තාත්තලා

පුංචි ඔනාරා මඟ බලාගෙන හිටියේ තාත්තා එනකම්.ඊයේ රෑ හොඳටෝම නිදිමත වෙනකම්ම තාත්තා එනතුරු බලාගෙන හිටියත් තාත්තා ගෙදර ආවේ නෑ.

“මට තාත්තා ඕනෑ.”

එහෙම කියලා තොල පෙරලාගෙන අඬන්න ළං වෙනකොට ඔනාරාව අම්මා තුරුළු කරගන්නේ ආදරෙන්.ඒත් අම්මාගේ මුහුණත් තියෙන්නේ අඬන්න ළං වෙලා කියලා ඔනාරාට හිතෙනවා.අම්මාගේ තුරුලට වෙලා නිදා ගත්තට ඔනාරා මුළු රෑ පුරාම දැක්කේ තාත්තා ඉන්න හීන.තාත්තා ඔනාරා තුරුළු කරගෙන ඉන්න හැටි,සෙල්ලම් කරන හැටි ඔනාරා සැප නින්ද අතරේ දැක්කා.

“අම්මේ,කළුවර වෙයිද?”

නිදා ගන්න කලින් පුංචි ඔනාරා එහෙම අහනකොට පියුමි දූට හාද්දක් දුන්නේ බය නැති කරන්න හිතාගෙන.විදුලි බලය රාත්‍රියේ විසන්ධි වෙනවට ඔනාරා පුදුම තරම් අකමැතියි.ඒ වෙලාවට තාත්තගේ අතින් බහින්නවත් ඔනාරා කැමති නෑ.කළුවරට මොනතරම් ඔනාරා බය වුණත් කළුවර තාත්තාට බයයි කියලා ඔනාරා දන්නවා.තාත්තා එයාව තුරුළු කරගත්තම කළුවරට බෑ ඔනාරාව බය කරන්න.රෑට විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න බැරුව ඔනාරාට දහදිය දානකොට තාත්තා කරන්නේ ඔනාරාට පවන් ගහන එක.තාත්තා හැම වෙලාවෙම ඔනාරාට කොහොමහරි පහසුව හොයලා දෙන්න ප්‍රවේසම්.ඉතින් ඔනාරාට ඉන්න ලොකුම වීරයා තමයි එයාගේ තාත්තා.

“දැන් මොකද තත්වේ චමීර?”

ඔනාරාට නින්ද ගියාට පස්සේ ඔනාරාගේ අම්මා පියුමි එහෙම අහන්න ඔනාරාගේ තාත්තාට දුරකථන ඇමතුමක් දුන්නා.චමීරගේ හඬ මහන්සියෙන් පිරී ගිහින්.පියුමිට දැනුණේ දරා ගන්න බැරි වේදනාවක්.

“තාම බවුසර් ඇවිල්ලාවත් නෑ පියූ.කීයට එයිද කියන්න බෑ.ඒ ආවත් තෙල් මදි වුණොත් තමයි වැඩේ.”

පියුමිට ඒ කතාව ඇහෙනකොට දැනෙන්නේ දරා ගන්න බැරි කේන්තියක්.ඒත් එක්කම දුකක්.රස්සාවට ගිහින් ඇවිල්ලා මහන්සි නිවා ගන්න විනාඩි හතර පහක්වත් වැය නොකර චමීර තෙල් පෝලිමට දුවනකොට මේ රටේ තව දුරටත් ජීවත් වෙන්නේ ඇයි කියලා පියුමිට හිතෙනවා.තෙල් පෝලිමක තාත්තා කෙනෙක් මිය ගිය හැටිත් පුතා තාත්තාගේ නිසල මලකඳ තුරුලට අරගෙන හඬන හැටිත් පළ වුණු වීඩියෝව ආයේ ආයෙම ඔලුව ඇතුළෙන් ඇහෙනවා වගේ දැනෙද්දී පියුමිට තවත් ඇමතුමක් ගන්න හිතුණා.

“කෝ අම්මේ තාත්තා? නිදිද?”

පියුමිගේ අම්මා කිලෝමීටර් සිය ගණනකට එහා ඉඳලා සුසුමක් පා කරලා එව්වා.මේ දවස්වල තමන්ගේ සමීපතම අය එක්ක බෙදා ගන්න තියෙන්නේ වේදනාව විතරක් වීමම මොනතරම් වේදනාවක්ද කියන්න පියුමිට වචන නැහැ 

“තාත්තා ඉස්තෝප්පුවට වෙලා බලාගෙන ඉන්නවා.මල්ලි තෙල් පෝලිමට ගිහිං පුතේ.කීයට ගෙදර එයිද කියලා බයයි.මල්ලිට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවනෙ.මොකක් හරි රණ්ඩුවකටවත් පැටලෙයි කියලා තාත්තට බයයි.”

ඉස්සර මල්ලි පන්ති ගිහින් එන්න පරක්කු වෙනකොටත් හන්දියට ගිහින් විපරම් කරන තාත්තාව පියුමිට මතක් වුණා.ඒත් මල්ලි කීයට ගෙදර එයිද කියන්න පුලුවන් ද? ඒ නිසා තාත්තා නිදිමැරීම අනුමත කරන්න අමාරුයි.

“තාත්තට නිදා ගන්න කියන්නකො අම්මේ?”

පියුමි එහෙම කියනකොට ඔයාම ඒක තාත්තට කියන්න කියලා අම්මා දුරකථනය තාත්තාගේ අතින් තිබ්බා.ඈතක ඉඳන් ඇහෙන තාත්තාගේ කටහඬ මේ වගේ අමාරු කාලෙක ජීවත් වෙන්න හයිය දෙනවා කියලා පියුමිට හිතෙනවා.තාත්තාගේ හඬ දුරකථනයෙන් ගලාගෙන ආවේ පුදුමාකාර ආදරයකින්.

“මල්ලි ගෙදර එනකම් නින්ද යන්නේ නෑ පුතේ.ඔයා ඔහෙ තනියම.මල්ලි මෙහෙ පෝලිමක.මම කොහොමද නිදාගන්නෙ?”

පුංචි කාලේ තාත්තා ගැමුණු කුමාරයාගේ කතාව කියලා දෙනකොට ගැමුණු කුමාරයාට නිදා ගන්න බෑ කියලා වකුටු වෙලා හිටිය කතාව පියුමිට මතක් වෙනවා.දැන් තාත්තා කියන්නෙත් එහෙම කතාවක්.දරුවෝ දුක් විඳිනකොට හිත හදාගෙන නිදා ගන්න තාත්තට බෑ.

“තාත්තා අසනීප වෙයි”

පියුමි කිව්වේ ටිකක් සැරෙන්.පියුමි පුංචි කාලේ ඉඳලම බය දේවල් අතරින් ඉහළින්ම තියෙන්නේ තාත්තා අසනීප වීම.තාත්තා අසනීප වුණොත් ඒක දරා ගන්න තමන්ට අමාරු බව පියුමි දන්නවා.ඒත් තාත්තා සමහර වෙලාවට ලෙඩ දුක් නොකියාම හංග ගන්නවා කියලා මල්ලි කියපු හැටිත් පියුමිට අමතක නෑ.

“බෙහෙත් වලට පුදුම සල්ලියක් යනවනෙ කියලා තාත්තා ඊයෙත් කිව්වා.පැන්ෂන් එකත් ඉතුරු කරලා අපි දෙන්නගෙ එකවුන්ට්ස් වලට දාන්නනෙ තාත්තට ඕන.”

මල්ලි එහෙම කියද්දී පියුමිට දැනුණේ උගුරේ මොනවා හරි හිරවෙලා තියනවා වගේ දුකක්.ඉස්සර තාත්තා ඔෆිස් එකේ කාගේ හරි උපන්දිනයකට ලැබෙන කේක් කෑල්ලක් ඔතාගෙන එන හැටි, අම්මා රස කැවිල්ලක් හදන වෙලාවටත් වැඩි පංගුව අක්කටයි මල්ලිටයි බෙදන හැටි පියුමිට මතක් වෙනවා.ඒ වගේ වෙලාවට පියුමි හිතපු එක දෙයක් තිබුණා.

“කවදාහරි හොඳ රස්සාවක් කරලා අම්මයි තාත්තයි ආදරෙන් බලා ගන්නවා.”

හොඳ රස්සාවක් කරාට සැනසීමෙන් ජීවත් වෙන කාලේ හොරු අරගෙන ගිහින් වගේ.පියුමිගේ ගෑස් එක ඉවර නිසා කොහොම උයාපිහාගන්නවා ඇතිද දන්නේ නැහැ කියලා තාත්තා දවසක් බත් පිඟාන අතේ තියාගෙන ඇස්වල කඳුළු පුරෝගෙන කල්පනා කරපු බව කිව්වේ අම්මා.විදුලි ලිපෙන් උයා ගන්න පුලුවන් බවත් බඩගින්නේ ඉන්නේ නැති බවත් පියුමි කියද්දී තාත්තා හිතේ අමාරුවෙන් ඇහුවේ වෙන ප්‍රශ්නයක්.

“එහෙම උයන්නත් කරන්ට් එක හරියට නෑනෙ පුතේ.”

දරුවො බඩගින්නේ ඉන්නකොට තාත්තලාට කෑම දිරවන්නෙත් නෑ කියලා අම්මා නම් කියන්නේ.ඒ කතාව බොරුවක් නෙවෙයි.පියුමිට ඊයේ පෙරේදා සිද්ධ වුණු දෙයක් මතක් වුණා.

“මට චීස් ඕන.”

ඔනාරා එහෙම කියපු දවසක පියුමි චමීර දිහා බැලුවේ කියා ගන්න බැරි දුකකින්.ඔනාරා කන චීස් ජාතිය කිසිම සුපර් මාකට් එකක තිබුණේ නැහැ.චීස් කන්න පෙරේත පුංචි කෙල්ල තමන් ආසම කෑම අම්මාගෙන් ඉල්ලනකොට දැන් රටේ තත්වෙ ගැන දරුවාට කියන්නද? ඒ වචන නැති වේදනාවට චමීර විසඳුම් හොයාගෙන තිබුණා.එදා චමීර ගෙදර ආවේ රෑ වෙලා.චීස් පැක් එකක් දූගේ අතින් තියලා චමීර හිනා වුණේ රටක් රාජ්ජයක් ලැබුණු ගාණට.හැමතැනකම ඇවිදලා දූ කන්න කැමතිම දේ හොයා ගත්තු තාත්තා කෙනෙකුගේ සතුට ඒ හිනාව ඇතුළේ තිබුණා.

“රටට මේ වෙලා තියන දෙයින් වැඩියෙන්ම අසරණ වෙලා ඉන්නේ තාත්තලා.හැම වෙලාවකම මොකක්ම හරි පීඩනයක.ආර්ථිකේ ගැනත් බයයි.ඉතින් තාත්තලා ඉන්නේ පුදුම තරම් පීඩනයකින්.”

ෆේස්බුක් සටහනක ඒ වගේ කතාවක් කියවපු හැටි පියුමිට මතක් වුණා.තාත්තෙක් වෙලා අවුරුදු විසි ගාණක් ගිය තමන්ගේ තාත්තා වගේම තාත්තෙක් වෙලා අවුරුදු තුනක් ගිය චමීරටත් ඒ කතාව පොදුයි.හැම වෙලාවෙම තමන්ගේ දරුවාට උපරිම යහපත කරන්න උත්සාහ කරපු ඒ තාත්තලා මේ අසීරු අවස්ථාවේ පවා දරාගෙන ඉන්නේ මහ කන්දක් වගේ.

“අපේ එස් ඕට මම එදා ගත්තු කිරි පිටි පැකට් එකක් ගිහින් දෙන්න ඕන පියූ.ඒ මනුස්සයගෙ දරුවත් අපේ චූටිගෙ වයසමයි.ඒත් පෝලිමක ඉඳලා හරි මාකට්වල රස්තියාදු වෙලා හරි පිටි පැකට් එකක් ගන්න ඒ මනුස්සයට වෙලාවක් නෑනෙ.”

චමීර එහෙම කියලා වැඩි දවසක් නෑ.හොඳ වැටුපක් ගන්න නිසා ආර්ථික අර්බුදය තදින්ම නොදැනුණත් එහෙම දැනෙන්න පුලුවන් තාත්තලාගෙ වේදනාව ගැන චමීර උනන්දු වීම ගැන පියුමිට දැනුණේ මහා ලොකු ආදරයක්.තාත්තලාට හැම දරුවෙක්ම දැනෙන්නේ තමන්ගේ දරුවා වගේ.

පැයක දෙකක නින්දක් ගිහින් ඇහැ ඇරෙද්දී ඊළඟ දවස උදා වෙලා කියලා පියුමිට තේරුම් ගියා.

අද ජූනි දහනවය! පියවරුන්ගේ දවස!

රෑ මහන්සි වෙලා ඇඳපු කාඩ් එකත් තුරුළු කරගෙන චූටි දූ හොඳටම නිදි.චූටි දූගේ තාත්තා තෙල් පෝලිමේ තව මොනතරම් වෙලාවක් ගෙවයිද කියන්න බෑ.චමීරට ඇමතුමක් දීලා සුබ පතන්න හිතාගෙන පියුමි දුරකථනය අතට ගත්තා.

“මහන්සියි නම් තමයි.ඒත් දූට මොන්ටිසෝරි යන්න වාහනේ තෙල් ටිකක් තියෙන්න එපැයි”

ඊයේ රෑ මහන්සිද අහලා යවපු කෙටි පණිවිඩයට චමීරගෙන් ඇවිත් තිබුණු ඒ උත්තරය පියුමිගේ ඇස් බොඳ කළා.තාත්තාගේ තියන එකම සතුට දරුවාට යහපත සැලසීම මිසක් වෙන මොකුත්ම නොවන බව ඇය හිතුවේ සතුට මුහු වුණු වේදනාවෙන්.

More Stories

Don't Miss


Latest Articles