විහඟ පියාපත් 4

0
5165

ශයිනි පළමුව කලේ අමයුරු ට මිතුරු ඇරයුමක් යැවීමය. ඒ හා සමඟම කෙටි මැසෙන්ජර් පණිවිඩයක් ද යොමු කලේය. සිංහල අකුරු යොදා ගන්නට පරෙස්සමින් වූවාය.

“හායි.. අමයුරු … මට ඔයා ලවා ආර්ටිකල් එකක් කරවගන්න ඕනි. කරුණාකරල මට පිළිතුරක් තියන්න …”

ඕ අනතුරුව ටැබ් පරිඝනක පසෙකට තමා කල යුතු අනෙක් දෑ පිළිබඳව සිතුවාය. ගෑවුණු කුණු පිසදා ගන්නා අතරවාරයේ, ඊළඟ අදියර වෙනුවෙන් සැලසුම් සකස් කල යුතුය.

චරිත් සහ පරිසර නිළධාරියා සමඟ පැවති සූම් සාකච්ඡාව අවසානයේ ශයිනි යම් සැහැල්ලුවකට පත් වූවාය. ඔහු පැවසූ අන්දමට මෙහි ඇති ගැටළුව වෙනත් පාර්ශවයක් විසින් සිදු කරන ලද ක්‍රියාවලියකට තම හෝටලයද ඈඳා ගැනීමය.

ඒ සඳහා ගත යුතු පියවර ගැනීම චරිත්ට පැවරූ නිසා යළි ඒ පිළිබඳව හිත කලබල කල ගත යුතු නැත.

ක්ශේත්‍ර පරික්ශාව සඳහා වහාම දිනයක් සූදානම් කරන ලෙස යළි චරිත්ට කෙටි පණිවිඩයක් යොමු කෙරූ ශයිනි මැසෙන්ජරයට එබී බැලුවේ හිතෙහි වන නොසන්සුන්කම යළි හිස ඔසවන බව දැනෙද්දීය.

එහෙත් පණිවිඩය අමයුරු විසින් කියවූ බවට සලකුණු නොතිබු අතර, ශයිනි දෙතොල් එකිනෙක පෙරලා ගෙන ඒ දෙස තත්පර කිහිපයක් බලා උන්නාය. ඉන් අනතුරුව මැසෙන්ජරය වසා දැම්මාය.

ප්‍රබාත් සහ අකලංක දෙදෙනාම ගෙවමින් උන්නේ කාර්‍යබහුල දින කිහිපයකි. ඒ නිසාම දෙදෙනා එකට හමුවෙන්නට ඉඩක් ලැබුනේම නැත. අකලංක නවාතැනට එද්දී ප්‍රබාත් උන්නේ නින්දේමය. අකලංක පසුදින ඇහැරෙද්දී ප්‍රබාත් නවාතැනෙන් නික්ම තිබුණේය.

දෙදෙනා එකට මුණ ගැහුණ උදෑසන එලැඹුනේ දින කිහිපයකට පසුය. අකලංක ප්‍රබාත් ගෙන ආ කෝපි කෝප්පය තොළ ගාන අතරේ කුඩා පරිඝනකය දිග හැර ගත්තේය.

මුහුණු පොතට පිවිසියේය.

“හායි.. අමයුරු … මට ඔයා ලවා ආර්ටිකල් එකක් කරවගන්න ඕනි. කරුණාකරල මට පිළිතුරක් තියන්න …”

ඒ ඇයය. ශයිනි මොණරවිලය. අකලංක වහා ශයිනිගේ ගිණුමට පිවිසියේය. අමයුරු දිසානායක වෙත යොමු කෙරුණු මිතුරු ඇරයුමකි. අකලංක එය පිළිගන්නට පෙර යළි මැසෙන්ජරයට එබුණේය.

“හායි.. අමයුරු … මට ඔයා ලවා ආර්ටිකල් එකක් කරවගන්න ඕනි. කරුණාකරල මට පිළිතුරක් තියන්න …”

වසරේ විශිෂ්ටතම ව්‍යවසායක කාන්තාවට අමයුරු දිසානායක ලවා ලියවා ගත යුතු ලිපිය පිළිබඳව අකලංක ට සිතා ගන්නට අපහසු නැත. එහෙත්, සති අන්තයේ සියළු පුවත්පත් වල ඇය ගැන ලියැවිණි. ඒ තියා ප්‍රබාත් ගේ පුවත්පතෙහි ද ” විවිධ” අතිරේකයේ මැද පිටු දෙකම ඇය නමට වෙන්වූ වග ප්‍රබාත් පැවසු බවක් අකලංක ට යන්තමට මතකය.

ඇමතුම විසන්ධි කරමින් ප්‍රබාත් අසල වූ රවුම් පුටුවේ හිඳගන්නා තුරුම අකලංක ශයිනිගේ ගිණුමේ සැරිසැරුවේය

අනතුරුව මිනි පරිඝනකය ප්‍රබාත් වෙත පෑවේය. ප්‍රබාත් එය අතට ගත්තේ අකලංකගෙන් කිසිත් නොවිමසමිනි. අකලංක බලා වුන්නේ ප්‍රබාත් ගේ ප්‍රතිචාරය දෙසය.

“යකෝ…. මේ….?”

ඔහු අසුනෙන් නැගිට්ටේය. මුහුණ පුරා විමතිය පිරී ඉතිරෙන්නේය. අකලංක මහ හඬින් සිනාසුනේය

“අමයුරු දිසානායක ලවා ආර්ටිකල් එකක් ඉල්ලන්නේ …!”

අකලංක මහ හඬින් කීවේය.ප්‍රබාත් ඒ දෙස බලා උන්නේ එය විශ්වාස කර ගැනීමට නොහැකිව මෙනි.අකලංක ගේ ව්‍යාජ ස්වරූපය අමයුරු බව දන්නා නිසා ඒ පුදුමයට හේතුව ඉල්ලීම කල තැනැත්තිය ය.

“කොහොමද ඒක… ආහ්..කොහොමද ඒක…”

“අඩෝ… කොහොමද යකෝ එහෙම…”

අකලංක ද එය කෙතරම් විමතියක්ද වග පෙන්වමින්ම ඇස් ඉහළට ඔසවා ප්‍රබාත්ට ඉඟි කලේය.

ඒ අමයුරු දිසානායක ලෙසින් පණ නැගෙන්නේ අකලංක ට මඟ හැරුණු පත්තර සිහිනයය. ප්‍රබාත් සහ පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලය හැරුණ කොට අමයුරු ගෙ අනන්‍යතාවය දන්නා අන් කෙනෙක් නැත. පහසුවෙන් නිරාවරණය නොවෙන සමාජ අසාධාරණකම් ගැන අමයුරු සමාජ අවධානය යොමු කරමින් ලිපි සම්පාදනය කලේය. දැන්, ශයිනි ගේ ඉල්ලීම වන්නේ ඇයට වූ අසාධාරණයකට එරෙහිව ලිපියකින් සටන් කිරීමය.

ප්‍රබාත් ද ඔහුව උනන්දු කරෙන් අකලංක වහා ශයිනිට පිළිතුරු යැව්වේය. එහෙත් ඇගේ මිතුරු ඇරයුම පිළිගැනීම සිතාමතාම පසෙකට දැම්මේය.

අමයුරු ගේ පිළිතුරු ලැබෙන විට ශයිනි නින්දෙන් ඇහැරුණා පමණි. ඔහුගේ පිළිතුර ඇයට දවසට ප්‍රමාණවත් තරමේ ජීවයක් ගෙන දුන්නා සේ විය.

අමයුරු ඉතා බරසාර ලෙස ඔහු විසින් සිදුකරන කාර්‍යභාරය ශයිනිට පැහැදිලි කලේය. තමා ගවේශණශීලී ලිපි සම්පාදනය කරන මාධ්‍යවේදියෙකු බවත්, මෙවන් ඉල්ලීම් වෙනුවෙන් පුද්ගල වර්ණනා ලිපි සම්පාදනය නොකරන බවත් ඍජුවම කීවේය. ප්‍රබාත් ගේ විරෝධය මැදම ඔහු ශයිනිගේ ඉල්ලීම නොතකා සිටින වග පෙන්වූයේය.

එහෙත්, ශයිනි අමයුරු දිසානායක තම අරමුණ වෙත නවා ගන්නට යායුතු මාවත ඉතා පැහැදිලිව දැන උන්නාය. ඇය ඒ මඟට පිවිස තුරුම්පු විසි කරමින් උන්නාය. ඇය පලමුව ලීවේ මුදල් පිළිබඳව කිසිඳු සීමාවක් තබා නොගන්නා ලෙසය.

අමයුරු ගේ වටිනාකම ඉක්මවා යන ගෙවීමක් වෙනුවෙන් තමා සූදානම් බවට වන ඉඟිය දුන්නාය. ඉන් අකලංක පත් වූයේ කෝපයටය. තමා මිලදී ගැනීමට හැකි තරමේ හය්යක් පෙන්නන උද්දච්ච යුවතිය ගැන කෝපයටය.

එහෙත් අකලංක ඉවසිලිවන්ත වූයේය. ඇයගේ පිටියේ තමා අණසක පැතිරවිමට පෙර දැන ගත යුතු කාරණා බොහෝමය. ඇයගේ හැසිරීම් බලා සිටීමෙන්, බොහෝ දේ අවබෝධ කර ගත හැකිය.

ශයිනි තමා කවුරුන්ද යන වග හඳුන්වා දෙද්දී අකලංක උදාසීන බවක් පෙන්වූවේය. එහෙත් ශයිනි ඉන් අධෛර්යමත් වූ වගක් පෙනෙන්නට තිබුණේ නැත. ඕ දිගින් දිගටම මේ ලිපිය සම්පාදනය කිරීම දෙපාර්ශවයටම වටින්නේ කෙලෙසදැයි අකලංක නොහොත් අමයුරු ට පැහැදුවාය.

අවසානයේ, අකලංක ඇගේ කතාවේ වූ අහු කොන් කිහිපය ඇහිඳ ගත්තේය. එහි ඔහුට සොයා බලා ලිවීමට යමක් ඇති වග සිතුනේය.

අකලංක ගේ බැංකු ගිණුම් අංකය වෙනුවට, පුවත්පතෙහි ගිණුම් අංක ශයිනි වෙත ලබා දුණි.

“ඇඩ්වාන්ස් එක් ඩිපොසිට් කරලා, මාව ඉන්ෆෝර්ම් කරන්න..”

අකලංක ප්‍රබාත් ට ඇසක් වසමින් කතාව අවසන් කර කුඩා පරිඝනකය පසෙකට කලේය.

මොණරවිල හොටෙල්ස් වෙත යෑමට පෙර ප්‍රබාත් සහ අකලංක සිදුවී තිබූ අලකලංචිය පිළිබඳව දැනුවත් වූයේ මුහුණුපොතෙහි වූ වීඩියෝ කිහිපයකිනි. අකලංක ඒවා ගැන සොයා බැලුවේ ශයිනිගේ කතාවෙහි වූ නොගැලපීම් ධාරණය කරගත් මොහොතේ පටන්මය. නැවත ඒවා බාගත කරගැනීමට සොයද්දී ඒවා මැකී තිබුණි.

“අරුන් එකත් එකටම රිපෝර්ට් ගහනවා ඇති බං…”

ප්‍රබාත් විවිධ නම් සහ වචන යටතේ ඒ සම්බන්ධ තොරතුරු සොයන අතරේ එලෙස කීවේ, ශයිනි ලේසි පහසු නැති වගට අකලංකට දැනෙන්නටත් එක්කය. එහෙත්, අකලංක ඒ බවක් ගනනකට හෝ නොගෙන යමක් සටහන් කරමින් උන්නේය. අනතුරුව ව්‍යාජ කොණ්ඩය පැලඳ ගත්තේය. බාච්චු කලිසමක් සහ කමිසයක් ඇඳ ගත්තේය.

අනතුරුව ප්‍රබාත් දෙස බැලුවේය. ප්‍රබාත් උන්නේ ඔහු සාමාන්‍යයෙන් අඳින පළඳින විදියෙන් වෙනස්ව බෙල් කලිසමක් සහ ටී ශර්ටයක් එක්කය.

” පික් මී එකක් දාලා යමං.. කාර් එකේ ගිහින් නිකන් වාත වෙන්න ඕනි නෑනේ…”

අකලංක කීවේ ප්‍රබාත් දෙස තත්පර කිහිපයක් බලා සිටීමෙන් පසුවය. ප්‍රබාත් එය අනුමත කරමින් ජංගම දුරකතනය අතට ගත්තෙය. අකලංක කණ්ණාඩිය ඉදිරියේ සිට ගත්තේය.

කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකි වෙතැයි විශ්වාසයෙන් මෙහෙම වෙස් මාරු කරගැනීමද වෙනමම කලාවකි. ඇතැම් විට කවුරුන්ම හෝ හඳුනා ගැනීමටද හැක. ඒ අනියමාර්තය ඇත්තේ අර කී කලාව තුළය.

අකලංක දිගු ව්‍යාජ කොණ්ඩය හිස් මුදුනට වන සේ ගැට ගසා මුහුණ වැසෙන්නට වූ රැවුල නොපෙනෙන්න ට මුහුණු ආවරණ පැලඳුවේය. අනතුරුව, අඳුරු කරන ලද උපැස් යුවලක්ද පැලැන්දේය.

දෙදෙනා මොණරවිල හොටෙල්ස් වෙත යන්නට පිටත් වූයේ සූදානම් වී පැයකටද පසුවය. එවෙලෙහි කොළඹට වූ දැඩි වැසි නිසා දුර ගමන් සඳහා පික් මී මෝටර් රථ වූයේ අඩුවෙනි. අධිවේගී මාර්ගයට පිවිසියාට පසු මෝටර් රියේ වේගය වැඩි විය. අකලංක යළි නෝට්පෑඩයේ යමක් සටහන් කලේය.

| අපේක්ෂා ගුණරත්න |

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here