මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 35

0
55

“එයා ඇත්තටම මගෙන් ඇහුවා ‘ඔයා එයා එක්ක නිදාගත්තද?’ කියලා.”

රුවිනිගේ මූණ එකපාරටම වෙනස් වුණා.

අපි හිටියේ ඔෆිස් එකේ බැල්කනි එකේ. හවස වැස්සක් වැටිලා නතර වෙච්ච නිසා හුළඟ ටිකක් තෙතයි. පහළ පාරවල් වල වතුර තාමත් ලයිට් එළිය වැටිලා දිලිසෙනවා. රුවිනි බැල්කනි රේලින්එකට හේත්තු වෙලා හිටියා. මං කවුච් එකේ කොනකට වෙලා හීතලට ඇඟේ ශෝල් එකකුත් ඔතාගෙන හිටියේ.

“මොන මගුලක්ද ඒ අහලා තියෙන්නෙ?”

“ම්ම්.”

“කෙලින්ම එහෙම ඇහුවද?”

“ඔව්.” මං එහෙම කිව්වට පස්සෙ රුවිනි එච්චර වෙලා එයා හේත්තුවෙලා උන්න බැල්කනි රේලින් එකෙන් මෑත්වෙලා මං උන්න කවුච් එක ලඟට ඇවිත් වාඩිවුණා.

“ඊට පස්සෙ?”

මං හුස්මක් අරගෙන ඔලුව පස්සට හේත්තු කළා.

“මුලින් එයා හරි නෝමල් විදියට කතා කළේ. ගුඩ් මාකට් එකේදි හේසර එක්ක මාව දැක්කම එයාට ඉරිසියා හිතුණා කිව්වා.”

“ඒකෙන්ම පේනවනෙ මිනිහා එන්න එන්න ටොක්සික් වීගෙන එන්නෙ කියලා.”

“එවෙලෙ මට එහෙම හිතුණෙ නෑ.”

“ඔව් ඉතින් ඉහේ ඉඳන් කකුල් දෙක වෙනකම් මෝඩයිනෙ උඹ.”

මං රුවිනි දිහා රවලා බැලුවා.

“දැන් උඹද කතාව කියන්නෙ මමද?”

“හරි හරි. කියපංකො.”

මං ටිකක් වෙලා නිහඬව හිටියා. මතින්ද්‍ර එදා බැල්කනි එකේ හිටපු විදිය මට ආයෙ මතක් වුණා. එයා සිගරට් රැල් පිටකරපු විදිය. එයාගේ ඇස්. ඒ අමුතු සීරියස් ටෝන් එක.

“එයා කිව්වා එයාට මාව වෙන කෙනෙක් එක්ක ඉන්නවා හිතන්නවත් බෑ කියලා.”

රුවිනි හිනා වුණා.

“මාර පතිභක්තියක්නේ ඒක.”

“රුවිනි…”

“හරි හරි සොරි කියපංකො.”

“ඊට පස්සෙ තමයි එයා නිකන් අමුතු කතන්දර කියන්න ගත්තෙ”

“කොහොමද?”

“එයා එකම දේ ආයෙ ආයෙත් ඇහුවා… හේසරයි මමයි අතර ඇත්තටම මොකක්ද තියෙන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් කෙනෙක් අහන විදියේ කුතුහලයක් නෙවෙයි. හරියට මාව හිර කරලා ප්‍රශ්න කරනවා වගේ. මට දැනුණේ මං මොකක් හරි වරදක් කරලා පොලිසියට අහු වුණා වගේ කියලා”

“උඹ මොකද කිව්වෙ?”

“මං කිව්වා හේසර හොඳ කෙනෙක් කියලා.”

“ඒක නෙවෙයිනෙ නේද ඉතින් ඌ අහපු දේට උත්තරේ.”

“ඔව්. මතින්ද්‍රත් ඒකම කිව්වා.”

“එයා කතා කරපු ටෝන් එක මාර අමුතුයි රුවිනි. හරිම ශාන්තයි වගේ. ඒත් ඒක ඇතුළේ ලොකු නොසන්සුන්කමක් තිබුණා. හරියට මාර විදියට කේන්ති ගිහින් ඒක බලෙන් පාලනය කරගෙන ඉන්නවා වගේ.”

“පිරිමින්ගෙ හැටි තමයි.”

“ඊට පස්සෙ එයා ඇහුවා ‘ඔයාට එයාව ඕන වුණාද?’ කියලා.”

රුවිනි ඇස් පියාගෙන හුස්මක් ගත්තා.

“මේඝා”

“ඒ වෙලාවෙ ඇත්තටම මට පොඩ්ඩක් බය හිතුණා බං.”

“පුදුමයි උඹේ ඔලුවට එහෙම සිග්නල් එකක් හරි ගියපු එක. නැත්තම් ගොං නෑම්බි වගෙ ඔය මිනිහා විශ්ණුගෙ අවතාරෙ කියලනෙ උඹ මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ. මගෙ ඉන්ද්‍ර මගෙ ඉන්ද්‍ර කියලා හිතාගෙන තමන්ව දාලා ගිය මිනිහා වෙනුවෙන් මැරෙන්න ගිය ගෑනිනෙ උඹ.”

“එයාට මං ගැන ඉරිසියා හිතුණා කියන එකේ මොකක් හරි පැත්තකින් මට හිත යටින් පොඩි සතුටක් වගේත් දැනුණා.” මං blanket එක තව ටිකක් තද කරගත්තා.

“ඒත් ඒක නිකන්ම නිකන් ආදරේට දැනෙන ඉරිසියාවක් නෙවෙයි රුවිනි. ඒකේ තිබුණේ මාව අයිති කරගන්න හදන ගතියක්. හරියට මං එයාට අයිති දෙයක් වගේ. එයා කිව්වා එයාට ඒ ගැන හිතන එක නවත්වාගන්න බැහැ කියලා.ඊට පස්සෙ එයා මගේ මූණට අත තියලා කිව්වා, ‘මං හොඳ සිහියෙන් ඉන්නේ මේඝා. මට වෙරි වෙලා නෑ ඒකයි ප්‍රශ්නෙ’ කියලා.”

රුවිනි මං දිහා කෙලින්ම බලන් හිටියා.

“මේඝා” එයා හෙමින් කිව්වා. “මේ පාර නම් උඹ ලොකු අමාරුවක වැටෙන්නයි යන්නෙ.මේඝා, මං සීරියස්ලි කියන්නෙ ඕක දැන්වත් නවත්තපන්.”

රුවිනිගේ කටහඬේ තිබුණේ පුදුමාකාර සන්සුන් බවක්. ඒත් ඒ සන්සුන්කම ඇතුළේ ලොකු තිගැස්මක් හැංගිලා තිබුණා. මාව අනවශ්‍ය විදියට බය නොකර ඉන්න එයා ලොකු උත්සාහයක් දරනවා කියලා මට ඒ වෙලාවේ දැනුණා.

“උඹ මේ මුළු සිද්ධියම ඕනෑවට වඩා රොමෑන්ටික් කරලා හිතනවා. එයා හිතින් වැටිලා ඉන්නේ, එයා තනිවෙලා, එයාට මාව ඕනෙ කියලා උඹ හිත හදාගන්නවා. හැබැයි උඹට තේරෙන්නේ නැහැ මේක දැන් හරිම භයානක පැත්තකටයි යන්නේ කියලා.

කසාද බැන්ද පිරිමියෙක් මානසිකව අස්ථාවර මට්ටමක ඉන්න වෙලාවක, ඒ මනුස්සයාට සහනයක් වෙන එක ගෑනියෙක්ට තමන් විශේෂයි කියලා දැනෙන්න මාර ලේසි පාරක්. මොකද එයා හැම වෙලාවෙම තෝරාගන්නේ උඹව. උඹට කෝල් කරනවා, උඹ ගාවටම ආපහු එනවා. එතකොට උඹට හිතෙන්නේ එයාව ඇත්තටම තේරුම් ගන්න ඉන්න එකම කෙනා මමයි කියලා.

මං ඒක බොරුයි කියන්නේ නැහැ, ඒ හැඟීමට ඇබ්බැහි වෙන එක සාමාන්‍යයි. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි, මේ වගේ පිරිමින්ට කාලයක් යද්දී උඹව ඕනෑවට වඩා ඕනෙ වෙන්න පටන් ගන්න එක.”

මං කිසිම දෙයක් නොකියා අහගෙන හිටියා.

“අද ඉරිසියාවට ප්‍රශ්න අහනවා. හෙට කොහෙද ඉන්නේ කියලා අහයි. ඊට පස්සේ කා එක්කද ඉන්නේ?, ඇයි රිප්ලයි පරක්කු?, ඇයි කෝල් කට් කළේ? ඔය හැමදේම අහන්න පටන් ගනීවි.

මොකද තමන්ගේ රියල් ලයිෆ් එක කඩන් වැටෙද්දී කෙනෙක් මානසිකව උඹ මතම යැපෙන්න ගත්තම, එයාට උඹව මනුස්සයෙක් විදියට පේන්නේ නැහැ මේඝා. එයාට උඹව පේන්නේ එයාට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් ටැංකියක් වගේ.

මතක තියාගනින්, තමන් හුස්ම ගන්න ඔක්සිජන් ටික අනිත් අයත් එක්ක බෙදාගන්න කවුරුත් කැමති නෑ.”

රුවිනි හෙමින් හුස්මක් ගත්තා.

උඹට තාම මේකේ තියෙන ආතල් එක විතරයි පේන්නේ. හොර රහසේ හම්බවෙන එක, නිදි මරාගෙන ටෙක්ස්ට් කරන එක. මේ හැමදේම උඹ දකින්නේ ආදරේ විදියට. එයා උඹ ගැන ඔය තරම් වද වෙන එක උඹට මාරම රොමෑන්ටික් වගේ පේනවා ඇති.

හැබැයි මතක තියාගනින්, මේ වගේ කතා කවදාවත් ප්‍රශ්නයක්, හිත් රිදීමක් නැතුව ඉවර වෙන්නේ නැහැ. කවුරුහරි කෙනෙක් අන්තිමට කුඩු වෙන්නම කැඩෙනවා. සමහරවිට උඹ, මතින්ද්‍ර, එයාගේ වයිෆ් ඔය හැමෝම වෙන්න පුළුවන්.”

එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවා.

“අනික මේක ඉවර වෙන්නේ නිකන්ම නිකන් හිත රිදීමකින් විතරක් නෙවෙයි. මිනිස්සුන්ට ඕපාදූප කතා කරන්න චාන්ස් එකක් ලැබෙනවා.. වයිෆ්ට ආරංචි වෙනවා. යාළුවෝ පැති ගන්නවා. උඹේ නම කැත වෙනවා. හැමෝම අතර තියෙන විශ්වාසය නැති වෙලා යනවා.

උඹලා දෙන්නා මේ ගින්නට ලං වෙන්න ලං වෙන්න, ආපහු බේරිලා එන්න බැරි වෙන තැනටම පිච්චෙනවා.”

මගේ පපුව බර වුණා.

“ඔයා හිතන්නෙ එයා මාව විනාශ කරයි කියලාද?”

“නෑ.” රුවිනි ඔලුව හෙමින් දෙපැත්තට වැනුවා. “මං හිතන්නෙ එයා දැන් දැනටමත් ගිලෙමිනුයි ඉන්නෙ . ගිලෙන මිනිස්සු සමහර වෙලාවට තමන්ව බේරගන්න හදන කෙනාවත් ඇදගෙනමයි යටට යන්නෙ.”

බැල්කනියේ හුළඟ තව ටිකක් තද වුණා. ඒ සීතල මගේ ඇඟ ඇතුළටම දැනෙන්න ගත්තා.

“උඹ දන්නවද මට තියෙන ලොකුම බය මොකද්ද කියලා?” රුවිනි හෙමින් ඇහුවා. “මට හිතෙනවා මතින්ද්‍ර දැන් ටික ටික පිස්සෙක් වගේ උඹ පස්සෙන් එන්න පටන් ගනීවි කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here