(අ)හිමි සිහින -185

ඒ වනවිට මට කාගේවත් නැතිවෙන ගරු නම්බු නාමයක් ගැන කැක්කුමක් තිබුණේ නෑ.සුධාරක සුව කරගන්නට නැති වේදනාවත් මිනිස්සුන්ගේ අහස පොළොව නුහුලන වංචාකාරී වැඩත් අතරේ කලකිරීම සහ වේදනාවේ උග්‍ර අවස්ථාව මා ඉක්මවමින් සිටියා.

වසර ගණනාවක් මා ළඟ සුරක්ෂිතව තිබූ දිල්හානිගේ සරණාගත වීසා අංක සහිත ලිපිලේඛන රටින් පලා යෑම සඳහා ඇය සැදූ ව්‍යාජ ලිපි සහ  සුධාරකගේ මවත් නැගණියත් ඒ පෝස්ට් එක ලියූ මස්සිනා සහ  ඔහුගේ පවුලේ අය හා මාත් මගේ දියණියත් සිටින ඡායාරූප සියල්ලත් සමඟ මා ඉතා දිගු එහෙත් ඔවුන් සැඟවූ තිත්ත එහෙත් පරම සත්‍යය සැකෙවින් ලියා මුහුණු පොතේ පළ කළා. ඒ බොරුවට සීමාවක් ඇතිබව පෙන්වා දීමටයි.

මා එසේ කරතැයි ඔවුන් කිසිදා විශ්වාස කරන්නට නැතුව ඇති.මා ළඟ කිසිදු සාක්ෂියක් නැතැයි සිතන්නට ඇති.ඒ නිසාම බොහෝ දෙනාට ඒ වනවිටත් ඔවුන් පවසා තිබුණේ ඉතා අසත්‍ය කතාවක්.මහ පොළොව නුහුලන කතාවක්.මා සුධාරක සමඟ රණ්ඩු කරමින් සිටි අවස්ථාවක ඒ වේදනාවට සහ කෝපයට ඔහුට හෘදයාබාධය ඇතිවූ බව මේ නිහීන මිනිසුන් කියා තිබුණා.එය ඉවසන්නට හැකියි ඇතමෙකුට ඔවුන් මා සුධාරකට වස දී මෙසේ සිදුවූ බව පවසා තිබූ බව මා සිහි කරන්නේ දැඩි වේදනාවෙන්.

මේ අතර කතාවේ පළාතකවත්  නොසිටි දිල්හානි සියලු දෙනාට පවසා තිබුණේ අනුරාධා එපාවී සිටි සුධාරක එංගලන්තයේ තම දියණියන්ට අමතමින් සිටින අතරතුර ඔවුන් නැති ශෝකය ඉ හවහා ගොස් හෘදයාබාධයට ලක් වූ බවයි. සත්‍යය මා අත තිබියදී තව දුරටත් කරබා සිටීම කළ යුතු නොවේ යැයි සිතූ මා සුධාරකගේ දුරකථනයේ පටිගත වී තිබූ ඔහු අවසන් හුස්ම ගන්නා හඬ ද සහිත අපගේ අවසාන හඬ පටය සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරියා.අදටත් මේවා මගේ ෆේස්බුක් ගිණුමේ සුරක්ෂිතව තිබෙනවා.

පළ කළ සැනින් එය සියලුදෙනාම කියවා තිබූ අතර විශාල වාර සංඛ්‍යාවක් එය ෆේස්බුක් පුරා හුවමාරුවී තිබුණා.මට  නිකරුණේ දොස් පවරමින් මා නින්දිත ලෙස අමුඅමුවේ ගැරහීමට ලක් කළ මස්සිනාට සහ සුධාරකගේ පවුලේ අයට ඇස් ඇරුණේ එවිටයි.

අපේ කතාව හොඳින් දන්නා බොහෝදෙනෙක් ඔවුන් කළ දේ නොසුදුසු දෙයක් බවත් එසේ නොකළ යුතුව තිබූ දෙයක් බවත් ඔවුන් අමතා පවසා තිබුණා

“විහින් ඉල්ලන් කාලා” ඇතැමෙක් එසේ පැවසුවා

එසැනින් මස්සිනා මට අපහාස කරමින් පළ කරන ලද පෝස්ටුව ඔහුගේ ෆේස්බුක් ගිණුමින් අකුලාගෙන තිබුණා. අනුරාධා ඔවුන් හිතූ තරම් නිහඬව කරබාගෙන නොඉන්නා බවට මා ඒ අයට දුන් පළමු ඉඟියයි ඒ.

මේ තේරුමක් නැති හරසුන් විහිළු දේ කිසිවක් නොදත් මගේ සුධාරක රෝහල් සයනය මත අමාරුවෙන් හුස්මගනිමින් ජීවිතය රඳා පවත්වාගන්නට අසීරු සටනක නිරතවී සිටියා.සුධාරකගේ අයිතිය කියාගත් ඔහුගේම මිනිසුන්ගේ මෙවන් දහසකුත් බාධා මධ්‍යයේ මා එවකට සත් වියැති මගේ දියණියගේ සියලු වගකීම් මගේ දෙමාපියන්ට පවරා රටේ සිටින දක්ෂතම වෛද්‍යවරු චැනල් කරමින් ඔවුන්ට සුධාරකගේ රෝගය සුවකිරීමට හැකිදැයි විමසමින් ඒ හා සමානවම ආගමික කටයුතුවල යෙදෙමින් ඉතා අවිවේකී ජීවිතයක් ගතකරමින් සිටියා.

ගැහැණියකගේ ශක්තිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ගැහැණියක් වැලඳගන්නා විට ඉතා තදින් වැලඳගන්නවා සේම අත්හරින්නට සිතන මොහොතේ දරුණුවටම අත්හරිනවා.එසේම ඇය කුමන හෝ අරමුණක් සඳහා යන්නට මඟට බටහොත් ඒ ගමනේ හිනිපෙත්තටම ගොස් මිස පසුබසින්නේ නැහැ.ඒ ගැහැණියක සතු සැඟවුණු ශක්තියයි.ඔබත් ඔබ තුළ වූ ඒ වීර්යය වටහාගත යුතුයි ඔබ තුළ වූ වීරවරිය නැගිටුවා ගතයුතුයි.ඔබ ඔබේ ආත්මශක්තිය සහ ආත්මාභිමානය පලිහක් කරගනිමින් ඕනෑම දරුණු ව්‍යවසනයකදී නොසැලී ඉන්නට හිතට ගන්නවා නම් ඔබ බිම හෙලීමට සමත් කිසිවකුත් මේ මිහිපිට නැහැ.

ඒ ශක්තිය මනසින් දරාගෙන ගිලන්ව ජීවිතය සමග පොර බදන මිනිසෙක් වෙනුවෙන් අප්‍රමාණ ආදරයක් සෙනෙහසක් හදවතින් දරාගෙන හය හතර නොදන්නා පුංචි දියණියක් අතින් එල්ලාගෙන සුධාරක වෙනුවෙන් මා සටන් කළ හැටි මම මින් ඉදිරියට ඔබට කියන්නට සිතුවා.ඒ මගේ ආත්ම වර්ණාවකට නොවෙයි. විවිධාකාර වූ ගැටලුවලින් ඔබ දැනටත් පීඩා විඳිමින් සිටිනවා ඇති.ඔබට සරණක් වීමට කිසිදු කෙනෙක් නැතුව ඇති. ඔබ ඔබ තුළ තිබෙන මහා ශක්තිය අවදි කරවාගන්නට මගේ කතාවෙන් ඔබට බිඳක් හෝ හැකිවේනම්.ගැහැණියක් හැටියට මට එය අප්‍රමාණ සතුටක්.

අප හැම කෙනෙක්ම ජීවිතය තුළ රිදවූමට ලක්වූ සිහින බිදීම් වලට ලක් වූ ගැහැණු.අප අපව දරා නොගෙන කවුරුන් අප දරා ගන්නද? මම මගේ කතාවේ ලියන වචනයක් පාසාම ඔබ ඔබේ රිදවුම් පිස දමමින් හිනැහෙනවා නම් මට වෙන සතුටක් නැති තරම්.

අපි හෙටත් හමු වෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles