විහඟ පියාපත් 41

0
4382

චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා මාස කිහිපයක් ගත විය. ඒ අතරේ අකලංක ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. ප්‍රබාත් එහි ප්‍රධාන කොටස් සඳහා දායකට්ජ්වය දෙමින් උන්නේය. 

පුවත්පතෙහි කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත්ව නොඋන් නිසා අකලංක අමයුරුගේ වේශයෙන් ඔහුට කියාගන්නට අවැසි වූ බොහෝ කාරණා චිත්‍රපටය සමඟද මුහු කර ලිව්වේය. සමාජ මාධ්‍ය පිටුවල පලවූ එවන් ඇතැම් ලිපි ඉතා ප්‍රචලිතව ගියේය. 

 ඒ නැතත් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුල සිටම සැලසුම් වූ නිසා අකලංක ට ඒ පිළිබඳව අමතර වෙහෙසෙන්නට වූයේ නැත. 

ඒ අතරේ ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ චිත්‍රපට සම්මාන උළෙල දෙකක් සඳහාද අකලංක සිය සිතුවම් පටය යොමු කලේය. සැබැවින්ම ඔහුට අවශ්‍ය වූයේ ශයිනි සිහි නොවන තරමට කාර්‍යබහුල වීමම පමණක් ය. එහෙත්, කාර්‍යබහුල වන්නේ කෙතරමටද , ඒ තරමට ඔහුට ජීවිතයේ ඇති හිස් තැනක් දැනුනේය.

ශයිනි අමතන්නට දවසට දහ පහලොස් වතාව ගානේ සිතෙනවා වුවද, ඇය යළි ඇයගේ ජීවිතය හා සමාන්තරව හෝ ඇවිද නොයන ලෙසින් කල ඉල්ලීම පරයා යන්නට අකලංක ට සිතක් වූයේ නැත. 

තමාගේ පැත්තේ කතාව කෙතරම් සාධාරණ ලෙසින් පෙනුනද, ශයිනි වැනි කෙල්ලකට ඒ කතාව ඇගේ පසින් පහසු නොවන වග දැන් ඔහුට වැටහෙන්නේය. 

ඒ නිසාම ශයිනිගේ සීමාවන් ඉක්මවා යන්නට ඔහුට  සිතුණේ නැත. 

අකලංක මාතලේ ගියේ අම්මා හදිසියේම අසනීප බව මල්ලී පැවසූ නිසාය. එහෙත් අම්මාට කිව් තරමේ අසනීපයක් නොමැති වගත්, එය ඔහුව ගමේ ගෙන්වා ගැනීමට කෙරූ  විජ්ජාවක් බවත් වටහා ගත් පසු අකලංකට මල්ලී සමඟ හට ගත් කෝපය පිට කර ගැනීමට ක්‍රමයක් වූයේ නැත. ඔහු කාමරය තුළට වැදී දොර වසාගෙන පැය කිහිපයක් ගත කලේය. රාත්‍රී ආහාර ය මඟ හැරියේය. 

අවසානයේ තාත්තා කිහිප වරක් උදෑසන  ආහාරය ගන්නට එන්නයැයි පැවසූ නිසා අකලංක පිටතට ආවේය. ඒ වනවිටත් දොර විවෘතව තිබුණි.  ඒ කුමක් වී දැයි අසන්නට අකලංක ට අවැසි වූයේ නැත.  

කිසිවෙකුගේ හෝ මුහුණ නොබලාම නාන කාමරය තුළට වැදුනේය. සිත් සේ නා ගත්තේය. ඉන් පසුව කෙටි කලිසමකින් සැරසුණේය. දැනෙන සිසිලස ඉක්මවන රිදුමක් තමා තුළ ඇති වග අකලංක ට දැනෙන්නේය. ඉතා සැහැල්ලු ජීවිතයක් ගෙවමින් උන් තමා වෙනස් වී ඇත. මිතුරන් හමුවිම , සාද සඳහා සහභාගි වීම එහෙමම අත් හැරී ඇත. ප්‍රබාත් සමඟ හෝ දොඬමළු වෙන්නට උත්සාහ නොකරන තරම් ය. 

” මඟුලේ ආදරේ …”

අකලංක නාන කාමරයෙන් පිටතට පැමිණියේය. 

අම්මා අසනීපයෙන් නොවන වගද අකලංක ට සිතෙන්නේ නැත. වෙනදා ඇය ගේ වත පුරා වූ සැහැල්ලුව දැන් නැත. ඇය ඉන්නේ කල්පනාවකය. 

කෑම මේසයේදී කිසිවෙකු ආගිය තොරතුරු විනා අන් කිසිවක් විමසන්නට නොයෑම නිසා අකලංක කුස පිරෙන්නට ආහාර ගත්තේය.  

කාමරයට වැදෙන්නට උවමනා වුවද, ඔහු රූපවාහිනීය දෙස බලමින් හිඳ ගත්තේය. 

” ඔයා මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ ලොකූ ?”

අම්මාගේ හඬ වෙවුලන බව දැනුන නිසා අකලංක ඇය දෙස නොබලා උන්නේය.

” ප්‍රපෝසල් කීයක් නම් ගෙනාවද? ඔයාට ලංකාවේ බැරි නම් රටකට හරි යන්න මම ඕස්ට්‍රේලියා ඉන්න යාලුවොන්ටත් කිව්වා එහෙ ඉන්න ගෑණු දරුවෝ බලන්න කියලා… ඔයා ඒ කිසි කෙනෙක්ට කතා කරන්නේ නෑ… ඇයි අපිට මෙහෙම ගින්දර දෙන්න්නෙ ?”

“මං කසාද බඳින එක ගැන අම්මට මෙච්චර කල් ප්‍රශ්නයක් තිබුනේ නෑනේ අම්මේ … මොකක් වෙලාද මේ එකපාරටම ..? මෙන්න මූ කසාද බන්දන්න ඉස්සෙල්ලාම …”

අකලංක මල්ලී පෙන්වමින් කීවේය. එයට මල්ලී පැවසූයේ කුමක්දැයි ඔහුට ඇසුනේ නැත.

” ඉස්සර නම් ඔයා කතා නැති වෙනකොට ප්‍රබාත් හරි ෆෝන් එක උස්සනවා.. දැන් එයත් කතා කරන් නෑ.. කතා කලත් වචනෙන් දෙකෙන් ෆෝන් එක තියනවා …”

“ඌට වැඩ …”

“ඉස්සරත් වැඩ කරේ නැතුව නෙවෙයි නෙහ් …”

“අනේ අම්මේ ….. නිකන් හිත කලබල කරගෙන අසනීප නොවී, පින්සිද්දවෙයි කාලා බීලා ඉන්නවද ?  මට වැඩ මේ දවස් වල ඔලුව උඩට…. මෙහෙම් කලබලේ කොළඹින් පිට එන්න බෑ…”

“එතකොට උඹට දැන් අම්මා තාත්තා ටත් වැඩිය ලොකු වැඩ තියෙනවා ද ?”

“කියන එක තේරුම් ගන්න අම්මේ…”

අකලංක කාමරයට යන්නට නැගිට්ටේය.

” කවුද ශයිනි කියන්නේ ?”

“මොකක් ?”

අම්මා විමසුවේත්, අකලංක නැවතුනේත් එකටමය. 

මල්ලී සරදම් සිනහවක්ද සමඟින් ඉදිරියට ආවේය. 

“ඊයේ රෑ ශයිනි ශයිනි ගාලා තමුසේ කෑ ගහන්න ගත්ත පාර දොරත් කඩාගෙන ඇතුලට ආවේ … මොකෝ මේ පාර හොට පැටලුනාද කොට කොට ගිහුන් …?”

අකලංක මල්ලීව පසෙකට කලේ කෝපයෙන් ය.

“අය්යා… කවුද ශයිනි… ඉන්න තැනක් කියනවා අපි හොයාගෙන හරි එන්නම් …”

අකලංක ට යන්නට ඉඩ නොදෙමින් මල්ලී විමසුවේ අකලංක ගේ දෙ උරහිස් මත දෑත් තබමිනි. 

“විකාරද බං… උඹ තමයි අම්මලගෙත් ඔලුව කන්නේ ?”

“ඔය හිතේ තියෙන ප්‍රශ්න මේ වහල යට අපි එක්ක කතා බස් නොකර නම් උඹ කොළඹ යන්න හිතන්නෙපා ලොකූ … “

අම්මා අවසන් තීරණය ලෙසින් පැවසුයේය. තාත්තා ගේ නිහඬව සිටීම අකලංක ට තවත් රිදුමක් තනමින් තිබුණි. 

අකලංක ප්‍රබාත් ඇමතුවේය. ඔහු පැවසූයෙ අම්මලාට සියල්ල පවසා, හිත සන්සුන් කර ගැනීමට කාලයද අවශ්‍ය බව පවසා යළි කොළඹ එන ලෙසය. 

අකලංක ශයිනි ගේ විද්‍යුත් තැපෑලට නිර්නාමික  ලියමනක් යැව්වේය. 

” එක වතාවක් පැටලුණු මිනිහෙක්ට, දෙවෙනි වතාවක් ඉල්ලන්න අයිතියක් තියෙනවා නේද ? .”

එහෙත් ශයිනි එම ගිණුමේ භාවිතය අත් හැර දමා තිබූබව ඔහු දැන උන්නේ නැත. අකලංක බලාපොරොත්තු අත් හැරියේය.

එදින රාත්‍රී යේ සිදුවූ සියල්ල ඉතා සවිස්තරාත්මක ව අම්මලා හා බෙදා ගත්තේය. පසුදින උදෑසන කොළඹ ආවේ අම්මලාට කලබල නොවන ලෙසත්, තමා  ට  හැකි තරම් නිදහසේ සිටීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලමිනි.

අකලංක කොළඹ පැමිණ මාසයකට පසු චිත්‍රපටය ඉතා විශාල ප්‍ර්‍රේක්ශක ආකර්ශණයක් සමඟ තිරගත වීම ඇරඹුණි.

ඒ අතරේ විදෙස් සම්මාන දෙකකට චිත්‍රපටය යෝජනා වී තිබුණි.

අකලංක ඒ සියලු ජයග්‍රහණයන් උපේක්ෂාවෙන් දරා ගත්තේය. 

එහෙත් ඔහුට පුරවා ගත නොහැකි හිස් තැනක් විය 

| අපේක්ෂා ගුණරත්න |

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here