හසරැලි වැස්සේ -23

ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ.දෙනෙත් කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක මා ගිල්වා තබන්නට සමත් වේයැයි මම නොසිතුවෙමි.නමුත් එය එසේ වී අවසන් ය.කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එය ජීවිතාන්තය දක්වා රහස් හැඟීමක් ලෙස පවත්වා ගන්නට ද තිබිණ.නමුත් එය දැන් එසේ කරන්නට අසීරු වන්නේ දෙනෙත් ඒ සම්බන්ධයෙන් මහත් සේ කෝපගත් නිසා ය.ඔහු මට තදින් අපහාස කරමින් සිටි නිසා ය.

“ආදරේ කරා මිසක් ඔයා පිහියක් උරුක් කරල ඒ මිනිහගෙ දෙයක් කඩාවඩා ගන්න ගියේ නෑ.ආදරෙයි කියන එක අපරාධයක් නෙවෙයි.ඒ හින්දා සූකිරි මට ඕක ගාණක්වත් නෑ..”

මා තනිව හඬමින් සිටි මොහොතක හදිසියේ මා වැළඳ ගත් අයියා පැවසුවේ ය.කාටත් නොපෙනෙන්නට හඬමින් සිටි මගේ හැඬුම වේගවත් වන්නට ඇත.අයියා මගේ කඳුලු පිසදා මගේ හිස් මුදුන සිප ගත්තේ ය.

“ඔයාට ඕන කෙනෙක්ට ආදරේ කරන්න ඔයාට අයිතිය තියනව.ඒ විතරක් නෙවෙයි කවදහරි හරි කසාද බැන්ද කාලෙක ඩිවෝස් වෙන්න හිතුණත් ඒක ඇවිල්ල මට කියන්න ඔයාට පුලුවන් වෙන්න ඕන.මට ඔයයි ඔයාට මමයි තරම් විස්වාසෙට ගන්න පුලුවන් අය තව ඉන්න බෑනේ…”

නැගණියගේ ප්‍රේමයක් ගැන ඇසූ පමණින් සිතා නොබලා පහර දෙන සහෝදරයන් ගැන මගේ මිතුරියන් කියන කතා මම අසා ඇත්තෙමි.නමුත් මගේ අයියා අවශ්‍යම මොහොතක මා අසල හිඳීම මට අසීමාන්තික සතුටක් රැගෙන ආවේ ය.එය රත් වී දැවෙමින් තිබු හදවතට මල් වැස්සක තරමේ සහනයකි.අයියා දෙනෙත් ගැන කිසිවක්ම මා සමඟ කතා නොකළ අතර මගේ හිත හදන්නට පමණක් වචන භාවිතා කළේ ය.

“හසරැල් දෙනෙත්ට හොඳටම බැනල.ලස්සනම වැඩේ ඒ කරපු වැඩේ නරකයි කිව්වට පස්සෙ සචිරත් එක්කත් දෙනෙත් තරහ වෙලා.සචිරගෙ ගෙදරිනුත් ගිහින්.”

නිර්මාණි අක්කා මට ඇමතුමක් දී පැවසුවා ය.ඇය සිටියේ මා දකිනා ඕනෑකමිනි. නමුත් විවාහයට පෙර අපේ නිවසට ආගිය ගමන්වත් ඇය කැඳවා නොගන්නට තරම් අපේ අම්මා සාම්ප්‍රදායික ය.පෙළෙන වේදනාවෙන් මා මුදවන්නට අක්කාට මා මුණ අවශ්‍ය වුවත් මට අවශ්‍ය වූයේ කටුව තුළට වැදුණු ඉදිබුවෙකු සේ ගෙතුලටම වී සිටින්නට ය.

“මම නිසා එයාට ඉන්න තැනකුත් නැති වුණා..”

ආරංචියෙන් පවා මම ශෝකයට පත් වීමි.අක්කා මගේ ශෝකය ගැන ද කෝප වූවා ය.

“එයා එච්චර නටන්නේ නැතුව හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ..අනිත් එක එයා එහෙ ඉන්නම ඕන කියලා නියමයක් නෑ..ටියුෂන් එහෙම කරලා සල්ලි හොයනවනේ.තමන්ට කියලා බෝඩිමක ඉන්න බැරිද? කොහොමත් ඔහොම ආත්මාර්ථකාමී මනුස්සයෙක් හසරැල්ගෙන් අයින් උනාට මටනම් සන්තෝසයි..”

අක්කා එසේ කෝපත් වුවද ඔහුට මා නිසා අහිමි වූ දේ ගැන මට වේදනාවක් තිබිණ.ඔහු නිසා මට මා ද අහිමිව ඇති බව ඒ මොහොතේ ද මට සිතුණේ නැත.

“මට සචිර බස් එකකදී හම්බවුණා..”

යෙත්මි හදිසියේ කෙටි පණිවුඩයක් තබා තිබුණා ය.

ඒ මනුස්සයා ඔයාව ලබා ගන්න කලින් ඔයාව ඇවිස්සූවේ අපි කියලා මට හොඳටම බැන්නා..බස් එකක නොවුණනම් හොම්බ කුඩුවෙන්න දෙකක් දෙනවා..”

යෙත්මි තව බොහෝ දෑ දොස් කියමින් ලියා එව්වා ය.නමුත් මට දැනෙන වේදනාව අතිමහත් ය.දන්නා කාලයේ පටන් ඒක පාර්ශවික ප්‍රේමය මට හිම කැටයක් හද තුළ තිබෙන්නාක් මෙන් මිහිරි සහ අමිහිරි සිහිලක් එක්වර රැගෙන ආවේ ය.දැන් එය ග්ලැසියරයක් තරමට විසල් ව ඇත.වේදනාව මහත් සේ විශාල කර ගත්තේ මම ය.මම මගේ සීමාවේ පැවතුණා නම් ප්‍රේමය දිනා ගැනීම එතරම් කාරණාවක් නොවන බව සිතීම ම මට හදවත ඉරී යන තරමේ වේදනාවක් ව තිබිණ.

“හොස්ස ළඟින් මැස්ස යන්න බැරිව නටන්නේ ඇයි ළමයො..කන්නෙත් නෑ හරියට..”

අම්මා නිරන්තරව මට කඩා පැන්නා ය.මගේ වේදනාව දැන සිටිමුත් ඒ ගැන කිසිවක් ම නොවිමසූ මම්මා මා ආරක්ෂා කර ගන්නට නොයෙකුත් දේ පැවසුවා ය.

“කෙල්ලොනෙ..ගේ අස්සෙම ඉඳලා ඇඟ හැඩ වෙන්නේ නෑනේ.කෙල්ල ඩයට් කරනවා ඇති..”

ඒ අසා කජු කිරි කෙල්ලන්ට මොන ආහාර පාලනයක් දැයි අම්මා බැන වැදුණා ය.
ආහාර පාලනය ගෙන ඇය එසේ දොස් නගන්නේ නම් මා මේ පීඩිතව හිඳින්නේ ප්‍රේමයක් නිසා බව දන්නේ නම් කියන දේ ගැන අනුමාන කරන්නට වත් මට උවමනා වූයේ නැත.

“නංගිට කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්වත් ද?”

අම්මා අයියාගෙන් විමසනු මට ඇසුණේ හදිසියේ ය.අයියගේ පිළිතුර ගැන මසිත සසල වූමුත් ඔහු පිළිතුරු දුන්නේ නිදහස් හඬකිනි.

“එළියටවත් බහින්න නැති ඒ ළමයාට කොල්ලො කොයින්ද..මෙහෙට එන්නෙ සචිර විතරනේ.ඒ දෙන්නගේ එහෙම එකක් නෑ කියලා අම්මටම පේනවනෙ.. “

අයියා මා ගලවා ගන්නට පැවසූ කාරණාව අම්මා බරපතළ කොට ගෙන තිබුණි.

“සචිර නම් නරක් වෙලා තියෙයි..”

අම්මා එසේ කියන්නේ විහිළුවට නොවන බව දැනෙන විට මගේ හදවත අලුත් වේගයකින් ගැහෙන්නට පටන් ගත්තේ ය.ඇය එවැනි සිහිනයක හිඳින බව මිතුරියන් නොකඩවාම පැවසූ අන්දම මට සිහි වේ.නමුත් හිම කන්දක් සේ සීතලව තිබු හදවත ගිනි කන්දක් බවට පත්වූයේ අම්මාගේ ඊළඟ වචන නිසා ය.

“සචිර ගැන මට සැකයක් නෑ..එහෙම වුනත් මට කමකුත් නෑ..මට සැක දෙනෙත්..”

ඉන්නා තැනින් පය ඉවතට ගන්නටවත් නොහැකිව ගල් ගැසුණු මම භීතියෙන් මුසපත්ව ගියෙමි.මවකට දියණියක හැරෙද්දී තේරුම් ගත හැකි බව අපේ උසස්පෙළ පන්තිභාර ගුරුතුමිය පැවසූ අන්දම මට අමතකව නොයයි.නමුත් මට මගේ අම්මා ගැන එතරමට විශ්වාසයක් තිබුණේ නැත.ඇය ඇගේම ලෝකයක කෝපයටත් වේදනාවටත් පත් වෙමින් ජීවත් වන හන්දා අප ගැන සිතන්නට ඇයට වෙලාවක් නැති බව මම සිතා සිටියෙමි.නමුත් පෙනී යන්නේ එය එසේ නොවන බව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content