” මං අදීරා අක්කලෑ ගෙදට්ට යද්දිත් අක්කා ගෙදර ඇවිත් හිටියේ නෑ. හෝටලේට වෙලා එන්න බැරුව ඇති කියලා හිතපු නිසා මං කොච්චර අමාරු උනත් හෝටලේ පැත්තට ගියා. හෝටලේට ළං වෙද්දි මං දැකපු දේ ඒ වයසක ඉන්න කිසිම දරුවෙක් දකින්න හොඳ නැති දෙයක් සර්. ඇගේ නූල් පටක්වත් නැතිව මහ වැස්සෙම කොර ගගහා ආපු ගෑනු ළමයෙක් හෝටලේ මිදුලේ එක පාරට ඇදගෙන වැටුණා. මහ වැස්සේ , කළුවරේ උනත් ඒ අදීරා අක්කා කියලා අඳුරගන්න මට බැරි උනේ නෑ. එයා බිම වැටෙනවත් එක්කම මට තේරුණා එයාට මොනාහරි කරදරයක් වෙලා තමයි කියලා. ඒත් ඒ මොනවගේ කරදරයක්ද කියන්න මට තේරුණේ නෑ. අක්කට නැඟිටින්න උදව් කරන්න ඕනේ කියලා හිතිච්ච නිසා අමාරුවෙන් උනත් හෝටලේට දිහාට දුවගෙන යනකොටමයි මං දැක්කේ කවුරුහරි පිරිමි කෙනෙක් ඇවිල්ලා එයාව ඇදගෙන පහළට යනවා. එයාගේ පස්සෙන් තවත් කෙනෙක් ආවා. ඒ දෙන්නට පේන්නැති වෙන්න මං එයාලගෙ පස්සෙන් ගියත් එයාලා අක්කට කරන්න යන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනා. මට උනේ ඇස් දෙකෙන් කඳුළු වක් කර කර අක්කව ඇදගෙන යන උන් දෙන්නා දිහා බලන් ඉන්න වෙච්ච එක.
අක්කව ඇදගෙන ආපු උන් දෙන්නා මට හිතාගන්න වත් බැරි විදිහට හෝටලේ පහලින් ගලාගෙන ගියපු මහවැලි ගඟට අක්කව තල්ලු කළා. හිතට ආපු බයටම මට කෑගහ ගන්නවත් හයියක් තිබ්බේ නෑ සර්. වැහැලා වැහැලා වතුර පිරිලා එදා ගඟ තිබ්බෙ වෙනදා වගේ නෙමෙයි. පුදුම සැරට. ඇගේ පතේ හයියක් නැති අදීරා අක්කා වගේ කෙනෙක් නෙමෙයි කොච්චර හයිය තියන මනුස්සයෙක්ට උනත් එදා ගඟ එක්ක හැප්පෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. වටේ පිටේ තිබ්බ ගස් කොළං පිටින් ගලවගෙන ගඟ ඉස්සරහට ගියේ පුදුම තරහකින් වගේ. අරුන් දෙන්නා අක්කව ගඟට අතෑරලා ආපහු හැරුණමයි මං උන් දෙන්නා කවුද කියලා දැක්කේ. ඒ හිටියේ මයන් මල්දෙණියයි , අසංග සුදේශ් කියන එකායි. “
මනුහස්ගේ දෑත කෝපයෙන් මිට මෙළවී තිබුණේය . එසේ නම් මෙවරද මයන් මල්දෙණිය සම්පූර්ණ විස්තරය තමන්ට පවසා නැත. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ අදීරා මිය ගියේ තමාට සිදු වූ අපරාධයෙහි වේදනාව සහ ලැජ්ජාව ඉවසා ගත නොහැකි වීම නිසාවෙන් බවය. මයන් මල්දෙණිය සියල්ල පාපොච්චාරණය කරන අවස්ථාවේදිත් පැවසුවේ එලෙසටය. එසේ නම් මයන් මල්දෙණිය ස්ත්‍රී දූෂකයෙකු පමණක් නොව මිනීමරුවෙකුද වන බව පැහැදිලිය.
” මං ගෙදර ආවේ කොහොමද කියන්න මං දන්නෑ සර්. දවස් තුනක් යනකන් මට සහළෝලා උණ අරන් තිබ්බා. කතා කරගන්න පුලුවන් වෙච්ච පළවෙනි වතාවෙම මං සීයට හැමදේම කිව්වත් මට වැඩිය ඊලඟට සීයා බය උනා. සීයා කිව්වෙම මේ කිසි දෙයක් කිසි කෙනෙක් එක්ක කියන්න එපා කියලා. වඩ්වේල් මාමත් ගේ ඇතුළෙම එල්ලිලා හිටියා. සීයා මට දිගින් දිගටම කිව්වේ උන් ලොකු මිනිස්සු අපිට උන් එක්ක හැප්පෙන්න බෑ. එහෙම උනොත් අදීරා අක්කටයි , වඩිවේල් මාමටයි වෙච්ච දේම තමා අපිටත් වෙන්නේ කියලා. ඒ අතරේ අදීශ මහත්තයත් නොකා නොබී ඉද්දි බය උනු අපේ සීයා දේවප්‍රිය මහත්තයලට කතා කරලා කොහොමහරි අදීශ මහත්‍තයාවත් ආපහු එයාලට බාර දුන්නා. ඊටත් සතියකට දෙකකට විතර පස්සේ අදීශ මහත්‍තයාත් නැති උනා කියලා ආරංචි උනාම අපේ සීයා තව තවත් මාව බය කළා. මං දැකපු දේවල් අමතක කරන්න , නැත්තන් උන් මාවත් මරලා දාවි කියලා. සීයා එහෙම කියද්දි අදීරා අක්කව ගඟට තල්ලු කරලා දාන එක ඇස් දෙකට දැකපු මට මගෙ ඉස්සරහා මැවිලා පෙනුණෙම උන් ඇවිල්ලා වඩිවේල් මාමවයි , අදීශ මහත්තයවයිත් මරලා , එල්ලලා දාලා ගිය විදිහ. ඊලඟට අපේ ගෙදරට ඇවිල්ලා මාවයි , සීයාවයිත් මරලා එල්ලලා දාලා යන විදිහ . අන්න ඒකට මං සෑහෙන්න බය උනා සර්. ඒ නිසා බොහොම අමාරුවෙන් මං ඒ සිද්ධිය අමතක කළා.
සීයා නැති උනාට පස්සේ දේවප්‍රිය මහත්තයා ඇවිල්ලා මාව මෙහෙ ගෙනල්ලා ඉස්කෝලෙකට දැම්මා. ඉස්කෝලෙයි , හොස්ටල් එකයි අතරේ ගෙවිච්ච ජීවිතේ එක්ක මං තවත් අර සිද්ධිය අමතක කරලම දැම්මා. ඒත් .. කාලයක් යද්දි , යමක් කමක් තේරෙද්දි වඩිවේල් මාමයි , අදීශ මහත්‍තයයි නැති උනේ දිවි නහගෙන කියලා තේරෙද්දි මට හිතුණා මං කටවහන් ඉඳල කළේ වැරැද්දක් කියලා. මට ඒ සිද්ධිය දේවප්‍රිය මහත්තයා එක්ක කියලා හිත නිදහස් කරගන්න උවමනාවක් තිබ්බා. ඒත්.. ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. පරණ කුණු ගොඩක් ආයේ ගොඩ දාලා මොකටද කියලා වෙලාවකට හිතුණා. එදා අදීරා අක්කව ගඟට තල්ලු කරපු උන් අද කොහෙ ඉන්නවා ඇත්ද ? උන්ව හොයාගන්නේ කොහොමද කියලා ආයේ හිතුණා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක්ක කල්පනා කර කර දවස් ගෙවිලා යද්දි තමයි රෙඩ් චිලී ක්ලබ් එක ලඟ කැඩිච්ච වාහනයක් හදන්න මහ රෑක මැසේජ් එකක් ආවේ. “
සාරංග නැවතත් දෙකම්මුල් දිගේ ගලන කඳුළු බිඳු පිසදා දැමුවේය. ඉන් පසුව සල්වතුර දෙසත් බලා විසල් සුසුමක් අත හැර නැවතත් මනුහස් දෙස බැලුවේය.
” සාමාන්‍යයෙන් එහෙම වැඩ වලට යන්නේ මං ලඟ වැඩ කරන අනිත් කෙනා. එදා ඌට හදිස්සියක් වෙලා වේලපහා ගෙදර ගියා. ඉතිං ඒ වැඩේට ගියේ මං . එදා මං ආපහු පාරක් රෙඩ් චිලී එක ඉස්සරහා අදීරා අක්කා මැරුණු දවසේ නයින් මවුන්ටන්ස් එකේ හිටපු උන් ටික ඔක්කොම එක පාර එකම තැනදි දැක්කා. උන් එකෙක්වත් වෙනස් වෙලා හිටියේ නෑ. ඒ විදිහමයි. ඒ පෙනුමමයි. මං එදා කෙලින්ම ආවේ මෙහෙට. මට ඒ ආපු විදිහවත් මතක නෑ සර්. මං ඇවිල්ලා දේවප්‍රිය මහත්තයා ලඟ අඬ අඬ එදා මං දැකපු හැමදේම කිව්වා . “
” ඒ කියන්නේ මීට අවුරුදු තුනකට විතර කලින් ?”
මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි මනුහස් තම පළමු පැනය එලෙස ඇසුවේය .
” ඔව් සර්.. අවුරුදු තුනකට කලින් “
” අවුරුදු ගාණකට කලින් ජෙසිකා ලංකාවට ආපු වෙලාවේ , යාලුවො ඔක්කොම රෙඩ් චිලී එකට එකතු වෙලා තිබ්බා. එහෙනං ඒ එදා. “
මනුහස් එසේ පවසා මුවඟින් සමච්චල් සිනහවක් පෑවේය.
සාරංග එතකින් නිහඬ වූයේය. ඉදින් ඉන් පසුව යළි කතාව ආරම්භ කළේ දේවප්‍රිය සල්වතුරය.
” සාරංග කියපු දේවල් එක්ක මං ආයේ අවුරුදු විස්සකට කලින් ඉඳිඔයේ වෙච්ච දේවල් ආයේ හොය හොය බැලුවා. ඒ වෙනකොට ඉඳිඔයේ වැඩ කරපු පොලීසියේ අය ගැන හොයලා බලද්දි සමන්ත හෙට්ටිපොළ කියලා කොස්තාපල් කෙනෙක් ගැන විස්තර මට ලැබුණා. මීට අවුරුදු දහයකට විතර කලින් සමන්ත වැඩ කළේ නාරම්මල ස්ටේශන් එකේ. එතකොට එහේ ඕඅයිසී වෙලා හිටියේ මම. එතනින් එහා සමන්තගෙන් මට සෑහෙන්න තොරතුරු ටිකක් හොයාගන්න පුලුවන් උනා. ඉඳිඔය ස්ටේශන් එකේ හිටිය විජේවර්ධන කියලා උස ඔෆිසර් කෙනෙක් ගැන. එතකොට ඒ මනුස්සයා කොහොම හරි මේක ගැන හොයන්න හදනකොට ඒක නවත්තලා ඒ මනුස්සයා හොයා ගත්තු සාක්ෂි ටිකත් විනාස කරලා දාපු එතකොට ඉඳිඔයේ හිටපු ඕඅයිසී ගැන. ඔය සේරම මං හොයාගත්තා . ඊටත් පස්සේ ඒ විජේවර්ධන කියන්නේ මගෙ හොඳම ගෝලයාගේ තාත්තා කියන එකත් මං හොයාගත්තා.
මට මේක නීතියේ විදිහට කරන්න ඕනේ උනේ නෑ බං. එහෙම කරන්න ගියා නං එදා උඹලගේ තාත්තාට උනු දේම තමා අද මං කොච්චර ලොක්කෙක් උනත් මට වෙන්නෙත්. අදීරාට කරදරයක් උනේ මල්දෙණියයි , උගේ යාලුවො ටිකගෙනුයි කියලා ඔප්පු කරන්න මට සාක්ශි නෑ. අදීරාව ගඟට තල්ලු කරා කියන එක සාරංග ඇසින් දුටු සාක්ශියක් විදිහට උත්තර දුන්නත් ඒක උනත් ලේසියෙන් අනිත් පැත්ත හැරවෙන්න තිබ්බා. මේ සිස්ටම් එක ඇතුළේ දේවල් වෙන විදිහ උඹට මට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. ? අපේ ඇස් ඉස්සරහම කොච්චර අපරාධකාරයෝ හරි ලේසියෙන් හොඳ මිනිස්සු වෙලා තියනවද බං . මගෙ පොඩි එකා කිසිම මනුස්සයෙක්ට වරදක් කරපු එකෙක් නෙමෙයි. අදීරායි , වඩිවේලුයි කියන්නේත් හරි අහිංසක මිනිස්සු. උන්ගේ එක මොහොතක ආතල් එකක් නිසා ජීවිත කීයක් නැති උනාද බං ? අදීරා , වඩිවේල් , අපේ පොඩි එකා , මගේ අම්මා , මගේ තාත්‍තා . එතකොට මං අවුරුදු ගාණක් පිටින් නොපෙන්නුවට ඇතුළින් කොච්චර විඳෙව්වද බං ? මේ හැමදේටම මට කරන්න තිබ්බේ එක දෙයයි .
Silent .. හැමෝවම silent කරන එක….”


