විහඟ පියාපත් 42

0
4560

අකලංක දිසානායක ගේ සම්මානලාභී සිතුවම් පටය ඕස්ට්‍රේලියාවේ සිනමාහල් දෙකක තිර ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැකසී තිබුණි. විදෙස් ගත වීමක උවමනාවක් හෝ තිබුනේ නැතිවුණත්, අකලංක ඕස්ට්‍රේලියා ගමනට සූදානම් වූයේය. එහෙත් ඒ ගමන තමන්ට නොවැදගත් බව පෙන්වන්නට සෑහෙන්නම උත්සාහ කලේය.

“උඹ මගේ ඉස්සරහ රඟ පාන්න ඕනි නෑ බං රෙද්ද… උඹ ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙන්නේ සෑහෙන්නම් උනන්දුවෙන් බව මට හංගන්න හදන එක මට කුජීත විදියට පේනවා… “

ප්‍රබාත් අවසානයේ අකලංක ට බැණ වැදුණේය. අකලංක එයටද හිනැහුණා පමණි. වසර එකහමාරකට වැඩි කාලයක් සියල්ල දරා ගත්තේ ප්‍රබාත්ගෙන්ද සැඟවෙමිනි. ඒ නිසාම ඔහු ඉදිරියේ වුවද නිදහසේ හැසිරෙන්නට දැනෙන්නේ බාධාවකි.

“උඹ හැංගුනාට, මං ඇහැ ගහගෙන නෙවෙයි කියලා හිතන්නෙපා…  දැන්වත් ගිහින් එක පාරක් ඒකිට කතා කරපං…. උඹ ඔහොම හිතුවක්කාර වෙන එකෙන් අර අහිංසක අම්ම දුක් විඳින්නේ කියලා අමතක කරන්නත් එපා….”

අකලංක ප්‍රබාත් පවසන සියල්ල අසා උන්නේය. 

“උඹ මොකක්ද මට කරන්න කියන්නෙ ?”

“හැමදාම කියපු එක තමයි… එක වතාවක් උත්සාහ කරලා බලපං… තිළිණි ආයෙ ආයෙම කියන විදියට ඒකි දැන් එහෙත් ස්ටේබල් වෙලා… කොෆී ශොප් එකක් කරනවලු ඩේලි සෑහෙන්නම් සක්සස්ලු.. මෙහෙ හොටෙල් එක සම්පූර්ණයෙන් බලන්නේ ලොක්කාලු… එච්චර ට එහෙ වැඩ වලට ඒකි කන්සන්ට්‍රේට් ලු.. එහෙ ගාර්මන්ට්ස් ශොප් එකක් දාන්නත් ප්ලෑන් කරනවලු… ඉතින් එහෙම එකේ, ඒකි ඉන්නේ උඹ කරපු දේ මත්තේ නැහිලා අඬාගෙන නෙවෙයි කියන එක තේරුම් අරගෙන ඒකි ඉස්සරහට යමං ..”

ප්‍රබාත් පවසන සියල්ල අකලංක මින් පෙර නොදන්නා  සෙ අසා උන්නේය

“උඹ හික්  මීයා වගේ අහන් උන්නට, මේ ඔක්කොම උඹ හොයාගෙන තියෙන්නේ කියන්න මං දන්නවා බං…  වරදින්න හරි, හරියන්න හරි උඹ මේ පාර අකලංක විදියට ගේමට බැහැපං…”

“එයා මට වෛර කරනවා බං.. මං හිතන්න්නෙ ශයිනිට මාව මතකවත් නැහැ……”

“එහෙම කරන්න එපැයි බං.. උඹ ලේසි සෙල්ලමක්ද කලේ ?”

අකලංක එයට කිසිත් නොකියාම උන්නේය.

“ඔය යන ගමනෙන් තීරණයක් අරගෙන වරෙන්.. උඹේ පාත් එක හැදෙන්න ගත්තා විතරයි අකා.. පිස්සෙක් වගේ නටන්න එපා.. ඒකි ට බෑ නම් ,උඹට මූව් වෙන්නම වෙනවා..”

අකලංක ඉතා බර සුසුමක් හෙලුවේය. ශයිනි , ඇය කිසිලෙසකින්වත් තමා දැකීමටවත් කැමති නොවන වග දැනෙන්නේය. මෙතරම් කාලයක් තිස්සේ ඇය තමාගෙන් දුරට වී සිටීමම තෝරාගත්තේය. එපමණකින් නොනැවතී ජීවිතය වෙනමම මාවතක් දිගේ රැගෙන යමින් සිටින්නීය.

“තිළිණි එක්කවත් උඹ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැලු ඒකි. තිළිණි කියන කිසිම දේකට ප්‍රතිචාරයක් පෙන්නනේත් නැහැලු….උඹ මේ බලාගෙන ඉන්නවා වුණාට  ඒ කෙල්ල දැන් සෑහෙන්නම දුර ගිහිල්ලා වෙන්නත් පුළුවන් ..

මට ආරංචියක් ආවා අර ජේ ඇන්ඩ් ජේ එකේ අර්ජුන් ඒකි පස්සෙන් ලු දැන් කාලෙක ඉඳන්..  බොහෝවිට ඒක කෙරෙන්න නියමිත ඇති…

උඹ  නිකන් බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ බං….දෙකෙන් එකක් බලාපොරොත්තුවෙන් ශයිනිව මුණ ගැහියං ..”

අකලංක ට සැනෙකින් සිහිවුයේ අර්ජුන් ය. ඔහු ප්‍රියමනාප කඩවසම් සාර්ථක මිනිසෙකි.  කිහිප වතාවක්ම තමා හමුවන්නට ද පැමිණි වග මතකය. ඒ ඔහුගේ ඇඟලුම් විලාසිතා කිහිපයකට නිරූපණ ශිල්පියෙකු ලෙසින් සහභාගි වන්නට යැයි ආරාධනා කරන්නටය.  ඒ කටයුතු සාකච්ඡා මට්ටමෙන් පසු දිග්ගැස්සුණේ නැත්තේ , තමා කාර්‍යබහුල වීම නිසා වගද අකලංක ට මතකය. 

ශයිනි – අර්ජුන් ව්‍යාපාර ලෝකයේ ඉතා ඉහළින් වැජඹෙන නම් දෙකක් වගට සැක නැත.

ඉතින්, තමා ඇය ඉදිරියට යා ‍යුතුද? 

අකලංක මෙල්බර්න් ගුවන් තොටුපලෙන් කැටුව යෑමට සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙක්ම පැමිණ උන් හ. ප්‍රධාන නළු නිළි යුවල පෙරදිනයේ පැමිණ උන් නිසා අකලංක උන්නේ තනිවමය. 

ඕස්ට්‍රේලියා අහස යට අකලංක ගේ වේදනාව මරණීය වෙමින් තිබුණි. ඇය ඉන්නේද මේ මෙල්බර්න් නගර සීමාවේම බව ඔහු දනී. ඉන්න ඉසව්ව සොයා ගැනීම එක ඇමතුමක දුරකිනි. එහෙත්  , ඇයට එය අවැසි නැතිනම්…, 

පළමු දර්ශන වාරයට පසුව අකලංක සහභාගි වූ සංවාදමය වැඩසටහන සංවිධානය කර තිබුණේ ශ්‍රී ලාංකික යුවලකගේ නිවසේය. දෙසිය දෙනෙකුට අධික පිරිසක් සවස හය වෙද්දීම එහි පැමිණ උන්හ. 

සංවාදය මෙහෙයවූයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික ඉංජිනේරු තරුණයෙකි.

අකලංක පිටපත ලිවීමේ සිට නළු නිළියන් තෝරා ගැනීම, පසුතල තෝරාගැනීම දක්වා බොහෝ කාරණා ඔවුන් සමඟ බෙදාගත්තේය.

” මේ හැම රූප රාමුවකම තියෙනවා යම් බිඳීමක්… වේදනාවක්…”

“ඒක මගේ ජීවිතේ ත් තියෙන බිඳීමක්… වේදනාවක් මල්ලී.. සමහර වෙලාවට රියැලිටිය  ප්‍රතිස්ථාපණය කරන එක, ෆැන්ටසිය ප්‍රතිස්ථාපණය කරන එකට වඩා ලේසියි”

අකලංක පැමිණි පිරිස අතරේ යමෙකු සොයමින් උන්නේය. ඇය පැමිණෙන්නට කෙලෙසකින්වත් ඉඩක් නැති වග යටි හිත කියද්දී, උඩු හිත ඇයගේ පැමිණීම විය නොහැක්කක් නොවන වග කීවේය.

“අකලංක අය්යා….. එල්ලුම් ගහට නියම වෙලා   හිටපු  අය්යා ගේ ආදරේ  වෙනුවෙන් ලියුම් ලියපු මල්ලීට මොකක්ද වෙන්නේ?;..’

අකලංක හිනැහුනා පමණි.

ව්‍යාජ මිනීමැරුම් නඩුවකට පැටලී , එහි වැරදිකරු වූ තම අය්යා ප්‍රාණසමව ප්‍රේම කරන යුවතිය ගැන  මල්ලීට පවසන්නේ  එම මිනීමැරුමට පැටලෙන්නට පෙර දිනයේය. ඇය ගැන සොයා බලන්නට කියන්නේ නඩුවේ වරදකරු වූ දිනයේය. 

යුවතියට අය්යාගේ නමින් ලියුම් ලියන මල්ලී නිර්මාල් ය. වසරක් තිස්සේ ලියුම් වලින් සහ ව්‍යාජ මුහුණු පොත් ගිණුමකින් මවා ගන්නා ලද රුවකට ප්‍රේම කරන යුවතිය සංජනාය. 

නොකල වරදකට හසුවී, මරණ දඬුවම ලබා ජීවිතාන්තය තෙක් සිර ගතව සිටින අය්යා සංජක ය. 

අවසානයේ සංජක වෙනුවෙන් ඉදිරිපත් වන අභියාචනාවකින් සංජක නිදහස් වන්නේය.

ඔහු සංජනා මුණ ගැසෙන්නේය. 

ඇයව කැටුව විදෙස් ගත වන්නට සැලසුම් සකසන්නේය. තමා වසරක් තිස්සේ සිරගතව උන් වග ඇගෙන් සඟවන්නේය. 

සංජනා ප්‍රේම කලේ අය්යාගේ නමින් ලියුම් ලියූ තමාට වගට නිර්මාල්ට සැක නැත. එහෙත්, අය්යාට ද්‍රෝහි වන්නට නොහැක. 

අය්යා පැමිණ නිර්මාල් සතු සියළු ලියුම් රැගෙන යන්නේය 

මුහුණු පොත් ගිණුමද ලබා ගන්නේය.

මල්ලී, නිර්මාල් ඉතා සීරුවෙන් සංජනා මත වත් කල ප්‍රේමය ද සමඟ අනුරාධපුර  බස් නැවතුම් පලෙන් කොළඹ බසයකට ගොඩ වන්නේය.

අය්යා, සංජක සංජනාද කැටුව කටුනායක ගුවන්තොටුපල අසලින් බැසගන්නේය.

ශයිනි චිත්‍රපටය අවසන් වන්නට පෙර නිවසට පැමිණියාය. නැන්දාට කීවේ දැඩ් හිස රිදුමක් ඇති වගය. 

අකලංක, ඔහු එවන් මරණීය වේදනාවක් විඳිමින් සිටින්නෙද ? තමා සේම ඔහුටද යම් අහිමිවීමක වේදනාව නිසා ජීවිතය ක්ශයව ගොස් බව සිතෙන්නේද ? 

ශයිනි නින්දට වැටුණාය. යළි ඇහැරුණේ නැන්දාගේ ඇමතුමටය

“ශයිනි .. අපි පෙරේරා සන්ගේ ගෙදර .. අද එහෙ ඩිනර් හැමෝටම…අකලංක පුතාගේ ඩිස්කශන් එකත් තියෙනවා … “

ශයිනි ඉන් එහා කිසිවකට සවන් දුන්නේ නැත. දිය නාගෙන , තිබූ සුන්දරම ගවුම ගත ලා ගත්තාය. ජංගම දුරකථනය පමණක් අතට ගත්තාය. පිරිස පැමිණියාටද පසු, අඳුරු වැටුනාට පසු කුඩා ගේට්ටුවෙන් ඇතුළු වී අකලංක ට නොපෙනෙන සේ හිඳ ගත්තාය.

ඔහු විමසිල්ලෙන් කිසිවෙකු සොයන වග පෙනෙද්දී, ඒ සොයන්නේ තමාදැයි සිතමින් සැනසුනාය. එහෙත්, තමා මෙහි සිටින වග ඔහු  දන්නේ කෙලෙසකින්දැයි සිතමින් යලි රිදවාගත්තාය. 

රාත්‍රී ආහාරය මඟැර ශයිනි උන්නේ ගේට්ටුවෙන් පිටතට වීය. අකලංක ට නවාතැන් සලසා ඇත්තේ නිවෙස් කිහිපයක් ඔබ්බෙන් වූ නිවෙසක බව ඕ සොයාගෙන තිබුණාය.

ඔහු පැමිණෙන්නේ නැතිනම්, ඔහු තුළට ඇතුළුවිමේ බලතල ශයිනි කැමැත්තෙන්ම පවරා ගත්තාය.

ඔහු ට මඟ හැරෙන්නට නොහැකි බව තමා දනී.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here