විහඟ පියාපත් 40

0
4090

අකලංක මාස පහක් ම රංගන කටයුතු වලින් ඉවත් වී උන්නේය. ශයිනිගේ හැර යෑමට පසු ඔහු අලුත් ටෙලි නාට්‍ය එකකටවත් සම්බන්ධ වූයේ නැත.  ශයිනි ඕස්ට්‍රේලියාවට  ගොස් බව දැනගෙන මාසයකට පසු අකලංක මාතලේ යන්නට තීරණය කලේය. 

ඔහු ප්‍රබාත් ට පැවසූයේ අලුත් පිටපතක අවසාන  අදියරේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට අවශ්‍ය නිසා , කොළඹින් දුරස් වන වගය. නිශ්පාදකවරයෙකුද එකඟ වි ඇති නිස එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තමා බලාපොරොත්තු වන වගද කීවේය. ඒ අතරේ තමා පිළිබඳව සොයා බලමින් කරදර නොවන ලෙසද, සියල්ල පිළිබඳව වගකීම් තමා දරන වගද කියමින්ම සමුගත්තේය.

කොහොමටත් අකලංක ගේ හිතුවක්කාර කම් සහ ඒ හිතුවක්කාරකම් මට්ටු වුණ තැන් ගැනද අවබෝධයක් ඇතිව උන් නිසාත්, ගෙවුන මාස තුන තිස්සේම ශයිනි නැති වග දැන දැනම වුවද , මොණරවිල හොටෙල්ස් වෙත ගොස්  කල් ගත කල අකලංක ගැනද ප්‍රබාත් දැන උන් නිසාත් මාතලේ යන අකලංක ව නිකම්ම අතැර දමන්නට ප්‍රබාත් හිත හදාගත්තේ නැත.

අකලංක මාස කිහිපයක් ගෙදර සිටින බව දැනගත් මුල් දින කිහිපයේ අකලංක ගේ අම්මා ඉතාම සතුටින් ඔහුගේ සත්කාර වෙනුවෙන් පේවී සිටියද, ඉතා ඉක්මනින් පුතුගේ වෙනස හඳුනා ගත් ඇය ඒ පිළිබඳව විමසමින් විස්සොප විම ඇරඹුවාය.

 අකලංක ප්‍රශ්න මඟ හැරිම මිසෙක පිළිතුරක් නොදෙන තැන ඕ ප්‍රබාත් අමතමින් කුමක් සිදුවීදැයි විමසුවාය. ශයිනි පිළිබඳව කිසිත් නොපැවසූ ප්‍රබාත් කීවේ, අලුත් පිටපත නිසා ඔහු යම් කලබලයක සිටිනවා විය හැකි බවය. එහෙත් අකලංක ගේ අම්මා එය විශ්වාස කලේ නැත.

අවසානයේ අකලංක නිවෙසින් පිටත්ව ගියේ ටික දිනකට මිතුරෙකුගේ නිවසට යන බ්බ්ව පවසමිනි. ඒ අතුරුදන් වීමේ පටන් මාසයක් යනතුරු ඔහු එකඳු දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු දුන්නේ නැත. 

ප්‍රබාත් තිළිණි ලවා අකලංක පිළිබඳව ශයිනි වෙත  යම් යම් පණිවිඩය යැවීමට උත්සාහ කලද,ශයිනි ඒ පිළිබඳව උනන්දු වන්නේ හෝ නැති වග තිළිණි ඒ හැම වතාවකම කීවාය. 

එනිසාම ප්‍රබාත් ට අකලංක වෙනුවෙන් කල හැකි යමක් වූයේ නැත. 

අකලංක   මාසයක් නැවතී උන්නේ බණ්ඩාරවෙල මිතුරෙකුගේ නිවසේය. ඉන් පසුව ඔහු අනුරාධපුර සිට කිලෝමීටර හැටක් පමණ රට තුලට වූ ස්ථානයක් සොයා ගත්තේය. සහාය අධ්‍යක්ෂවරයාගේ එම තේරීම පිටපතට අපූරුවට ගැලපෙන වග අකලංක මුල් දැක්මෙන්ම තීරණය කලේය. ඒ අනුව චිත්‍රපටයේ මූලික  කොටස් වල රූගත කිරීම් සඳහා එම ප්‍රදේශය යොදා ගන්නට් තීරණය කෙරුණි. 

නිශ්පාදකවරයා අකලංක බලාපොරොත්තු වූ මුදලම වාගේ ආයෝජනය කිරිමට එකඟ වීම නිසා අකලංක කිසිඳු සැලැස්මක් වෙනස් නොකරම නිශ්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කලේ එම කණ්ඩායමද සමඟිනි. පසු නිශ්පාදන කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරිම මූලික කටයුතු වලට පසුව සිදු කරන්නට තීරණය කෙරුණි. 

අනුරාධපුරයේ රූගත කිරීම් කෙරුණ සෑම දිනයකම පාහේ ශයිනිගෙ මතක යළි යළිත් ඉස්මතු වෙමින් තමා අවුල් කර දැමීම අකලංක ඉතා අපහසුවකට පත් කරමින් තිබුණි. ඇය අමතන්නට සිතට නැගෙන අදහස ඔහු මඟ හැර ගත්තේ ඇයගේම වචන පිළිබඳව සිතමිනි. ඇය ඉතාම දරුණු ලෙසින් තමා හැර යන්නට තීරණය කල අයුරු සිහි කරමිනි. 

සිර ගත වන සහෝදරයාගේ නොදුටු ප්‍රේමය වෙනුවෙන් රංගනයේ යෙදුණ රංගන ශිල්පියා වෙනුවෙන් ලියැවුණ දෙබස් සේම,  සිරගතවූ සහෝදරයා තම ප්‍රේමය වෙනුවෙන් සිතන දෙබස් බොහෝමයක් ද අකලංක ගේ වර්තමාන සිතුවිලි වලින් අපගමනය වීමක් වූයේ නැත. අහිමි වීමේ බිය  සහ අහිමි වීමට පසුව ගෙවෙන කාලය පිළිබඳව අකලංක සතු සජීවී අත්දැකීම් චිත්‍රපට තුළ කතාව වඩා තීව්‍ර කර තිබුණි.

ප්‍රබාත් අකලංක හමුවන්නට පැමිණියෙර් පූර්ව දැනුම්දීමක් පවා නැතිවය.  අධික වැසි සහිත කාලගුණය නිසා රූගත කිරීම් දින පහක් තිස්සේම අත් හැර දමන්නට සිදුව තිබුණි. අකලංක කාමරයෙන් පිටතට හෝ නොපැමිණෙන බවත්, මේ දින කිහිපයේම අධික ලෙස මත් පැන් පානය කර ඇති බවත් ඔහු දැනගත්තේ නිශ්පාදන කණ්ඩායමේ හිතවතෙකුගෙනි.

ප්‍රබාත් කාමරය තුළට පිවිසියේ නවාතැන් හිමිකරු  සතු වූ අමතර යතුරකිනි. ඒ වනවිටත්  පියවි සිහියෙන් සෑහෙන්නම ඈතට ව උන් අකලංකව නාන කාමරය තුලට ඇද දැමූ ප්‍රබාත් ඔහු තෙමෙන්නට ශවරය හැර දැමුවේය. විනාඩි පහළොවකට පමන පසු අකලංක ප්‍රබාත්ට බැණ වදිමින් සිටියේ ඔහු දන්නා භාෂා කිහිපයකම කුණු හරුප පද එක් කරමිනි. අකලංක හිස පිස දමන අතරේ ප්‍රබාත් ඔහු දන්නා කුණුහරුප මාලාවෙන් අකලංකට ගසා දීම ඇරඹුවේය. අකලංක ට ප්‍රබාත් හා පැටලෙන්නට සවියක් වූයේ නැත.

“උඹ නම් මහ ජරා යකෙක්… අර අම්මට වද දෙන්නේ ඇයි බං ඔහොම… උඹ කැමති නාඩගමක් නටපං ගෙදර මිනිස්සුන්ට කෝල් එකක් දීලා..”

ප්‍රබාත් එක දිගටම බැන වදින්නට ඔපටන් ගත්තේය.

“පොඩ්ඩක් ඩාං ඩූං වුනා බං… මං අම්මට ගන්නම්.. උඹ කොහොමද ලොකේශන් හොයාගත්තේ…”

ප්‍රබාත් එයට කිසිත් කීවේ නැත.

“ශයිනි තවදුරටත් උඹ ගැන හිතන්නේ නෑ අකා .. ඒකි එහෙ සෑහෙන්නම ලක්සරි ජීවිතයක් ගෙවනවා .. දෙය්‍යන්නේ නාමෙට ඒක තේරුම් අරගෙන උබේ ජීවිතේ හදාගනින්…. මං ආවේ උබට අන්න ඒක මතක් කරලා යන්නත් එක්ක … මේ චිත්‍රපටිය උබේ ටර්නින් පොයින්ට් එක වෙනවා අකා.. ඒක හරි පාත් එකෙන් අල්ලගනින්… එච්චරයි … “

අකලංක ප්‍රබාත්ට කිසිත් පැවසුවේ නැත. ශයිනි සුවෙන් සිටින වග තමාද දනී. ඒත් ඒ පිටතට ඇය පෙන්වා සිටින යමක් පමණි. ඇය හිත තුළින් වද විඳිනවා විය නොහැකිදැයි අකලංක ඒ තත්පරයේද කල්පනා කලේය.  ඇයට එතරම් පහසුවෙන් තමා අමතක කර දමන්නට හැකි වන්නට ඇතිද?  සමාව දෙන්නට තරම් නොහැඛි තරමේ මුලාවක් තමා ඇයට කල බව අකලංක දැන් කෙලෙසකවත් විශ්වාස කරන්නේ නැත.

ප්‍රබාත් තවත් බොහෝ දේ කීවද අකලංක උන්නේ ඔහු විසින් තනමින් තිබූ සිතුවිලි ලෝකයේය.  ඉදිරි සැලැස්මක් ගැන සිතන්නට තරම් පැහැදිළි බවක් අකලංකගේ හිතෙහි තිබුනේ නැත. එහෙත් යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් සියල්ල අල්ලාගෙන සිටිය යුතුය යන ඉව ඔහුගේ සිත තුළ විය.

ප්‍රබාත් ඔහු සහ තිළිණි පිළිබඳව වන යම් කාරණා කිහිපයක්ද අකලංක හා පැවසීමෙන් පසුව එදිනම පෙරළා කොලඹ බලා පිටත් වූයේය. සවස් වරුවේ ප්‍රබාත්ගේ සමාගමයෙන් පසුව අකලංක උන්නේ යම් සැහැල්ලුවකය. ශයිනි පිළිබඳව තම සිත තුල වන ඇතැම් දෑ ප්‍රබාත් හමුවේ බෙදා ගන්නට ලැබීම ඒ සැහැල්ලුවට හේතු වන්නට ඇතැයි අකලංක සිතුවේය.

පසු දිනයේ සවස් වරුව වන විට වර්ෂාව තුරල් වී තිබු නිසාවෙන් රූගත කිරීම් කටයුතු ඇරඹුණි. අකලංක යලි මවාගත් වේෂයට ආඩ්‍ය වූයේය. තමා සිහියෙන් පිට සිටින එක් මොහොතක් නිසා  බොහෝ දෙනෙකුගේ කාලය නාස්ති ව යන බව ඔහු පෙර අත්දැකීමකින්ම දැන උන්නේය.

කාලය ඉතා වේගයෙන් ඉක්ම යමින් තිබුණි. අකලංක පෙරලා කොළඹ පැමිණියේය. චිත්‍රපටයේ හඬ හා සම්බන්ධ කටයුතු සහ සංස්කරණ කටයුතුද ඇරඹුණි. ඒ අතර වාරයේ දින දෙකක්ම අකලංක මොණැරවිල හොටෙල්ස් වෙත ගොඩ වී ආවේ ප්‍රබාත්ට හෝ නොකියාය.

ප්‍රබාත් ඒ ගැන දැනුවත්ව කිසිත් නොදන්නා සේ සිටින්නට තීරනය කලේය. මිතුරාගේ ජීවිතයේ පෞද්ගලික සීමවට අත පෙවීමට වන සීමාව සෑහෙන්නම දුරින් තබ සිටින්නට ප්‍රබාත් තීරණය කලේ අකලංක ඉතා සං‍යමයෙන් වැඩ කටයුතු කරමින් සිටින බව පෙනුන නිසාය.

එහෙත් තිළිණි මාර්ගයෙන් අකලංක පිළිබඳව ශයිනිගේ අදහ්ස විමසන්නට උත්සාහ කල සෑම වාරයක්ම අසාර්තක වීම තුල ප්‍රබාත්ට අකලංකගේ සං‍යමයේ අවසානය පිළිබඳව වූයේ භයංකර අපැහැදිළි බවක් පමණි.  

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here