් ඉකි බිඳපු ලක්ෂිකා සජිත්ට අනියම් සම්බන්ධයක් තියෙන බවත්, එකම වහලක් යට නාදුනන දෙන්නෙක් වගේ සජිත් තමන් එක්ක ජීවත්වන හැටිත් කිව්වෙ වෙන කරන්න දෙයක් නැතිම තැන.සජිත්ගේ අම්ම මුළුතැන්ගෙට පිවිසෙන දොර ළඟ ඉඳන් හැමදේම අහගෙන ඉඳලා ඇවිත් ලක්ෂිකාගේ අතින් ඇදගෙන ඒ වෙද්දිත් ඇඳ උඩට වෙලා දුරකථනය දිහා බලාගෙන හිටපු සජිත් ගාවට ආවා.

” උඹ මොකක්ද මේ කරලා තියෙන්නේ ? “

කවදාවත් තමන්ට උස් හඬින් කතා නොකරපු අම්මා ඒ විදිහට කතා කරනකොට සජිත් ඇත්තටම බය වුණා. බිම බලාගෙන කඳුළු ගන්න උත්සාහ කරන ලක්ෂිකා ළඟට ඇවිත් නිලූකා නතර වුනේ තමන්ගේම සහෝදරයා ගැන උපන් කේන්තියෙන්.

” ඇයි? ” 

” ඇයි ? මෙච්චර වටින ගෑනියෙක් ඉන්නකොට වෙන ගෑනු පස්සේ යන්නේ උඹගේ මොළේ නරක් වෙලාද ? මේ කෙල්ලගේ අම්මා මේ කෙල්ලව උඹට බාර දුන්නේ කොච්චර විශ්වාස කරලද ? ” 

කට කොනකට හිනාවක් නගා ගත්ත සජිත් අම්මා ළඟට ආවා.

” තාත්තාට හොඳ නම් මට බැරි මොකද? “

සජිත් කිව්වෙ කවුරුත්ම බලාපොරොත්තු නොවිච්ච කතාවක්. වේදනාව මුසු වෙච්ච කෝපයෙන් ඉදිරියට පැන්න සජිත්ගේ අම්මා අත දිග ඇරලා සජිත්ගේ කම්මුලට පාරක් ගැහුවා.

” තාත්තා එහෙම කරපු නිසා තමයි උඹ එහෙම නොකරන්න ඕනේ. උඹට ඕන ඕන විදිහට නටන්න ඕනෙනං උඹට තිබ්බා මේ අහිංසක ළමයාව කසාද නොබැඳ ඉන්න. උඹ ඕන විදිහකට ජීවත් වෙයන්. මං මේ ළමයාව ගෙදර එක්කගෙන යනවා. ” 

” අ..අම්මා .. මං ඒක නිකං කිව්වේ. මං ඒ වෙච්ච වැරැද්දට ලක්ෂිකාගෙන් සමාව ගත්තා.ආයෙ එහෙම කරන්නෑ කියලත් පොරොන්දු වුණා ” 

” සමාව ගත්තම ඔක්කොම හරිද ? උඹ කරපු වැරැද්ද හරි ගස්සන්න පුළුවන්ද ?අඩුම ගානේ උඹ ඔය වැරැද්ද කරනකොට උඹට උඹේ අම්මා විඳපු දුක මතක් උනේ නැද්ද? උඹේ අක්කට ඔහොම දෙයක් උනොත් උඹ ඉවසනවද ? “

තමන්ගේ අම්මා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් ඇත්තටම සජිත් ළඟ තිබුණෙ නෑ. ඇය තමන්ගේ බිරිඳව අතින් අල්ලගෙන මහ ගෙදරට එක්කගෙන යන හැටි සජිත් බලාගෙන හිටියේ මහා වරදකාරී හැඟීමකින්.

More Stories

Don't Miss


Latest Articles