BE SILENT – 85

0
3070

එකම දුවගේ මරණේ දරාගන්න බැරි උනු අදීරාගේ තාත්තත් සුයිසයිඩ් කරන් තිබ්බා. ඉඳිඔයෙන් ඇවිල්ලා දවස් හතරක් පහක් යද්දි මං හිතුවේ පොඩි එකාට ආයේ රිකවරි වෙන්න පුලුවන් වෙයි කියලා. ඒත් හොස්පිට්ල් එකෙන් ආවත් හරි ඌ හිටියේ බලාගත්තු අත බලාගෙන  , කිසිම කෙනෙක් එක්ක කතා බස් නොකර. ඌ හිටපු තත්වේ එක්ක අදීරා ගැනවත් , අදීරාට මොකද උනේ කියන එක ගැනවත් හාරාවුස්සලා උගෙන් විස්තර අහන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ. ඒ හැමදේටමත් වැඩිය මගෙ හිත ඇතුලේ තිබ්බෙම මුන් දෙන්නා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒ දුකට අදීරා ගඟේ පැන්නද කියලා. එහෙම උනානං අපේ එකාටත් වැරැද්දක් පැට වෙනවා. , ඒ වගේම අදීරාගෙ මරණෙට වක්‍රව හරි වගකියන්නත් වෙනවා. සතියකට වැඩිය නිවාඩු අරන් තිබ්බ නිසා මට ඊට පස්සේ ආපහු හදිස්සියෙම කළුතර යන්න උනා. දිගින් දිගටම , මගින් මගටම අම්මටයි , අප්පච්චිටයි මං හැමතිස්සෙම මතක් කර කර ගියේ පොඩි එකාව බලන්න කියලා. 

ඒත් .. වැඩක් උනේ නෑ. මං ගිය දවසේ රෑ ඌ කාමරේ ඇතුළෙම බෙල්ල වැල දාගෙන තිබ්බා. ඉස් ඉස්සෙල්ලා ලා නිල් පාට හා පැටව් ඉන්න පොඩි රෙද්දක ඔතලා අම්මා මගේ අතට දීපු මගෙ පොඩි කොල්ලා. අන්තිමට මට මගෙ අත් දෙකෙන්ම උගේ මිනියට කර ගහන්න උනා. “

සල්වතුර දෝතින්ම මුහුණ වසාගෙන ඉකි ගසමින් හැඬුවේය . හදවත පතුළින් නැඟී එන වේදනාව ක්‍රම ක්‍රමයෙන් දරුණු වද්දී සල්වතුර වෙනුවෙන් කුමක් පැවසිය යුතු දැයි තේරුම් කර ගත නොහැකි වූ මනුහස් තොල් පට සපා ගනිමින් හිස බිමට බර කරගෙන සිටියේය. 

” සර්…!” 

සල්වතුර ඉකි බිඳින හඬ මොහොතක් නිහඬව බලා සිටි මනුහස් කටහඬ අවදි කළේය.

” පොඩි එකාගේ මිනිය කාමරේ එල්ලිලා තියන විදිහ දැක්ක හැටියේ අපේ අම්මට හාට් ඇටෑක් එකක් ආවා බං. මං දන්නෑ ඒ දවස් ටික මං ජීවත් උනේ කොහොමද කියලා ? මං හුස්ම ගත්තේ කොහොමද කියලා ? අම්මාගෙයි , පොඩි එකාගෙයි බොඩීස් දෙකම පහල සාලේ තියලා තිබ්බ ඒ දවස් ටික හරියට නපුරු හීනයක් වගේ. මං අදටත් කැමතියි කවුරුහරි ඇවිල්ලා දැන් නැඟිටපන් , එළිවෙලා කියලා මාව ඒ හීනෙන් ඇහැරනවනං.,… “

සල්වතුර නැවතත් දෝතින් බේරෙන කඳුළු දෑතින් පිසදා දැමුවේය.

පොඩි එකාගෙයි , අම්මගෙයි මරණ වලින් අවුරුද්දකට විතර පස්සේ තාත්‍තත් හිටි හැටියෙම නැති උනා. ඒත් හාට් ඇටෑක් එකක්. මං විඳවපු විඳවිල්ලට වැඩිය දුකක් ඒ මනුස්සයා දවස ගාණේ මේ ගෙදර තට්ට තනියම ඉඳගෙන විඳෙව්වා. ජීවත් වෙලා හිතින් විඳවනවට වැඩිය මැරෙන එක සැපක් කියන මරණයක් තමයි මගේ තාත්තට ලැබුණේ. ඔය කාලේ ඇතුළෙ මට වෙන දේකට හිතක් යොමු කරන්න කාලයක් තිබ්බේ නෑ. අම්මා , තාත්‍තා , පොඩි එකා තුන්දෙනාම නැති මේ ගෙදර මං තනි උනා. උඹට කියන්න අමතක උනා.. ඒ දවස්වල අපේ අම්මලා මට යෝජනාවක් හොයලා තිබ්බා පානදුර පැත්තෙන්. මගෙ හිතේ අකමැත්තක් තිබ්බෙත් නෑ. ඒත්.. එක දිගට මගෙ මුලු පවුලම විනාස වෙලා ගිය නිසා මට එහෙම දෙයක් ගැනවත් හිතන්නවත් , හොයන්නවත් කාලයක් තිබ්බේ නෑ. අන්තිමට ඒ කෙනත් වෙන කෙනෙක්ව කසාද බැන්ඳා. අවුරුදු තුනකට විතර පස්සේ මට අහම්බෙන් දැන ගන්න ලැබෙනවා සාරංගගේ සීයා නැති උනා කියලා. මොන දේ උනත් පොඩි එකා ගැන කතා කරලා කිව්වේ ඒ මනුස්සයා. ඒ මනුස්සයාත් නැති උනාම සාරංගට කිසිම කෙනෙක් හිටියේ නෑ. එතකොට සාරංගගේ වයසත් අවුරුදු දොළහක් , දහ තුනක් වගේ ඇති. නේද සාරංග. ?” 

සල්වතුර කතාව හමාර කළේ සාරංග වෙත ප්‍රශ්නයක් තබාය. 

” දහතුනයි සර්..”

සාරංගගේ පිළිතුරත් සමඟ සල්වතුර යළි මනුහස් දෙසට හැරුණේය. 

” මං සාරංගව මෙහෙ එක්කන් ආවා. ඇවිල්ලා සෙන්ට් පීටර්ස් එකට ඉස්කෝලේ දැම්මා. ඒකෙම හොස්ටල් එකෙත් නැවැත්තුවා . සෝමරත්න අඩුම මගේ පොඩි එකාගේ ජීවිතේ බේරගන්න අපිව දැනුවත් කරපු එකට හිලව් වෙන්න කියලා මං සාරංගට ඉගැන්නුවා. ඒත් මූට ඉගෙනගන්න උවමනාවක් තිබ්බේ නෑ. ඌට ඕනේ උනේ වාහන හදන්න. මිකැනික් කෙනෙක් වෙන්න. අන්තිමට ඒලෙවල් ලියලා ඉවර උනාට පස්සේ මං ඌට ඒකත් කරලා දුන්නා. මං පාර පෙන්නුවා විතරයි. ඌ උගෙ ගමන ගියා. “

සල්වතුර එසේ පවසමින් සාරංග දෙස බැලුවේය . ඔහු කිසිවක් නොපවසා මුහුණ බිමට බර කරමින් සිටියේය .

” ඔය අතරේ කාලෙක තමයි දවසක් මහ රෑක මූව මාව හොයන් එන්නේ . ඒ ඇවිල්ලා මගෙ ලඟ දණ ගහගෙන මගේ කකුල් දෙක අල්ලගෙන අඬන්නේ. හැමදේම පටන් ගත්තේ එතන ඉඳන් බං. “

සල්වතුර එසේ පවසා දිගු සුසුමක් හෙළුවේය .

” අදීරා අක්කායි , වඩිවේල් මාමයි කියන්නේ හරිම හොඳ මිනිස්සු දෙන්නෙක් සර්. දැක්ක තැනකදි එක්කන් ගිහිල්ලා කන්න ටිකක් නොදී කවදාවත් මාව ගෙදර එවන්නෑ. අම්මයි , අප්පච්චියි නැතුව මං සීයා ගාව හැදුණත් කාත් කවුරුවත් නෑ කියන එක මට ඒ දෙමළ මිනිස්සු දෙන්නා නිසා මට දැනුන්නෑ. අදීශ මහත්තයට අදීරා අක්කගේ නම අදීරා කියන එක පවා මුලින්ම කිව්වේ මම. අදීශ මහත්තයා බෝඩිං වෙලා හිටියේ අපේ ගෙදර නිසා අදීශ මහත්තයත් මට සෑහෙන්න යාලුවෙක් වගේ ළං උනා. මුලින් මුලින් අදීරා අක්කා ගැන විස්තර පවා අදීශ මහත්තයට කිව්වේ මං. “

සල්වතුරගේ කතාව ඊට පසු ආ‍රම්භ වූයේ සාරංග හරහාය . සල්වතුර පැවසූ සියල්ල නිහඬව අසා සිටි මනුහස් ඉන් පසු සාරංගගේ කතාවටද නිහඬවම සවන් දුන්නේය. 

” අදීශ මහත්තයා අදීරා අක්කව කසාද බඳින්න යනවා කියලා දැනගත්තාම හැමෝටම වැඩිය සන්තෝස උනේ මං වෙන්නැති. ඊටත් වඩා අදීශ මහත්තයා මට කිව්වා අදීරා අක්කව කසාද බැඳලා කොළඹ යද්දි මාවත් එක්කන් යනවා කියලා. ඒ දවස් ටිකේ මමත් හිටියේ පොළොවේ පය ගහලා නෙමෙයි සර්. හීන මාළිඟා වල. එදා පුදුම වැස්සක් වැස්සේ. අදීශ මහත්තයා උදෙන්ම බැංකුවට ගිහින් තිබ්බා. දවස් ගාණක තිබ්බ සීතල හින්දා ලඟ ගෙදරක පොඩි ළමයෙක්ට සෙම වැඩිවෙලා කියලා අපේ සීයාගෙන් එළුකිරි ටිකක් ඉල්ලලා එවලා තිබ්බා. මං එදා කිරි බෝතලෙත් අරන් ඒ ගෙදට්ට දීලා ආයේ දුවගෙන එද්දියි අදීරා අක්කාව හෝටලේ මායිමේදී මට හම්බුණේ. එන්න එන්න වැස්ස වැඩි වෙනවා කියලා දැනිච්ච නිසා අදීරා අක්කා එයාගේ අතේ තිබ්බ කුඩේ මට  දුන්නා වැස්සේ තෙමෙන්නැතුව ඒක අරන් යන්න කියලා. ගොඩක් වෙලා හෝටලේ ඉන්නවද කියලා ඇහුවම නෑ දවල් කෑම ටික හදපු ගමන් ගෙදර යන්න ඕනේ කිව්වා. ඊට පස්සේ එයා හෝටලේට ගියේ මං බලන් ඉද්දිමයි. 

දවල් වෙන්න වෙන්න වැස්ස එන්න එන්න වැඩි කළා මිසක් අඩු උන්නෑ. මං තනියම හිත හිත හිටියේ මට කුඩේ දීලා ගෙදර එවපු අදීරා අක්කට ආයේ එන්න විදිහක් නැතුව ඇති නේද කියලා. හවස තුන හතර වෙද්දි යාන්තමට වැස්ස පොඩ්ඩක් අඩු කරපු ගමන් මං අදීරා අක්කගේ කුඩෙත් අරන් ආයෙම හෝටලේ දිහාට දිව්වා. ඉඳිඔයට වහිනවා කියන්නේ ආයේ මහ දවල් කියලා නෑ දවසම අන්ධකාරයි. අදීරා අක්කා දවල්ට උයපු ගමන් ගෙදර එන්න ඕනේ කියපු නිසායි , අදීශ මහත්තයගෙ මනමාලි වෙන්න ඉන්න එයාව මං පරිස්සං කරගන්න ඕනේ කියලා මට හිතිච්ච නිසයි මං අපේ සීයාටවත් නොකියා බොහොම අමාරුවෙන් වැස්සෙම කුඩ දෙකක් අරන් මුලින්ම අදීරා අක්කලෑ ගෙවල් පැත්‍තට ගියා. ඒ දවස්වල අදීරා අක්කා නිතරම කියන්නේ මට මල්ලි කෙනෙක් නෑනේ. ඒ නිසයි මං සාරංගට මෙච්චර ආදරේ කියලා. අදීශ මහත්තයා අදීරා අක්කව කසාද බඳින්න කැමතියි කිව්වම මං පණ්ඩිත කමට දවසක් කිව්වා ඒ මගේ අක්කා , කසාද බැන්ඳට කමක් නෑ අක්කට කුණුහරපෙන් බනින්නවත් , ගහන්නවත් බෑ කියලා. මොකද අපේ වතු වල හිටපු ගොඩාක් ගෑනු හැමදාම හවසට ගෙදර මිනිහගෙන් ගුටි කනවා. අදීරා අක්කටත් එහෙම කරලා තිබ්බොත් මං කොළඹ හොයාගෙන ඇවිල්ලා අදීරා අක්කව ආපහු ගෙදර එක්කන් එනවා කියලා. එහෙම කිව්වම අදීශ මහත්තයා මහ හයියෙන් හිනා උනා. “

සාරංග දෑසින් ගලන කඳුළු බිඳු දෑඟිලි මතින් පිස දැමුවේය. ඉන් පසුව දෑතම ගුලි කරගෙන යළිත් මනුහස් දෙසට හැරුණේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here