මවකගේ ලෝකය – 4 වන කොටස

ඔෆිස් නිවාඩු දවසෙ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා කඩ සාප්පු වලට ගොඩ වෙලා බඩු මුට්ටු ටිකක් ගන්න ආසාව හිතේ තිබුණා. කැලන්ඩරේ රතු පාටින් සලකුණු වුණ ඒ නිවාඩු දවස දිහා සති දෙකක් තිස්සෙ ම බල බල ඇඟිලි ගැන ගැනයි හිටියෙ මං. එහෙම තමයි ඔෆිස් යන අයට. නිවාඩුවක් කියන්නෙ මහ මෙරක් වගේ දෙයක්.

දූ චූටි කාලෙ හරි ආසයි ශොපින් කරන්න. සුපර් මාකට් වල සෙල්ලම් බඩු රැක් ළඟ නතර වෙලා ඔයා ඒ දිහා බලං ඉන්න හැටි තාමත් මට මතක් කරන්න පුළුවන්.

“මොනාද පුතේ ඔයාට ඕනෙ…”

මං අහන්නෙ ඔයාගෙ බලාපොරොත්තු සහගත අහිංසක මූණ දිහා ආදරෙන් බලන ගමන්. දූට තිබුණෙ සෙල්ලම් බඩු මහ කන්දරාවක්. පහු වෙනකොට කඩ සාප්පු වල ඔයාට නැති සෙල්ලම් බඩුවක් හොයා ගත්තෙ වුණත් හරි අමාරුවෙන්. ඒ වුණත් සෙල්ලම් බඩු එක්ක ඔයාට තිබුණ ගනුදෙනුව මේ මෑතක් වන තුරු ම ලොකුවට තිබුණා. තාමත් ඉඳ හිට ඔයා ඒ බෝනික්කොයි සොෆ්ට් ටෝයිස් ජාතියි අසුරපු වීදුරු කබඩ් එක දිහා බලං ඉන්න හැටි ඉඳ හිට මං දැකල තියෙනව.

ඒ කාලෙදිත් වෙන ළමයි වගේ ඔයා කඩ වල පෙරලි පෙරලි වෙන ළමයි වගේ එක එක දේවල් ඉල්ලල අඬා වැටුණෙ නෑ. සමහර විට ඔයා ඉල්ලන්නත් කලින්, ඔයා හිතන දේවල් තාත්තයි මමයි ඔයාගෙ අතට පත් කරපු නිසා වෙන්න ඇති. අද ශොපින් කරද්දි දූ ආස වෙන විදිහෙ අලුත් බෝනික්කෙක් අරං දෙන්න මං හිතා ගෙනමයි හිටියෙ. එදා වගේ ම අදත් දූ හිතේ යමක් තියා ගෙන අපෙන් ඉල්ලන්නෙ නැතුව ඉන්නවද දන්නෑනෙ.

“අනේ අම්මි. මටනං බෑ දැං ශොපින් යන්න එන්න. මට මහන්සියි”

සංගීත පන්ති ගිහින් ආපු ඔයා මගෙ යෝජනාව ප්‍රතික්ෂේප කළේ එහෙම. එච්චර වෙලා මලක් වගේ පිපිල තිබුණ මගෙ හිත පර වෙලා ගියා වගේ වුණා.

“ඔයාට ඕන නං යන්න. මං එන්නෙ නෑ”

දූ තව දුරටත් කිව්ව. මං වචනයක් වත් කිව්වෙ නැතුව කාමරේට ගියා.

හිත ඇතුළෙ සංකා හැඟීමක් පෙරළි කරන්න ගත්තා. ඒක තනිකමක් වගේ දෙයක්. දූ මගෙ ලෝකෙට ආ දා ඉඳන් අම්මගෙ ජීවිතේ එහෙම පිටින් ම වෙනස් වුණා. ඉස්සර යාළුවොත් එක්ක සැහැල්ලුවෙන් විනෝදයෙන් හැම ගමනක් ම ගිය මං, ඔයා ඉපදුණාට පස්සෙ ඔයා නැතුව ගියේ ඔෆිස් විතරක් වෙන්න ඇති.

“ඔයා තනියම ගිහිං එන්නකො”

යාළුවෙකු ගෙ ගෙදරට වුණත් යන්න මං දූවත් සූදානම් කර ගන්නකොට තාත්තා කියනව.

“ළමයි බමයි උස්සගෙන ගියාම වදේනෙ අප්ප”

“ඒ වුණාට මට දැං පුරුදු වෙලා. ඔයා නැතුව ගියත් දුව නැතුව කොහෙවත් යන්න හිත දෙන්නෙම නෑ”

මං කියන්නෙ හිනා වෙවී. එතකොට තාත්තා මුකුත් කියන්නෙ නෑ. කතා ගොඩක් ලියවුණ දෑසකින් මං දිහා බලන් ඉන්නව විතරයි.

හැමදාමත් මට දැනුණෙ දූ මගෙ ජීවිතේ සරසන වටිනා ආබරණයක් වගෙයි. චූටි කාලෙ බෝනික්කියක් වගේ හැඩකාර, සිලිබිල්ලෙක් වගේ කටකාර ඔයා එක්ක කොතනට ගියත් වට පිටේ අයගෙ ඇස් අපි දිහාට යොමු වුණා.

“ශෝක් බබෙක්”

සමහරු ඔයාගෙ ඔළුව අත ගාල එහෙම කිව්ව. ඇත්තටම ඔයා ශෝක් බබෙක්. අම්මට තාත්තට පණ වගේ ආදරේ කරපු දුවෙක්. දකින ඇසුරු කරන හැම කෙනාගෙම හිත දිනා ගත්ත දරුවෙක්. අපේ ජීවිත වලට ආඩම්බරයක් වුණ වස්තුවක්.

“අම්මි තනියමනෙ. බෑ බෑ මාත් එනව”

ඉස්සර අම්ම ගමනක් යන්න සූදානම් වෙලා දූට ගෙදර ඉන්න කීවත් ඔයා කීවෙ එහෙම. ඒ දූ ද අද අම්මට මෙහෙම කිව්වෙ කියල මට තාමත් හිති ගන්න බෑ.

“දූ දරුවන් අප අතහැර යාවී

උන්ගේ දරුවන් රකින නියා

මුත්තනුවන් මිත්තණිය ව තනි වෙමු

මහ ගෙයි උළුවහු පියසි අරා”

ඈත ගුවන් විදුලියක විකාශය වෙන ගීතයක් මගේ සන්තාපය තවත් වැඩි කළා. මව් පිය වරුන්ගේ ජීවිත වල සදා කාලික තේමා ගීතය ඒ. අපේ දූත් දවසක අපි අතෑරල යන්න යාවි. ඔයාගෙ ම කැදැල්ලක් හදා ගන්නා ලස්සන බලාපොරොත්තුවක් එක්ක යන්න යාවි. එදාට මේ තනි කමත් එක්ක කොහොමත් අපි තනි වෙන්න ඕන. ජීවිතයේ හැටි, සොබා දහමේ හැටි එහෙම තමයි.

“ළමයි හැම දාම පොඩියට ඉන්නෙ නෑ රමී”

තාත්ත මගෙ ළඟට ම ඇවිත් ඔළුව අතගෑවා. මං දුකෙන් කියල එයාට දැනෙන්න ඇති. මං ඔයා ගැන හීන දකිනකොට ඒ හීන හැබෑවන් බවට පත් කරන්න අසීමිත ව වෙහෙසුණ මනුස්සයා! එයා ගෙ හිත බර කරන්න ඕන නැති කමට මං මූණට හිනාවක් කැන්ද ගත්තා.

“උං ලොකු වෙනකොට අපේ තුරුල්ලට වෙලා ම ඉන්නෙත් නෑ. උන්ටමයි කියල වෙනම ලෝක හදනව. කෙල්ල ආං ලැප් එක දිගඇරගෙන මූවි එකක් බලනව”

“කමක් නෑ”

මගෙ හඬ අසරණ නො වෙන්න, බිඳිල නො යන්න මං වග බලා ගත්ත.

“අම්මයි තාත්තයි ඉන්නවනෙ ගෙදර. දූ හිටපුදෙං. යං. මං එන්නං ඔයත් එක්ක ශොපින් කරන්න”

තාත්තා කතා කළේ හරි උනන්දුවෙන්. මං දන්න විදිහට එයා ආසම නැති දේ තමයි සාප්පු සවාරියේ යන එක.

“ඉල්ලන ගාණක් දෙන්නං ඔය දෙන්නා ගිහිං ඕන දෙයක් අරං එනවද…”

එයා එහෙම කියනව තමයි මං වැඩිපුර අහල තියෙන්නෙ. ඒත් අද එයාට මං ගැන දුක හිතෙන්න ඇති. මං හිනා වෙලා ඇඳෙන් නැගිට්ටා.

“කමක් නෑ…අද යන්නම ඕන නෑ. වෙන දවසක යමු”

මං එහෙම කියනකොට ම දූ ඇවිත් දොරකඩ ඉඳන් කතා කළා.

“මං එන්නද අම්මි ඇතුළට…”

මං තාත්තා දිහා බැලුවා. එයයි ඔයා වෙනුවෙන් උත්තර දුන්නෙ.

“එන්න පුතේ”

“යං අම්මි. මං ඉක්මන්ට ලෑස්ති වෙන්නං”

හිනාවකින් ඔයා කාමරෙන් ඉගිළුණා. මගෙ ඇස් තෙත් වුණා පුතේ. ඔයා හොඳ දරුවෙක්. පුංචි කාලෙ වගේ ම ආදරණීය දරුවෙක්. අම්ම තාත්තගෙ හිත් අඳුනගන්න උත්සාහ කරන සංවේදී දරුවෙක්.

“අපි තුන් දෙනාම යමු”

තාත්ත ආයෙත් මගෙ හිස් මුදුන පිරිමදින ගමන් කිව්ව. මං දෙවියන්ගෙන් ඉල්ලුවෙ එක දෙයයි. අපි කුරුලු කූඩුවෙන් මේ සතුට උදුර ගන්න හිතන්නවත් එපා. මට දරා ගන්න බැරි වෙයි.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content