මධුසමය දා තම මනාලිය අප්‍රිය වූ තරුණයෙක්.

දෙදෙනෙකු අතර ඇරඹෙන ලිංගික ජීවිතය මුල්ම මොහොතේදි ගැටළුකාරී තත්ත්වයකට ආවොත් එය බොහෝ කාලයක් බලපාන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? පළමු අත්දැකීම රසබර ආදරණීය එකක් නොවීම අනෙකාට ඔබ අප්‍රිය වන්නට හැකියාව පවතින්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඇගේ දීර්ඝකාලීන උපදේශන වෘත්තියේ අත්දැකීම් ඇසුරෙන් ඔබට කියන්නේ එවැනි කතාවක්.

සඳුනි සහ සමීර මාස අටකට සීමා වූ විවාහය නවතා දික්කසාදයකට යාමට පෙර පවුල් ජීවිතය ගෙවන්න එක් වතාවක් උත්සාහ කරන්නට හිතාගෙන තමයි රත්නා මහත්මිය හමුවට එන්නේ.ඔවුන් කතා කරන්නේ ඉතාම වියවුලෙන්.දෙදෙනාට දෙදෙනා ඉතා නුරුස්නා බවකින් තමයි ඔවුන් ඉන්නේ.

සඳුනිත් සමීරත් මුණ ගැහෙන්නේ ෆේස්බුක් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා.බොහෝ කාලයක් චැට් කරමින් සහ දුරකථන ඇමතුම් වලින් සම්බන්ධය රැගෙන යන ඔවුන් දෙදෙනා මුණ ගැහෙන්නේ ආදරය කරන්න එකඟ වෙලාත් සෑහෙන කාලෙකින්.සඳුනිට ඉන්නේ අම්මා විතරයි.ඇය අම්මාගේ දැඩි රැකවරණය විඳින දියණියක්.ඒ නිසා සමීරට සඳුනි මුණ ගැහෙන්නට ඇගේ ගෙදරට යන්න සිදු වෙනවා.හොඳ රැකියාවන් කරන මේ දෙදෙනාගේ විවාහයට දෙපාර්ශවයම කැමැත්ත පළ කරනවා.සඳුනිගේ අම්මාගේ ඉල්ලීමට ඔවුන් ඉක්මනින්ම විවාහ වෙනවා.

“වෙඩින් එකේ හැමදෙයක්ම තීරණය කරේ සඳුනිගෙ අම්මා.අපි අඳින ඒවා, හෝටලේ, ලන්ච් මෙනු ඔක්කොම අම්මට ඕන විදියට සඳුනි තීරණය කරද්දී මං හිටියේ තරහ ගිහින්.මගෙ අදහසක් නිකම්වත් අහන්නේ නෑ.අන්තිමට හනිමුන් යන හොටෙල් එකත් අම්මම බුක් කරනවා කිව්වා.ඒත් අපි අන්තිමට වෙඩින් එක දවසේ බලනකොට එහෙම එකක් බුක් කරලා නෑ.දැන් හදිසියේ හෝටල් හොයන් නැතුව ගෙදර යං කියල කිව්වෙත් සඳුනිලගෙ අම්මමයි..”

අවසානයේදී ඔවුන් සඳුනිගේ ගෙදරට යනවා.නමුත් රෑ බෝ වන තුරුම අම්මා සඳුනිට කාමරයට යන්නට ඉඩ නොදී ඇයට වැඩ පවරනවා.ඉන් අනතුරුවත් කාමරයේ දොරට ගසා විවිධප්‍රශ්න අසනවා. සමීරට පළමුව තදබල කේන්තියක් ඇති වෙන්නේ මේ හැසිරීම් සම්බන්ධයෙන්

“අන්තිමට කොහොමහරි සඳුනි කාමරේට ඇවිල්ලා මම සඳුනිගෙ ඇඟට අතක් තියනකොටම එයා චික් ගාලා ඇඟ ගැස්සුවා.හරියට මං අල්ලනවට එයා අප්‍රසන්නයි වගේ.මේ මොන මල කරදරයක් ද වගේ එකක් තමයි එයා දැනෙන්න ඇරියේ.මට ඒකට හරිම කේන්ති ගියා, සඳුනිව එපා උනා..”

ඉන්පසු සමීර සඳුනි සමඟ ලිංගික කාර්යයකට පෙළඹෙන්නෙම නැහැ.ඔහු සඳුනි කාමරයට එන්නට කලින් නිදා ගන්නවා.එසඅ සඳුනිගේ අම්මා සමඟ ඉන්නට අපහසු බව කියා සඳුනිව තමන්ගේ මහ ගෙදර රැගෙන යන්න සමීර වගබලා ගන්නවා. ඒත් සමීර එහිදීත් ලිංගිකව එකතු වෙන්නේ නෑ.

“මෙයා රෑ වෙනකන් මල්ලිලා එක්ක කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා.මාව මඟ අරින්නෙ ඇයි ඇහුවට කියන්නෙ නෑ..වෙන සම්බන්ධතාවයක් ඇත්තෙත් නෑ.දැන් එකපාරටමදික්කසාද වෙමු කියනවා.”

සඳුනි හඬමින් හෙළි කළා.

“අපිට මුණ ගැහෙන්න ලොකු නිදහසක් තිබුණෙත් නෑ.ඉස්සර මං සඳුනි බලන්න එයාගෙ ගෙදර ගියාමත් අම්මා අපිව ගොඩක් ඈතින් තියා ගත්තා. සම්බන්ධයක් ගොඩක් කල් තියන් ඉන්න එක ගෑනු ළමයෙක්ට හරි නෑ කියල කසාද බඳින්න ඉක්මන් කරෙත් අම්මා.ඉතින් මම සඳුනිට ළං වෙන්න හරිම ආසාවෙන් හිටියේ”

සඳුනි මුල්ම මොහොතේ ප්‍රතිචාර දැක්වූයේ නුරුස්නාව වීම සමීරව සහමුලින්ම අවුල් කරන්න සමත් වූ බව අනතුරුව උපදේශිකාව හෙළි කරගත්තා.

“මාත් හුඟක් ආසාවෙන් හිටියෙ මිස්.ඒත් අම්මා අපිව ගෙදරට එක්කන් ආව නිසා මට කේන්ති ගිහින් හිටියේ.හනිමුන් යන තැන ගැන නිකංවත් ප්ලෑන් නොකරට මට සමීර එක්කත් කේන්ති ගියා.මං ඒ කේන්තියෙනුයි හිටියේ.”

සඳුනිට දවසේ වෙහෙසත් හෝටලයකට යාමට නොහැකි වීමත් නිසා ඇය නුරුස්නා සිතින් හිටිය බව අවසානයේ එළි වුණා

දික්කසාදයට පෙර උත්සාහ කරන්නට ආ යුවල විවාහයෙන් මාස අටකට පසු කඳුකරයේ සුන්දර නවාතැනක් වෙත මධුසමයට පිටත්ව ගියා.

ඔබේ පළමු ලිංගික අත්දැකීම අකමැත්තෙන් සහ නුරුස්නා සිතකින් ආරම්භ කරන්න එපා.විවාහ උත්සවය නිසා ඔබ දැඩි වෙහෙසකින් ඉන්නවා නම් ඔබේ මානසික මට්ටම යහපත් නැත්නම් ඒ බව සහකරුට එළි කරන්න.ඔහුගෙන් කල් ඉල්ලා සිටින්න.අනිත් කාරණාව පළමු ලිංගික එක්වීමට පරිසරයත් ඉතාම වැදගත්.ඔබේ නිවස තුළම පවුලේ අය සියල්ලන්ම ඉන්නා දිනක එය කරන්නට යාම සාර්ථක වෙන්නේ නෑ.මධුසමය වෙනුවෙන් සන්සුන් කුඩා හෝ නවාතැනක් තෝරා ගන්නට අවශ්‍ය ඒ නිසා.ඔබ මුලින්ම අප්‍රසන්න බව පෙන්වා පසුව හඬමින් දුක් වීම ඵල රහිතයි.ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔබට විවාහයට පෙර ගැටලු, බියවීම් ඇත්නම් වහාම උපදේශනයට යොමු වී ඒවා විසඳා ගන්න. සහකරුට ඔබෙන් ලැබිය යුතු අයිතිය ලබා නොදී විවාහය රැක ගන්න උත්සාහ කරන්න එපා.ඔබ බොහෝ කල් ආදරය කළ පුද්ගලයා සමඟ ගැටලු බෙදාගෙන නිවැරදි වෙමින් විවාහය පවත්වා ගන්න.

ලිංගිකත්වය විවාහය රහ වැටෙන්න අවශ්‍යම දෙයක්.එය මඟ හැර ගන්න එපා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles